යක්කැනුම හෙවත් යක් ඇණවුම ගැන අසම්පූර්ණ ලියවිල්ලක්

Dec 30, 2009

2515906825_fd6ac06bfd

ගණපති දෙති නුවණ
මිහිකත රකිති මෙ දෙරණ
දෙන්නේ මට නුවණ
අසන් දෙවියනි දේව සුබ ගණ


කුඩා කොහොඹා, මහ කොහොඹා, කඩවර, කළුකුමාර තුන් කට්ටුවක්, කන්දේ පන්තිස් කට්ටුවක්, වීරමුඬ තුන් කට්ටුවක් ආදී යක්-දෙවි වරුන් ට ආඥාකිරීම, ඇණවීම, ආයාචනා කිරීම බරපතල කාරියකි. යක්කැනුම කොහොඹා කංකාරියේ අවසාන දිනයේ මුල්ම නැටුම් අංගයයි. යද්දෙස්සන්, බෙරකරුවන් පිරිවරා නටන්නේ යක්කුන්ට ආඥා ආරාධනා කිරීමටයි.
අතකින් පොල් පන්දමත්, අතකින් ඊ ගසත් රැගත් රූ යද්දෙස්සන් මහා සම්මත ඇඳුමින් සැරසී මහළු පිළිවෙලින් පැමිණ තනි පදයක් විවිධ වර්ණයන්ගෙන් පුරමින් පුරමින් නැටීම එකම ප්‍රසංගයකි.
යක්කැනුම විස්තර කළ නොහැකි නර්තන අංගයකි. එහි විචිත්රත්වය 'වෙබ්' පිටුවක පෙන්විය නොහැකිය. සිනමාවේ ශ්‍රේෂ්ඨත්වය වන්නේ එයින් මිනිසුන් පමණක් නොව සොබාදහමේ අසීමිත බව ද පෙන්විය හැකි නිසා බව කවුරුන් හෝ ලියා ඇත. මට කංකාරිය අසීමිත වන්නේ එය කිසිදු සංස්කරණ රීතියකින් සංස්කරණය කළ නොහැකි නිසා ය.
කංකාරි මඩුවේ දෙපස පේලි දෙකකට සෑදෙන නැට්ටුවන් ගෙන්, එකවර හැරෙන සිරස්පත්, සිලම්බු, පොල්පන්දම් එළිය කෙසේ නම් සංස්කරණය කරන්නද? රාත්‍රියේ ප්‍රථම භාගයේ නටන යක්කැනුම උඩරට නැටුමේ උදාර විචිත්රත්වය විදහාපායි. එහි කථකලි නෑකම ක් ඇත්දැයි ඉඟි කරයි.

යක්කැනුම;
කුංත ගත ගත, කුංත ගත ගත, කුංත ගත ගත ගජිත ගත දොං
කුකුඳ ගත ගත, කුකුඳ ගත ගත, කුකුඳ ගත ගත, ගජිත ගත දොං
කුංත ගත කුඳ ගජිත ගත දොං
කුකුඳ ගත කුඳ ගජිත ගත දොං
කුංත ගත දොං
කුකුඳ ගත දොං
ගත කුංතක තරිකිට කුංත කුංත ජිං
තකුං තකුං ගජ්ජිං ජිං

ආදී වශයෙන් වන ආලත්ති පදයෙන්, විලම්භ ලයෙන් ඇරඹෙයි.
යක්කැනුමේ ආරම්භය ‘කුකුඳ ගජිජ් තකුඳ ගජිං’ පදයෙන් සමබරව වමටත් දකුණටත් වර්ධනය කරමින් නටයි. නැටුමේ විවිධ අවධි වල ‘ජෙහෙකඩ තහකඩ’ තාලයට සිලම්බුව නාද කරවමින් තනි පයින් දෙපසට විහිදුනු යුගතින් රාජාලි ඉරියව්වෙන් නටන රූ යද්දෙස්සන් තෙජස්වී දර්ශනයකි.
මුළු නැටුම පුරාවට විවිධ අලංකාර, හෝ තනි නැට්ටුවන් 'ඕඩියට පුරා' එක් වට්ටම් දෙවට්ටම් තුන් වට්ටම් ආදි වශයෙන් දක්වන ශිල්ප නැවත ‘තරිකිට කුකුඳ ගජිං’ චක්රයට ප්‍රවිශ්ඨ වීම බලන්න අපූරු ය.
යක්කැනුම උඩරට නැටුමේ ශුද්ධ මාත්‍රාවයි. ශුද්ධ මාත්‍රාව සේම යක්කැනුමද නෘත්යාන්තර මූලික සම්භාව්ය ලක්ෂණ විදහා පායි. වෙස් බැන්ද ද යක්කැනුමක් නටන තෙක් උඩරට නැට්ටුවෙක් පූර්ණ නැට්ටුවෙක් නොවේ.
පොල්පන්දමෙන් සජ්ජිතව, සමලංකෘතව නටන අනෙක් නැටුම 'අති ශාස්ත්‍රීය' යන පදයෙන් පමණක් හැඳින් විය හැකි අස්නෙ නැටුමයි. කුවේණි අස්නයි.

අසන් දෙවි යන්නේ
නාමය මම කියන්නේ
වරද නොම ගන්නේ
සියළු වරදට සමා වන්නේ

4 ක් ප්‍රතිචාර දක්වා ඇත.:

නදීෂා said...

මේ අපේ තුන්පත් රටාවේ පලවන දෙවන ලිපියයි.හෂිත අයියේ ගොඩාක් වටිනවා මේ ලිපිය.මමත් පොහොර ටිකක් දැම්මට කමක් නැනේද?
යක්කැන්නුම යකුන් කැදවීම සදහා පමණක් නොවේ දෙවියන් කැදවීම සදහාද නටන නැටුමක් බව මා පොතක කියවා තිබුනා.ඒ වගේම කංකාරියට සහභාගී වන සියලුම බෙර කරුවෝද නැට්ටුවෝද නටන එකම කංකාරි නැටුමද මෙය වේ.

බිඟුවා...! said...

පට්ටමනේ....
එල එල.
මේවා අනිවා ලියන්න ඕනෑ සයිබරේ...
ඒක අපිට හෙනම හෙන සතුටක්....
අපේම දෙයක්...

/බිඟුවා...!

LishWish said...

අතකින් පොල් පන්දමත්, අතකින් ඊ ගසත් රැගත් රූ යද්දෙස්සන් මහා සම්මත ඇඳුමින් සැරසී.....

ඉහත වැකියේ සඳහන් මහා සම්මත ඇඳුම ට ඓතිහාසික පසුබිමක් තියෙනවද? මම මේ දේ ගැන අහන්නට සිතුවේ මහා සම්මත රජතුමා නම් කෙනෙකු ගැන ඉතිහාසයේ කොනක සඳහන් වී තිබෙනු මම කියවූ නිසා.

~බිன்ku~ said...

හොඳ ලිපියක්! මා එක්වරක් යක් බෙරය මේ නැටුම සඳහා වාදන කර ඇතත් මේ විස්තරවත් දැන හිටියේ නෑ!

Post a Comment