යක්කැනුම හෙවත් යක් ඇණවුම ගැන අසම්පූර්ණ ලියවිල්ලක්

Dec 30, 2009

2515906825_fd6ac06bfd

ගණපති දෙති නුවණ
මිහිකත රකිති මෙ දෙරණ
දෙන්නේ මට නුවණ
අසන් දෙවියනි දේව සුබ ගණ


කුඩා කොහොඹා, මහ කොහොඹා, කඩවර, කළුකුමාර තුන් කට්ටුවක්, කන්දේ පන්තිස් කට්ටුවක්, වීරමුඬ තුන් කට්ටුවක් ආදී යක්-දෙවි වරුන් ට ආඥාකිරීම, ඇණවීම, ආයාචනා කිරීම බරපතල කාරියකි. යක්කැනුම කොහොඹා කංකාරියේ අවසාන දිනයේ මුල්ම නැටුම් අංගයයි. යද්දෙස්සන්, බෙරකරුවන් පිරිවරා නටන්නේ යක්කුන්ට ආඥා ආරාධනා කිරීමටයි.
අතකින් පොල් පන්දමත්, අතකින් ඊ ගසත් රැගත් රූ යද්දෙස්සන් මහා සම්මත ඇඳුමින් සැරසී මහළු පිළිවෙලින් පැමිණ තනි පදයක් විවිධ වර්ණයන්ගෙන් පුරමින් පුරමින් නැටීම එකම ප්‍රසංගයකි.
යක්කැනුම විස්තර කළ නොහැකි නර්තන අංගයකි. එහි විචිත්රත්වය 'වෙබ්' පිටුවක පෙන්විය නොහැකිය. සිනමාවේ ශ්‍රේෂ්ඨත්වය වන්නේ එයින් මිනිසුන් පමණක් නොව සොබාදහමේ අසීමිත බව ද පෙන්විය හැකි නිසා බව කවුරුන් හෝ ලියා ඇත. මට කංකාරිය අසීමිත වන්නේ එය කිසිදු සංස්කරණ රීතියකින් සංස්කරණය කළ නොහැකි නිසා ය.
කංකාරි මඩුවේ දෙපස පේලි දෙකකට සෑදෙන නැට්ටුවන් ගෙන්, එකවර හැරෙන සිරස්පත්, සිලම්බු, පොල්පන්දම් එළිය කෙසේ නම් සංස්කරණය කරන්නද? රාත්‍රියේ ප්‍රථම භාගයේ නටන යක්කැනුම උඩරට නැටුමේ උදාර විචිත්රත්වය විදහාපායි. එහි කථකලි නෑකම ක් ඇත්දැයි ඉඟි කරයි.

යක්කැනුම;
කුංත ගත ගත, කුංත ගත ගත, කුංත ගත ගත ගජිත ගත දොං
කුකුඳ ගත ගත, කුකුඳ ගත ගත, කුකුඳ ගත ගත, ගජිත ගත දොං
කුංත ගත කුඳ ගජිත ගත දොං
කුකුඳ ගත කුඳ ගජිත ගත දොං
කුංත ගත දොං
කුකුඳ ගත දොං
ගත කුංතක තරිකිට කුංත කුංත ජිං
තකුං තකුං ගජ්ජිං ජිං

ආදී වශයෙන් වන ආලත්ති පදයෙන්, විලම්භ ලයෙන් ඇරඹෙයි.
යක්කැනුමේ ආරම්භය ‘කුකුඳ ගජිජ් තකුඳ ගජිං’ පදයෙන් සමබරව වමටත් දකුණටත් වර්ධනය කරමින් නටයි. නැටුමේ විවිධ අවධි වල ‘ජෙහෙකඩ තහකඩ’ තාලයට සිලම්බුව නාද කරවමින් තනි පයින් දෙපසට විහිදුනු යුගතින් රාජාලි ඉරියව්වෙන් නටන රූ යද්දෙස්සන් තෙජස්වී දර්ශනයකි.
මුළු නැටුම පුරාවට විවිධ අලංකාර, හෝ තනි නැට්ටුවන් 'ඕඩියට පුරා' එක් වට්ටම් දෙවට්ටම් තුන් වට්ටම් ආදි වශයෙන් දක්වන ශිල්ප නැවත ‘තරිකිට කුකුඳ ගජිං’ චක්රයට ප්‍රවිශ්ඨ වීම බලන්න අපූරු ය.
යක්කැනුම උඩරට නැටුමේ ශුද්ධ මාත්‍රාවයි. ශුද්ධ මාත්‍රාව සේම යක්කැනුමද නෘත්යාන්තර මූලික සම්භාව්ය ලක්ෂණ විදහා පායි. වෙස් බැන්ද ද යක්කැනුමක් නටන තෙක් උඩරට නැට්ටුවෙක් පූර්ණ නැට්ටුවෙක් නොවේ.
පොල්පන්දමෙන් සජ්ජිතව, සමලංකෘතව නටන අනෙක් නැටුම 'අති ශාස්ත්‍රීය' යන පදයෙන් පමණක් හැඳින් විය හැකි අස්නෙ නැටුමයි. කුවේණි අස්නයි.

අසන් දෙවි යන්නේ
නාමය මම කියන්නේ
වරද නොම ගන්නේ
සියළු වරදට සමා වන්නේ

මංගලම් ජය සිරි මංගලම් . . . . !

Dec 24, 2009

dance

ඉහත "තුන්පත් රටා වනාහි" හි සඳහන් පරිදි ශ්‍රී ලාංකික අපට ලෝකයේ කිසිම සංස්කෘතියකට නොදෙවෙනි වූ සාඩම්බර සංස්කෘතියක් සතුවීම මිල කළ නොහැකි භාග්‍යයක්. අපටම ආවේනික නැටුම, ජන සංගීතය, කැටයම් කලාව, මූර්ති ශිල්පය, චිත්‍ර කලාව, වාරිමාර්ග කලාව, ජ්‍යොතිෂ කලාව ඈ නොයෙක් කලාවන් අතර නැටුමට හා ජන සංගීතයට හිමිවන්නේ මූලික ස්ථානයක් . . .

ලාංකික නැටුම් කලාව මූලිකවම උඩරට, පහතරට හා සබරගමු යන නැටුම් කාණ්ඩ වලට බෙදා දැක්විය හැකියි. වන්නම්, ශාන්තිකර්ම, අශීර්වාද, ප්‍රශස්ති ආදී නොයෙක් වර්ගයේ නැටුම් මේ මූලික නැටුම් කලාවන් තුනේම ගැබ්වී තිබෙන බව ඒවා සියුම්ව හදාරන විට අපට නිතැතින්ම වැටහී යනු නිසැකයි.

මීට අමතරව වැඩවසම් සමාජයේ පරිපාලනයේ පහසුවට එක් එක් ජන කොටස් එක් එක් කාර්යයන් සඳහා බෙදා වෙන් කිරීමේදී ඒ ඒ ජන කොටස් වල ඒ ඒ කාර්යයන් ඇසුරින් දෛනික රාජකාරී දිවියේ කාන්සිය පාළුව මඟ හරවා ගැනීමටත් සාමූහිකත්වය රඳවා තබා ගැනීමටත් ඔවුන්ගේ හදවතින් ම උපන් ජන ගීතය හා ජන නැටුම, සුවහසක් කලාකාමීන්ගේ හදවත් අතීත ශ්‍රී විභූතියක සාඩම්බරයෙනුත් අතීත මුතුන් මිත්තන්ගේ කලාකාමී ජීවන රටාව කෙරෙහි උපන් සංතුෂ්ටියකිනුත් පුරවාලනු ලබන බව කිව මනාද?

බ්ලොග් අඩවියේ හඳුන්වාදීමේ පාඨයේ සඳහන් කර ඇති පරිදි වර්තමාන සමාජයේ තොරතුරු තාක්ෂණයට හා කාර්මීකරණයට හසුව අපේ කලාවේ අක්මුල් සෝදාපාලු වී යාමේ මේ ඛේදාන්තයෙන් අපේ ඒ උදාර කලාවන් රැකගැනීම නම්වූ සද්කාර්යය හෙවත් උඩුගම් බලා පිහිනීමේ කර්තව්‍යයට පිවිසුමක් ලබා ගැනීමට නැතහොත් ඒ සද්කාර්යයට ආශීර්වාද ලබා ගනු වස් උඩරට නැටුම් කලාවේ එන ආශීර්වාද නැටුමක් වූ " මංගලම් " නැටුමෙන් මේ බ්ලොග් අඩවිය කල-එළි දැක්වීම යෙහෙකැයි අප සිතුවා.

උඩරට නැටුම් කලාව සම්බන්ධ වන බොහෝ කාරියන් හි මූලාරම්භය මංගලම් නැටුමෙන් අරඹන බව මා අසා ඇති කරුණක්. මහන්සියෙන් නැටුම් කලාව ප්‍රගුණ කළ කලාකාරයෙකුගේ කල එළි මංගල්‍යය හෙවත් වෙස් මංගල්‍යය අවස්ථාවේදී වෙස් බැඳීමෙන් පසු ඔහුගේ පළමු නැටුම මංගලම් විය යුතු බව මගේ උපකල්පනයයි (පාඨකයෝ මගේ අනුමානයේ වැරදි නිවැරදි භාවය සහතික කරනු ලබත්වා). තවදුරටත් පෙරහැර මංගල්‍යයේ ආරම්භය හෙවත් කප් සිටුවීමේ මංගල්‍යය ආදී සියලුම මංගල කටයුතු මංගලම් නැටුමෙන් අරඹනවා ඇතැයි මගේ අනුමානයයි.


තානම
තම්ද නා ම් දන . . . .
තන තා නා ම් දන . . .
තා නේ නා ම් දන . .. .
තා නේ නා . . ..
ආ . . ආ . . . ආ . . .
තතන තන තාම් . . .
දන තා නාම් දන
තානේ නාම් දන . ..
තානේ නා . ..
ආ . . ආ . . . ආ . . .

කවිය
මංගලාම් ජය . . . ///
මංගලාම්
ආ . . ආ. ආ . .
මංගලාම් සිරි . . ///
මංගලාම්
ආ . . ආ. ආ . .
මංගලාම් සුභ . . . ///
මංගලාම්
ආ . . ආ. ආ . .
මංගලාම් වේ
සබයේ සැමහට
වේවා ජය සිරි
මංගලාම්
ආ . . ආ. ආ . .

බුද්ධ රාජායා
වැන්දේ පළමුව
දෙවෙනූ සද්ධර්මය
වඳීම්
ආ . ආ . ආ
තෙවෙනූ සාංඝා
රත්නේ වැඳලා
ගත්තූ තිසරණ
අත් මුදූන්


මංගලම් නැටුමේත් සාමාන්‍ය උඩරට සම්ප්‍රදායේ වන්නමක මෙන් තානමට කවියට පසු කස්තිරමක් සීරුමාරුවක් හා අඩව්වකින් සමන්විත වුවත් මේ මොහොතේදී ඒවායේ පද සොයා ගැනීම අපහසු වූ බැවින් පසු අවස්ථාවක ඒවා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වනවා.

නැටුම් අංගය සඳහා ඇති කාල වේලා අනුව ඒ ඒ අවස්ථාවන් හිදී සම්පූර්ණ කවියම ගායනා කිරීම හෝ කවියේ කොටසක් ගායනා කිරීම තීරණය කෙරෙනවා.

පහත එකතු කර ඇති වීඩියෝ පටයට අනුව ඒ ශිල්පිනිය කවියේ දෙවෙනි පදය පමණක් නැටුම සඳහා උපකාර කරගෙන තිබෙන බවක් ඔබට දැක ගත හැකියි.





මේ පහළින් එකතු කර ඇති වීඩියෝ පටය මංගලම් නැටුමේ කවි දෙකක් ගායනා කරමින් ශිල්පියෙකු සහ ශිල්පිනියක විසින් රඟ දක්වනු ලබන නැටුමක්.




නැටුමට හිතැත්තන් මිස නැටුම් ශිල්පීන් නොවන අප විසින් ලියන ලද මේ ලිපියේ අන්තර්ගතයේ අඩුපාඩු, වැරදි ඇති නම් පාඨක ඔබ විසින් ඒවා අප වෙත දන්වා අප දැනුවත් කරනු ඇතැයි අපි උදක්ම බලාපොරොත්තු වෙමු.


ලිව්වේ : සුභාෂ් සහ නදීෂා
විශේෂ ස්තූතිය: නිසංසලා රාජපක්ෂ ගුරු මහත්මියට