සක පදවන දන සරතැස නිවූ කරත්ත කවි

Jul 22, 2011

cattle


ජනකවි සඳහා අවධානය යොමු කරන විට අපට එහි අනු අංගයක් ව පවතින කරත්ත කවි නොතකා හැරිය නොහැකිය. අතීතයේ විවිධ සමාජ ස්ථර වල අය කරත්තය සිය දෛනික අවැසිතා සඳහා භාවිත කලද මෝටර් රථයේ ආගමනය නිසාවෙන් කෙමෙන් කෙමෙන් අභාවයට යන්නට විය.., කෙසේ වුවත් ඒ අභාවයට ගිය සම්ප්‍රදායන් අපට ඉතිරි කර යන්නේ ඉතා වටිනා දායදයන් ගොන්නකි.., කරත්ත ඇසුරේ ඉපදෙන කතා, කවි, තේරවිලි හා ආප්තෝපදේශ බොහෝය. ඉන් ඉතාමත්ම විසල් ඉඩක් හිමි කරගෙන සිටින කරත්ත කවිය.., අපට නිහඬවම පවසන්නේ කරත්ත රෝද යට වැලලි රසවත් ඉතිහාසයක් ඇති බවය.

කරත්ත කවි බොහෝවිට අපට හමුවන්නේ සුහද සංවාදශීලී ගුණයෙන් පිරිපුන් කවි ලෙසය. බිම්මට්ටමේ ගැමියාට වුව තේරුම් ගත හැකි සරළ සුගම බස් වහරකින් සජ්ජිත මේ කවි අතර ගමන් විඩාව නිවන උපහාසය ආදී ගති ගුති ගුණයන්ද නොඅඩුව පැවතිණි.

කරත්ත කවියට වැඩි පුරම හේතු පාදක වුයේ බර කරත්තයයි.., කුලීන ජනයා සිය ගමන් බිමන් වලට භාවිත කල තිරික්කල ඇසුරින් නිපදවී ඇති කරත්ත කවි තාම ඌණය.., සහර විට කුලීණ ජනයා ගේ කරත්තය පදවාගෙන යනවිට යටත් වැසියා ගේ සිතට කවි සිතුවිලි පහල නොවීම විය හැකිය.

බර කරත්ත අතීතය සිය ගමන් ආරම්භ කරන්නේ සවස් යාමයේය.., ලන්තෑරුම් ආලෝකයේ සිය හමන නිවුනු මඳ පවන මැද ආරම්භ කරන ගවයාට විඩාව දහවලට සාපේක්ෂය අඩුය. කරත්ත කවි බෝවිට කියන්නේ ගැලක කරත්තය ගමන් අරඹනා විටය. එක කවියක් කරත්තයකින් ඇසෙද්දී ඊට පිළිතුරු කවිය ඊළඟ අසල වන කරත්තයෙන් ඇසේ. මෙලෙස ගැල අවධියෙන්, ක්‍රියාකාරීව පවත්වා ගන්නත්, නිද්‍රාව ඌණ කරන්නත් මේ කවි ලබාදුන්නේ මහඟු පිටු වහලකි. තමා ගමන් ගන්නා අඩවිය ග්‍රාමය සහ ගොනුන්ගේ ආරක්ෂාවට වන දෙපස සිටින සියලු සතුන් බියවද්දා පලවාහරින්නටද මේ කවි උපයෝගී කරගන්නට ඇත.

ඇතැම් විට කරත්තය අදින්නට අපහසු අවස්ථාවල ගොනුන් දෙදෙනෙකු බඳින්නට කටයුතු කරයි.., සමහර විට හදිසි අවැසිතාවට රැගෙන යන අමතර ගොනාද මෙලෙස අනික් දෙදෙනා බැඳි කර දණ්ඩ අනික් ගොණාටද ආඳනු ලබයි මෙලෙස ආඳනු ලබන කර දන්ඩ තන්ඩලේ නමින් හැඳින්වේ.පහත කවියේ මුල් පදයේ කියන්නේ එයයි.

තණ්ඩලේ දෙන්න දෙපොලේ දක්කනවා
කටුකැලේ ගාල නොලිහා වධ දෙනවා
හපුතලේ කන්ද දැකලා බඩ දනවා
පව් කල ගොනෝ ඇදපන් හපුතල් යනවා

සාමාන්‍ය ගමන් සඳහා මෙම තණ්ඩලේ භාවිත නොකරන අතර.., බොහෝවිට කන්දක්, අධික බරක් අදින්නට සිදුවන අවස්ථාවල තණ්ඩයේ භාවිතය දැකිය හැකිය. සමහර විට මේ තණ්ඩලේ හපුතලය කන්ද නිසාම ආරම්භ වූවක් විය හැකිය. මක්නිසාදයත් වර්තමානයේදී පවා වාහන පවා කන්ද තරණය කරන්නේ ඉතා ආයාසයෙන් වන නිසා ය.

බ්‍රිතාන්‍ය යටත් විජිත කාලයේදී අතීත කරත්තකරුවා ගතකලේ ඉතාම දුක්බර ජීවිතයකි. කුසට අහරක් නැතිව, ගතට නිවනක් නැතිව දිවා රෑ වෙහෙසෙමින් ගතවන මේ ජීවිතේට ඇති එකම සැනසුම දෙවි පිහිටයි, ඒ ඔහුගේ අවසාන බලාපොරොත්තුවයි.

දුප්පත් කමට ගොන් බැඳගෙන දක්කනවා
කන්ට නැතිව දිව රෑ දෙන වෙහෙසෙනවා
ගොන්ටත් නොයෙක වධ දී අප ගෙනියනවා
දැන්වත් අපිට දෙවියෝ පිහිටක් වෙනවා

අතීත කරත්ත කරුවන් වර්තමානයට සමාන කරන කල සමාන වූයේ හිමිකරුවෙකු යටතේ හිඳිනා කුලී වාහන රියදුරකුටය. හිමි කරුවා කරත්ත පදවන්නාට ගෙව්වේ වැටුපකි. තවද කරත්ත කරුවාට ගෙවන්නට යෙදෙන පඩියෙන් කරත්තයට යම් හානියක් වී ඇතිනම් එයද ඔහු කරත්තකරුවාගේ වැටුපෙන්ම අඩු කරගැනීම කරගන්නා ලදී. පහත ඇති කවිය කරත්ත කරුවා ගෙවා ඇති අනාරක්ෂිත ජීවිතය පිළිබඳව ඉඟි කරන්නකි.

බර වැඩි වෙලා ගොන් බානට උඹ අවුලේ
කර වණ කලේ ඇයිදැයි මුගේ නැද්ද මොලේ
මූ මරලා දැම්මෝතින් හොඳයි කැලේ
පොත බලා පඩි දෙනකම් හිටු ගාලේ


අතීත ජනයා සිය භාන්ඩ ප්‍රවහනයට අමතරව ගමනාගමනයට භාවිත කලේ කරත්තයි..,  ගැල් බැඳ ගමන් ගන්නේ රාත්‍රී කාලයේදීය.., තනිකමට බුලත් විටකුත්, සීතලට සුරුට්ටුවක් පත්තු කර ගැනීමට අතීත ජනයා අමතක නොකලහ. ආහාර ලෙස කඩ කෑමද ඉහත කී බුලත් සුරුට්ටු ආදියද ගමන ගන්න විට අසල ඇති කඩයෙන් ගනීම සිදුවෙයි. කතරගම යන ජනයා යන අතරමග නැවතී අලුත් ගම ප්‍රදේශයෙන් අවැසි දේ ලබාගෙන කතරගම වන්දනා කරන්නට යන ආකාරය පහත කවියෙන ප්‍රකාශ වෙන ආකාරය මනහරය.

කන්නේ කටට රස හින්දයි බුලත් මම
බොන්නේ සුරුට්ටුව සීතල යන්න තම
කන්නේ රෑ කඩෙන් නැවතී අලුත් ගම
යන්නේ වන්දනාවේ අපි කතර ගම


ගැලක් ගමන් ගන්නා විට ස්වාභාවික කරදර වලට මුහුණදීම ඉතා සාමාන්‍ය සිදුවීමකි. වර්ශාව නිසාවෙන් ගොනා කරත්තය අදින්නට මැලිවීම සිදුවෙයි.., මේ සිදුවීම මතකයට නැගෙන කවියාගේ මුවට කවි සිතුවිලි නැගීම ස්වයංව සිදුවේ. වැසි තර වනවිට ගොනාට අදින්නට අමාරු වන බවත් ගොනාට ඒ වදයක් වෙන නිසා කරත්ත කරුවාගේ සිතටද ගොන ගන දුක ගෙන දෙයි. මේ දුක්ප්‍රාප්තියේ උච්චතම අවස්ථාව "මගේ රිස්ස යන්නා" යෙනුවෙන පල කර ඇති පහත කවියට සිත් යොමන්න.

වැස්ස වහින්නා මඩ ගොහොරු වෙන්නා
ගොනා නොයන්නා ගෝණිය තෙමෙන්නා
ගොනා තල් අත්ත කපුරැල්ල වන්නා
මෙදා පැටලිල්ල මගෙ රිස්ස යන්නා

කරත්ත දක්කගෙන යන විට නගරවල ඇති විවිදාකාර දේට හිත යන අතර එසේම කරත්ත කරුවන්ගේ තරුණ ජීවිතයද මඟටම ගෙවේ. නගර ආශ්‍රිතව ගතවන ජීවිතවල මේ ආකාරයේ ජීවිත බෝහෝ ඇත., නගර ගැන තොරතුරු සඳහන් වෙන මේ කවියේ කරත්තය නවතන්නේ හොරණ ය. කොතරම් වැර යොදා කලත් සිය වෘත්තිය පිළිබඳ ව පවතින කලකිරීම පහත කවියෙන් මොනවට පැහැදිලි වේ.

අරුම වැඩ දුටිමි කඩවල සරසනවා
තරම නොදැන ඇවිදලාම ලතැවෙනවා
තරුණ කල වයස කඩ වල පසු ලතවෙනවා
හොරණ කඩ පෙලේ ගොනු අප නවතනවා1


අතීතයේ පාලම් බැඳීම කලේ ලී භාවිතා කරය..,අතීතයේ වනයේ ලී සහ ලෑලි ඇදීමට භාවිත කරන ලද්දේ කරත්තයයි.මාදුරු ඔය පාලම සෑදීම සඳහා ලී ඇදි කරත්ත කරුවෙකු ඒ පිළිබඳව සිය අත්දැකීම කියන පහත කවිය විමසන්න.

කලුවර කැලේ ලී කපලා ලී ඇද්දා
මඩකලපුවේ ගොනිගෙන ලෑලිත් ඇද්දා
අලින් උසට ගල් පෙරළා වැටි බැන්දා
මාදුරු ඔයට ඔබනා පාලම බැන්දා2

කරත්තය පදවාගෙන යන අතරමඟ වැවී ඇති ලපටි තනකොල කපා ගොනුට කෑමට දී ගමන ආරම්භ කරමුදැයි අසන කරත්ත කරුවෙකු ගැන පහත කවියෙන් දැක්වේ. ගැලක ගොණු සඳහා සාමාන්‍යයෙන් කන්නට දෙන්නේ පිදුරු වුව ලපටිතණකොල වලට ගොනුන් දක්වන රුචිකත්වය මේ කවියට හේතුවූවාදැයි සිතෙයි..!

යන ලෙසිනේ ගුරුගොඩ පාලම පැනලා
එම ලෙසිනේ පන්තියේ වත්තට පනලා
දුටිමි අනේ තණකොල වත්තක වැවිලා
කපලා ගෙනේ එම පාරට ගොන් ලිහලා3


තණ්ඩලේ දෙන්න දෙපොලේ දක්කනවා
ගොන් කරේ මිණි බැඳලා නද දෙනවා
කටුකැලේ ගාල නොලිහා වද දෙනවා
පවුකල ගොනෝ ඇදපන් හපුතල් යනවා4


මෙම ලිපියේ මුල්ම කවිය මේ විව මේ ඉහත කවියේ විශේෂ බවක් ඇත. ඒ නම් හපුතලේ කන්ද දැකලා බඩ දනවා වෙනුවට ගොන් කරේ මිණි බැඳලා නද දෙනවා යන්න යෙදී ඇත. කරත්ත්යා අදින ගොන්ගේ අලංකාරයට  ගෙජ්ජි වැලක් බඳියි ගමන් ගන්නා විට මේ ගෙජ්ජි වැල ඉතාමත් කන්කලු අයුරින් හැඬවේ. මේ ආකාරයෙන් ම ප්‍රාදේශීයව පද වෙනස් වෙන කවි කරත්ත කවි අතර ඇත. පහත කවිය බලන්න.

අටිය වඩන ලොකු අප්පුගේ කරත්තේ
කැහැටු ගොන් බාන බැඳලා දෙපැහ්තේ
කවට කමට විය අඹරා ගස් නිත්තේ
ගොසින් ලිහමු මොරතොට නැන්දගේ වත්තේ
5

මේ කවියේ අවසාන කවිපදය එනම ගොසින් ලිහමු මොරතොට නැන්දගේ වත්තේ යන්න සබරගමුවේ භාවිත වන්නේ ගොසින් ලිහමු මොරවක නැන්දගේ වත්තේ ලෙසය. නමුත් වයඹ භාවිත වන්නේ , ගොසින් ලිහමු ගිංතොට නැන්දගේ වත්තේ ලෙසය. දුර්වල ගොනුන්ගෙන් අතොරක් නැතිව වැඩ ගන්නා ලොකු අප්පු ගැන ඉතාම උපහාසයෙන් ඇති අයුරක් ඉහත කවියෙන් ගම්‍යවේ.

මේ අයුරෙන් කරත්ත කවි ගැන පූර්ණ සෙවුමක් කරන්නට නම් තවත් ලිපි ගණනාවක් ලිපිය යුතුය., මිනිස් ජීවිතයේ සුන්දර පැතිකඩක් නිරූපනය කරන මේ කවි සම්ප්‍රදාය අතීත ජනයා තුල සිය දුක්ඛ දෝමනස්සයන් කලාත්මකව එලිදැක්වීමට තිබූ හැකියාව පෙන්වන මන බඳනා පැතිකඩක් බව නොකියාම බැරිය. කරත්ත කවි පිළිබඳ රසබර තොරතුරු සමඟින් තවත් ලිපියකින් හමුවෙමු. රැඳී සිටින්න තුන්පත් රටාව සමඟ..!

තොරතුරු උපුටාගත් ග්‍රන්ථ ►

1 ජනකතාවෙන් උපන් උපමා සහ අප්තෝපදේශ කතා.
  එම්.ජී. සිරිල් , නාලිනී කත්‍රිආරච්චි.
  රත්න ප්‍රකාශකයෝ, 1999.

2 ජනකවි සාහිත්‍ය.
  පී. වීරසිංහ.
  ජාතික පුස්තකාල සේවා මණ්ඩලය, 1986

3 ජන කවි මඥ්ජරී.
  එච්.වී.ජී. සෝමසිරි, ජයවර්ධන.
  ඇස්.ගොඩගේ ප්‍රකාශන, 1996.

4 ජන කවිය හා ගැමි සමාජය.
  දයා අමරසේකර.
  ආරිය ප්‍රකාශකයෝ, 1996

5 ජනශ්‍රැති විද්‍යාව.
  මහාචාර්ය නන්දසේන රත්නපාල.
  ඇස්.ගොඩගේ ප්‍රකාශන, 1995.

6 ක් ප්‍රතිචාර දක්වා ඇත.:

TG said...

කරත්ත කවි වගෙම කරත්ත බත ගැනත් යමක් ලිව්වොත් නරකද මේ පෝස්ට් එකට .කරත්ත කාරයො උයන බත හරි රහයි කියලා මම අහල තියෙන්වා .කරෝල හොද්ද අනිවාර්යයි

සුදු සෙවණැලි චිත්ත්‍රපටියේ කරත්තකාරයො තමගේ ගැල් පේලිය දක්කගෙන යන දර්ශනයයි කරත්තබාස්ගේ කරත්ත මඩුවයි , සරදියෙල් කතාවෙ කරත්ත කාරයො කෝපි බොන්න නතරවෙන පිචෝහාමිගේ කෝපි කඩෙයි මතක්වුනා .කරත්ත ලංකාවේ 18-19 වැනි සියවසේ ආර්තිකේට ලොකු පිටුබලයක් දුන්න ප්‍රවාහන සේවයක්. කරත්තකාරයන්ගේ මහා වැඩ වර්ජනේකුත් වුණානෙ ලංකාවේ .ඒ වගේම ටී වී පත්තර පොත් නැතිකාලේ උඩරට , පහතරට ,මූදු කරේ වෙන දෙවල් වල තොරතුරු හුවමාරු වෙන්න කරත්ත කාරයො හේතුවුණාලු.

දැන් නම් කරත්ත දැක ගන්න නෑ වැඩිය .ඒත් මඩකලපු යනකොට කරත්ත පේලි හම්බවෙනවා ඉඳහිට පොල් අතු පුරවගෙන යන .තව එකක් නොයෙක් කරත්ත වර්ග තියෙනවනේ .බක්කි කරත්ත ,රේස් කරත්ත , තිරික්කල . දකුනේ තිරික්කල , දැන් තියෙනවා ඇන්ටික් සාප්පු වල . මීට අවුරුදු 30 ක් විතර එපිට මාතර ඉස්ටේසමේ , වැලිගම එහෙම ත්‍රී විල්ල් වෙනුවට ඉඳලා තියෙන්නේ බක්කි කරත්ත කාරයො . තාමත් ගාල්ලේ , මාතරදි ඉඳ හිට එකක් දෙකක් බක්කි කරත්ත දකින්න පුලුවන් ලමයි ඉස්කෝලෙ ගෙනියන .ගොඩක් මතක එක් කල රසවත් පෝස්ට් එකක්

Andare said...

ඔයාගේ බ්ලොග් එකට ඔයා කැමති .com .net .org .info වගේ top level paid domain එකක් දිනාගන්න
අලුතින් වෙබ් එකක් හදන්න paid domain name එකක් සහ paid hosting දිනාගන්න
දැන්ම එකතුවන්න
තවත් අලුත් දේවල් ගොඩාක් රසවිදින්න. ශ්‍රී ලාංකීය තාක්ෂණික හා අධපණික විවෘත කේත ව්‍යාපෘතිය
http://www.sinlix.org/info/free_domain_hosting.html

සිඳු said...

මෙච්චර වටින බ්ලොග් එකක් මට කොහොමද මෙච්චර කල් මග ඇරුනෙ. පැත්තකට වෙලා කියවන්න දේවල් ගොඩය්

ඉන්ද්‍රජිත් said...

නියමයි...

Nirmala Madushani said...

අද වන තුරු මට මේ බ්ලොග් එක ඇස ගැටුනේ නැහැ. ඉතා හොඳ ලිපි පෙළක්. නමුත්, ඇයි කාලෙකින් ලියුම්කරුත් මේ බ්ලොගයට ඇවිත් නැත්තේ.

Naleen Dilruksha said...

අගනාම අඩවියක් නේ... මෙතැන ගැන තොරතුරු දුන් දුකා මලයට පින්. එන්නං නිවාඩුව කියවන්න.මෙය කඩිමුඩියේ කියවිය යුත තැනක් නොවේ. ඉස්තරම් තැනක්.
මම සමකය වටේ ලියන නලීන්

Post a Comment