හෙළ ජන කවිය හා බැඳි අපූරු කතා

Mar 30, 2010

Kandyan_Chiefs1859


අතීත සිංහලයා කලාවට පෙම් කෙරුවෙකි. සිය ඇසට හසුවෙන සියලුම දේ කවියට හරවා ගයන්නට සමත් කම් දැක්වුවෙකි. පහත දැක්වෙන්නේ අතීත හෙළ කවියා සිය දර්ශන පථයට හසු වූ සිදුවීම්, ප්‍රවාද, කතා කවියට හරවා පළ කල අවස්ථාවන් කිහිපයකි.


දස්කොන් මගේ නමට ජීවිතේ දෙනවාද..?

ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාට ඉතාම හිතවත් ව කටයුතු කරන ලද දස්කොන් අදිකාරම් රජතුමාගේ ළඟම මිතුරෙමු මෙන් ම ඔහු විදේශිකයෙකුද විය. කොතරම් මිතු දම තර වුවත් එහි කොස්සක් තිබේ යැයි කියන්නා සේ මහ රජ ගේ බිසව වූ ප්‍රමිලා අතර රහසින් වූ පෙමක් පැවතිනි. මේ බව කන වැකූනු රාජසිංහ රජතුමා සිය රාජ බලය භාවිත කොට දස්කොන් ට මරණ දඬුවම නියම කරන ලදී. ප්‍රමිලා බිසව දංගෙඩියට හිඩ ගසන්නට ගෙනයන සිය රහස් පෙම්වතා වූ දස්කොන් ව දකින් විට සිය සිත තුල වූ පෙම වසාගත නොහී එය කවියෙන් මෙසේ වහරන්නට විය.

සක්මන් කරන මලුවේ දී බැඳි හාද
සිත්සම් තොසින් දුන් මුව මී බී වාද
ඉක්මන් ගමන් හිමි ඔබ අද යන වාද
දස්කොන් මගේ නමට ජීවිතේ දෙනවාද


සිය පණවන් සුපෙම්වතියගේ එ වදන් ඇසීමෙන්.........

විසැස් කමලාව රස පහස නොවී පමා
දැසෙස් දුනි පොරණ ඇස දුටු පමණ ටමා
වෙසෙස් ඔබගේ අමයුරු පහස ලත් මෙමා
මිනිස් හිසක් දුන්නම ඔබේ නමට කිමා

යනුවෙන පිළිවදන් දී ඈ හිත අස්වැසීමට දස්කොන් උත්සාහා දැරුවේලු.


රාජසිංහ දෙවිනාමෙත් මැකුණාය

පළමුවන රාජසිංහ රජතුමා යුද්ද කිරීමෙන් අනතුරුව ජයගෙන පැමිණෙන අතර තුර අඟුරුවැල්ල ආසන්නයේ වූ පෙතංගොඩ උයනේ දී යටි පතුලේ උණ කරුවක් ඇනීමෙන් මරණය් ට පත් වූ ආකාරය ජන කවියා වහරන්නේ මේ ආකාරයෙන් ය.

සොඳුරු පෙතංගොඩ උයනට වැඩියාය
නපුරු උණ කරුව පතුලේ ඇනුණාය
එකව සිටි සැවොම වටකොට මතුලාය
රාජසිංහ දෙවිනාමෙත් මැකුණාය


ගලින් කොටුව බැන්දයි තිරිකුණාමලේ

ත්‍රිකුණාමලේ බලකොටුව දෙවන රාජසිංහ සමයේදී පෘතුගීසි ජාතික කොන්ස්තන්තීමු විසින් සාදන්න ට යෙදුනේ යැයි කියන නමුත් එය දෙවන රාජසිංහ රජු විසින් සාදවන ලද බව කවියා මෙසෙව පවසයි.

මලේ මලේ තැඹිලිය වැන්න පොල් මලේ
රැලේ රැලේ මූදින් දමන දිය රැලේ
බලේ බලේ රාසිං දෙයියන්නේ බලේ
ගලින් කොටුව බැන්දයි තිරිකුණාමලේ



සිංහලේට ආවට තොපි කැති ගැවා

ඒ 1802 වසරයි. බ්‍රිතාන්‍ය හේවයින් විසින් උඩරට අල්ලාගැනීමට ජා හේවයි පිටත් කර හැරි සමයයි. සටනින් සිංහලයන් පැරදුන අතර ජා හේවායින් සිංහලයන් ගේ දෙපල විනාස කර දමා ඔවුන්ගේ ගවයන් ද මරා කන්නට විය. බොදු පරිසරයක සිය ජීවිතය දැහැමිව ගෙවන සිංහලයාට මෙය ඉවසුම් නොදෙන්නක් විය. කෙසේ හෝ ශ්‍රී වික්‍රම රාජසිංහ සේනාව රැස්කර උඩරට බලය යලින්ත් සියතට ගත්තේ ය. සිංහලයන් පැරදී පලායන ජා හේවායින් පසුපස ලුහු බැඳ මරා දැම්මේ සිය දෙපා විනාස කර පණ වන් ගවයින් මැරූ පලිය ගන්නට ය.
ජන කවියෙන් මේ බව දැක්වෙන්නේ මෙසේය.

දන්තුරේට සසුකර මෙරටට ආවා
ගොන්තුරේට ගෙන දියවර බොන ජාවා
සංකරේට නොවටින ගෙරි මස් කැවා
සිංහලේට ආවට තොපි කැති ගැවා



නිදහස දුන්නොත් - කැටිව එමි රජුගේ දුව

රාජාධිරාජසිංහ රජුගේ දණ්ගනයට හසු වූ විදේශිකයෙකු ඩඬුවම් ලැබ සිරගෙට නියම විය. එවිට විදේශිකසිරකරු තමා නිදහස් කලොත් සිය රටට ගොස් එහි රජතුමාගේ දියණිය ගෙනැවිත් දෙන බවට පොරොන්දු වූවේලු. මේ බව ජන කවිය රස කලේ මෙලෙසිනි.

උතුම් රිවි කුලෙන් පැවතෙන මනනු ලෙද
පසම් තෙද විකුම් රජසිහ නිරිඳු සඳ
නිතින් දෙවඟණක දිසි අප රදුව ළඳ
තොසින් ගෙන ඇවිත් දෙම්මා මිදුව තෙද



පුරන් අප්පු රජ වූ හැටි

ඒ 1848 වසරයි. එවකට වූ ඉංග්‍රීසි පාලනයට විරුද්ධව මාතලේ කැරැල්ල සිදුවිය. ක්‍රි.ව. 1848 ජූලි මස 28 වනදින දඹුලු විහාරයේදී උඩරට රජු ලෙස පුරන් අප්පු ඔටුණු පැළඳී ය. පසුව කැරැල්ල මැඬ පැවැත්වූ ඉංග්‍රීසින් පුරන් අප්පු රාජ ද්‍රෝහියෙකු ලෙස සලකා වෙඩි තබා මරා දැමීමට තීන්දු විය. ජන කවියා කවි කර ගෙන එන්නේ ඒ ඔටුනු පැළඳවීමය.

පුරන් අප්පු සේනාපති තෝරාලා
ආරක්සා බටයින් තව රැස් කරලා
යුද සේනාව සවි සක්තිය යොදවාලා
පුරන් අප්පු රජවිය සතුටින් එකලා



ගලපිට මා වී වැඩුනු හැටි

සිරි සඟ බෝ රජතුමා අත්තන්ගලු වනයේ සිල් රකිමින් සිටිද්දී මඟියෙකු පැමිණ සිය බත් පතින් කොටසක් රජුට පිළිගැන්වී ය. මඟියාගේ පෙරැත්තට එය පිළිගත් අතර සිය බත් පතින් පෙර බත් මිටක් පොකුණ වෙත විසි කොට මා බුදු වෙතොත් මේ බත් පැල වේවායි පැතුවේලු. අදටත් නියම වාරෙට එහි පොකුණේ මා වී දකින්නට ලැබේ. මේ විස්තරය ජන කවියෙන් ප්‍රකාශවෙන්නේ මෙලෙස ය.

අයියණ්ඩියේ නුඹ කොතැනින් ගෙනා වියේ
සකබඹ තල වක මුදුනෙන් ගෙනා වියේ
මසින් මසට ගොප් ඇඳ ඇඳ පහ වියේ
අත්තන ගල්ල ගලපිට පඳුර මා වියේ



ළදරු බණ්ඩාර මැරුවයි එ තැනේදී

මද්දුම බණ්ඩාර ඇතුලු ඇහැලේපොළ දරුවන් මැරවීම පිළිබඳ ශ්‍රී වික්‍රම රජු ගත් තීරණය පිළිබඳ ශෝක වූ කවියා ඒ බව ගයා ඇත්තේ මෙලෙසිනි.

බෝගහ වීදියේ තුන් මං සලේදී
නා ගහ වීදියේ තුන් මං සලේදී
සතර වරම් දෙවි නඩු නැති දිනේදී
ළදරු බණ්ඩාර මැරුවයි එතැනේදී




ලිව්වේ:
LishWish
මූලය : සිංහලේ අන්තිම රජ
මැකෙන ජන කවි කතා
හෙළ කවි සරණිය

මනරම් සොකරි නාටකය . . !

Mar 28, 2010

P1010987


තුන්පත් රටා බ්ලොග් අඩවිය ආරම්භයේ පටන් පාඨකයන්ගේ ඉල්ලීමක් තිබුනා "සොකරි" ගැන ලියන්න කියා. නමුත් ප්‍රමානවත් පත පොත නොමැති කමින් ටික කලෙකට ප්‍රමාද කරන්න සිදු වුවත් පසුගිය නිවාඩුවෙන් පසු පැමිනීමේදී තුන්පත් රටා බ්ලොග් එක වෙනුවෙන්ම තරමක් පොත පොත සොයාගෙන අවායින් සොකරි ගැන යමක් ලිවේමේ අඩිතාලමක් වැටුනු බව පවසන්නේ සතුටින්.

ඒ අතරේම ලිෂාන්, හෂිත, සචී පසුගියදා නැරඹූ හා නරඹන ආතර රූගත කල නැටුම් සංදර්ශයන්යේදී රූගත කල දෑ එකතු කිරීමට පාදම සපයනු වස් පමා නොකොට සොකරි ගැන ලිවීම යෙහෙකැයි මා සිතුවා. ඒ අතරම "ඔන්න මම පොත් හොයලා දුන්නා . . දැං ඉක්මනට ලියන්න" යි නදීෂා නිතර කරන ඉල්ලෙමත් කොහොමත් අහක දාන්න බැරි වුනා.

කෙසේ වෙතත් මේ සොකරි විස්තරය වටා ගෙතුනු කතා කීපයක් හා විස්තර කල යුතු අංග කීපයක් ඇති නිසා පාඨකයාට එපා නොවෙනු වස් කොටස් කීපෙකින් රැගෙන ඒමටයි මගේ බලාපොරොත්ටුව.

ගැමි නාටක . .. .
ශ්‍රී ලංකාවේ උඩරට හා පහත රට නර්තන සම්ප්‍රදායන් හා බැඳුනු ගැමි නාටක ගැන සොයා බැලීමේදී ප්‍රධාන ගැමි නාටක දෙකක් ඇති බව කියවේ. එනම් "සොකරි නාටකය" හා "කෝලම් නාටකය" යි. මීට අමතරව "නාඩගම්" සහ "රූකඩ" ද ගැමි නාටක ලෙස හඳුන්වනු ලැබේ.

සොකරි
සොකරි නාටකය එහි ප්‍රධාන චරිතයේ නමින්ම හඳුන්වනු ලබයි. බොහෝවිට සොකරි නාටකය දක්නට ලැබෙනුයේ උඩරට ප්‍රදේශ වලදී ය. වන්නි ප්‍රදේශයේ, සතර කෝරලයේ ඇතැම් ප්‍රදේශ වලද දක්නට නැතුවා නොවේ. වර්තමාන සොකරි නාටකය හඟුරන්කෙත, හේවාහැට, මාතලේ, දඹුල්ල, කළුංදෑව, කොනකගල යන ප්‍රදේශ වල දක්නට ඇත. නාගරිකරණය වීමේ ප්‍රතිඵලයක් ලෙස සොකරි නාටකය ක්‍රමයෙන් අභාවයට යමින් පවතී.

රංගභූමිය හා සැරසිලි
මෙහිදී රංගභූමිය ලෙස බොහෝ විට යොදා ගන්නේ කමතයි. මෙය කවාකාර රඟ මඬලකි. ප්‍රේක්ෂකයාට නිදහසේ බිම වාඩිවී නාටකය නැරඹිය හැකි ලෙස රඟ මඬල සකස් කෙරේ. රංගභූමිය පිටුපසින් කෙසෙල් පතුරු වලින් සාදා ගොක් කොල කැටයමින් අලංකාර කල මල් යහනක් ඉදිකෙරේ.

P1010893

නාටකයේ අරමුණ
ප්‍රාධාන අරමුණ ලෙස විනෝදාස්වාදය ලබා ගැනීම සඳහන් කල හැකි අතර සොකරි නාටකයේ පූජා ක්‍රමයක්ද ඇති බව පෙනෙන හෙයින් දෙවි දේවතාවුන් සතුටු කර ඔවුන් පිනවා සරුසාර අස්වැන්නක් ලබා ගැනීම ද්වීතියික අරමුණ ලෙස ගත හැක.

වාද්‍ය භාණ්ඩ
ගැටබෙරය හෙවත් මගුල් බෙරය ප්‍රධාන වාද්‍ය භාණ්ඩය වේ. එනමුත් ඇතැම් පලාත්වල (බදුල්ල ) දවුල ද වන්නි ප්‍රදේශයේදී උඩැක්කියද යොදා ගැනේ.

පූජා ලබන මූලික දෙවිවරු
පූජා ලබන මූලික දෙවිවරු ලෙස පත්තිනි දේවිය හා කතරගම දෙවියන් දැක්විය හැක.

සොකරි පුරා වෘත්තය
කසී රටෙන් පැමිනි ගුරුහාමි නමැති ආඬි ගුරාගේ බිරිඳ වූ සොකරි ඉතා රූමත් කාන්තාවකි. ඔවුන්ග සේවකයා පරයා නමි. ගුරුහාමි, සොකරි හා පරයා නැව් නැඟ ලංකාවට පැමිණ, තඹරාවිට නම් ගමේ පැලක් සාදා ගනී. සිංහල බස නොදැනීම නිසා පැලක් අටවා ගැනීම ඉතා අපහසු කාරියක් වු නමුත් සේවකයා වූ පරයාගේ කපටිකම, දක්ෂකම හා මුඛරිකම නිසාවෙන් ඒ කාරිය අපහසුවකින් තොරව ඉටු කෙරේ.

P1010996


ගුරුහාමි ගමේ ඇවිද සහල් ගෙනැවිත් බිරිඳ සොකරිට දෙයි. පසුව එය පිසීම සඳහා ජලය සොයා ගැනීමේ කාරිය ද ගුරුහාමිට පැවරෙයි. ජලය සොයා යන ගමනේදී බල්ලෙකු විසින් ගුරුහාමිව සපා කමු ලබයි. මින් බලවත් ලෙස රෝගාතුර වන ගුරුහමි මියා ගියායැයි සිතන පරයා සොකරි තමා වෙත නම්මවා ගැනීමට උත්සාහ දරනු ලබයි.

කෝපයට පත්වන සොකරි වෙදරාළ කැඳවාගෙන එන්නට පරය පිටත් කර හරී. පරයා වෙදරාළට කොපමන ඇවටිලි කලත් සොකරි විසින්ම ආරාධනා කරන තූරු වෙදරාළ නොපැමිනෙයි.

කීපදිනක් ගුරුහාමිට වෙදකම් කරමින් සිටින වෙදරාළ සොකරි සමඟ හාද වී එක් රාත්‍රියක ඈ සමඟ පැන රහසේ පැන යයි. ශෝකයට පත් ගුරුහාමි කතරගම දෙවියන්ට සොකරි ආපසු ලබාදෙන ලෙස ඉල්ලා භාරයක් වෙයි.

කතරගම දෙවියන්ගේ බලයෙන් පිහිටෙන් සොකරි ඉන්නා තැන දැනගන්නා ගුරුහාමි සොකරි කැඳවා ගෙන විත් ඈ කල නොමනා ක්‍රියාවට ඇයට දඬුවම් දෙනු ලබයි.

තමා වෙදරාළ සමඟ ගියේ ස්වකැමැත්තෙන් නොව වෙදරාළ විසින් දුන් ඉනා බෙහෙතක් නිසාවෙන් යැයි සොකරි තම නිදහසට කරුනු ගෙන හැර දක්වයි. සෙට තැලීමෙන් තම කෝපය නිවා ගන්නා ගුරුහාමි පසුව ඇයට සමාව දෙනු ලබයි.
කලකට පසු සොකරි දරුවෙකු වදන අතර ඉන් පසු සියල්ලෝ සතුටින් ජීවත් වන බව අඟවමින් නාටකය නිමාවට පත්වේ . ..

සොකරි නාටකයේ චරිත
සොකරි
ගුරුහාමි
තඹරාවිට වෙදරාළ
පරයා
හෙට්ටියා
කාලි අම්මා
සොත්තානා
වඩුරාළ
කපුරාළ

පිරිමින් විසින්ම පමනක් මේ නාටකයේ සියළුම චරිත රඟ දැක්වීම මෙහි ඇති විශේෂිතම ලක්ෂනයයි . .

P1010994

P1010989

P1020019

P1020053

. . .. . . . .. . .. . .


සොකරි නාටකය පිලිබඳ මූලික හැඳින්වීම මේ කොටසින් නිමා කරමි.

සෙස්ස පස්සට

මූලාශ්‍ර / උපුටා ගැනීම : නදීෂාගේ ඤාති සොයුරෙකුගේ උසස්පෙළ නැටුම් කලාව අභ්‍යාස පොතෙනි.

බමර ගී

Mar 23, 2010

SRI-VED-SE-18_medium



විජයාවතරණයටත් පෙර පටන් සිරිලක බිම නිජබිම කොට ගත් අපේ ආදිතමයා වශයෙන් හැඳින්වෙන්නේ වැද්දා ය. දඹාන, බිංතැන්න, නිල්ගල වැනි වන ගහන වල ජීවත් වූ වැද්දා ට ම ආවේනික සංස්කෘතික ලක්ෂණ තිබේ. යකුන්, ගස්, ගල්, හිරු, සඳු ඇදහීය. ඒ වෙනුවෙන් පුද පූජා පැවැත්වීය. ඔවුහු නැටූහ. ගී ගැයූහ. වැදි පෙරහර ඒ සියල්ලෙන් ම සම්පූර්ණ විය. නිදසුනක් ලෙස කිරිකොරහ ශාන්තිකර්මයකි. කන්දේ යකා හා බිළිඳු යකා ඉන් පුද ලබති.


බමර කැපීමද වැදි ජීවන රටාවේ තවත් විශේෂ වූ අංගයකි. දසමස් කල් තබා ගැනීමට පැණි අවශ්‍ය විය. ඒ සඳහා මී වද බමර සොයමින්, ගල් රුප්පා, රූස්ස ගස් සරා මහා වනය පීරති. "නොදියුණු" නූගත් යන වදන විශේෂණය කොටගත්තත් වැද්දෝ අපට වඩා නුවනැත්තෝ ය. ඔවුන් නිවහල් ය, නිදහස් ය. සතුටින් සාමයෙන් කාලය ගෙවන්නෝය. ඒවන් ජනසමාජය ක නැටුම්, ගැයුම් වැනි කලා රසාංග මතුවන්නේ නිතැතිනි.


"මලී ගී" නමින් ද හැඳින් වෙන බමර ගී පිළිඹඳ කතාව අවස්ථා කිහිපය කි. කඳු, හෙල්, පල්ලම් තරණය කර රූස්ස ගස් නගින හැටි, ගල් නලලත ට පැමිණෙන අයුර, බමර දකින විට ඇතිවෙන සතුට, ඉන් උද්දාමයට පත් වෙන හැටි, ඒසේ වී දෙවියන් වෙනුවෙන් ඒවා ගායන කරන හැටි යන අවස්ථා වර්ණවත් කලේ කවියෙන්, කිසිවකින් ඔවුහු අනුකරණ නොකරන ලද්දා හ. ගැයුවේ අවංක සිතිනි. අව්‍යාජ අදහසිනි. ජීවනයේ දුක්, කම් කටොලු ගන විස්තර එහි ඇතුලත් වී ඇත්තේ ය.


පදවැල් ඉතා සරළ ය. ඔවුන්ට ම අවේනික වූ බැද්ද, හුරා, රිස්ස වැනි පද යහමින් යෙදී ඇත. ස්වර පරාසය පටු ය. එහෙත් වෙන කිසිම ජන ගී රටාවක ට සමකල නොහැක.


ගල් ඇඳි වල බැඳ ඇති බමර කැපීමේදී, රසවත් කතා ඇසිය හැකිය. ගල නලලත පහලට බැසීමට, ශක්තිමත් වැලක් යොදාගනී, එහි මුල ඇල්ලීමට ඉඩදෙන්නේ තම මස්සිනාට පමණි. ඒ වෙනත් කෙනෙකු ගැන විශ්වාසය තැබිය නොහැකි නිසා ය. ලොකු ගස් වල ට නගින්නේ වෙනත් කුඩා ගසක ඇති වැලක ආධාරයෙනි. ඔන්චිල්ලාවක සේ පැද්දී පැද්දී යමින් දුම් අල්ලා මැස්සන් පලවා හරින්නේ සිය ජීවිතය ද පරදුවට තබා ය.


බමර කැපීමද ඉතා විචිත්‍ර ය. බමර ය කපන්නට යාමද අඟවන්නේ කවියකිනි.


මැණික් රජා හට ගොස් පවසන්නේ
බමර කපන්නට යමං කියන්නේ
දකුණට රං කඩුවක් අරගන්නේ
වමතට ගිනි පන්දමක් දරන්නේ


බමරය අසලට යන වැද්දා කැපීමට පෙර දෙවියන් යදී. ඒ සිය ජීවතය හා අතවැසියාගේ ජීවිතය වෙනුවෙනි.


සිද්ද පරකාස දෙවි හාමුදුරුවනේ
තිත්ත රන් දුන්න ගන තේව කරමිනේ
සිද්ද වෙවන් පිනිදිය උඹට කැප උනේ
වැන්ද මෙන්න බුදුවෙන හාමුදුරුවනේ


බමරුන ගසින් හෝ ගලෙන් ඉවත් ව ගිය පසු එහි මුදුනට වී සිටින වැද්දාට අවට සිරියාව යහමින් දකින්නට වරම් අවකාශ තිබේ. ඒ සතුර බමර කඩන්නා පෙන්වන්නේද කවියකිනි.


බැද්ද අවට සුදු මොර මල් පිපීලා
සද්ද කර බමරු ඒවග අඬාලා
ඉටිත් පැණිත් ලොව හමතැන බෙදාලා
යන්නම් බමරු දුක් මැසිවිලි කියාලා


වේලි හෙලට මේ මහ හෙල උස වැඩියා
ඒ දුනුවැල ඇදලා මගේ රිස්ස ගියා
ලොවේ සේනාව හෙලයට වැටී ගියා
ඉටි පැණි නැතිව උන් හෙලයට වැටී ගියා


බමරය කපන්නට ගසට නගින වැද්දා මෙසේ කියන විට පහල සිටින අතවැසියාද ඒ හඬ ගසා කියති.., එසේ ගෝෂා සහිතව ගයන්නේ වලසුන්ගේ උපද්‍රව ද මඟ හැරී යාමට ය. බමර පැණි ආපසු ගමට ගෙන යාමෙදී ද දෙවියන් ගෙන් අවසර ගැනීමට ද අමතක නොකරති.


වේලි හෙලේ හෙල වටකර මුලුල්ලා
ගල් නලලත බැන්දා වැනි තොටිල්ලා
පාදන් පොලට එන කොටකර කැවිල්ලා
හෙලේ බසින්නට අවසර අර ගල්ලා


මේ අති සරළ ජීවන කරමය අතීත ජනයා ගෙව්වේ කලාවත් එක්කොට ගෙනය. ඔවුන් ස්වභාව ධර්මයට සැලකුවේද ස්නේහයෙනි, ස්වභාව ධර්මයද ඔවුන් ව අමතක නොකලේ ද එනිසා විය හැකිය. අද අපට අහිමි වී ඇත්තේ ද එයම ය.



ලිව්වේ : LishWish.
අතහිත : ප්‍රේමරත්න සොයිසා ගුරුපියාණන්.

පැරකුම් රජුගේ කෝපයෙන් උපන් රොඩී කුලය සහ ඒ හා බැඳුනු කුලු නැටුම් !

Mar 8, 2010


පැරකුම් රජුගේ දියණිය රජ මාලිගය අතු-පතු ගා කුනු-රොඩු එකතු කර විසිකරන සේවකයා හා පෙමින් බැඳුනි. මේ බැව් දැන ගත් රජු ඒ සබඳකම නතර කිරීමට කල හැකි දේ සලකා බලන්න ඇති. කුමරිය පිය රජුට පවසන්න ඇති "මා සිත් ගත් පෙම්බරයාගේ දිවියට හානි කලොත් ඔබට ඔබේ දියණියගේ දිවියත් නැතිවනු නිසැකයි" කියා.

නැති නම් කුමරිය රහසේම රොඩු එකතු කල කඩවසම් තරුණයා හා මාලිගයෙන් පලා යන්න ඇති.

රජුට ඇතිවූ අපහාසයට, කනගාටුවට කුමරියගෙනුත් රොඩු එකතු කරන්නාගෙනුත් පලිගනු වස් රොඩී යැයි කුලයක් සාදා, තම දූ කුමරියත්, රොඩු එකතු කල තරුණයාත් ඔහුගේ සනුහරේ ඈයෝත් ඒ කුලයට පන්නා දමන්න ඇති. එය පහත් කුලයක් ලෙස හංවඩු ගසන්න ඇති. තවදුරටත් රොඩී කුලයේ මිනිසුන් මිනීමස් අනුභව කරන බවක් සමාජයේ පතුරුවා හැර ඒ කුලයට ඇති සමාජ පිලිගැනීම නැත්තටම නැති කර දමන්නැති.

කපාගත් ගොයමේ වී හුලං කිරීමට හෙවත් රොඩු ඉවත්කිරීමට අවැසි කුලු නිපැදවීම මේ රොඩී කුලයේ අයට පැවරුනු රාජකාරියක් වෙන්න ඇති.


කුලු නැටුම් වල ඇති කවි වල සඳහන් වන පැරකුම් රජුගේ දියණිය අප සිත් තුල ඇති කලේ විශාල කුහුලක්. ඇය කීවෙනි පැරකුම් රජුගේ දියණියද?? කුලු නැටුම් වලත් ඇගේත් ඇති සම්බන්ධතාවය කුමක්ද?? වරෙක නදීශා පීටර් සූරසේන නැටුම් ගුරු මහතාගෙන් විමසීමක් කලත් නිසි පිලිතුරක් නොලැබුනි. නමුත් සචී, හෂිත, මා, ලිෂන් හා අක්කන්ඩි ස්කයිප් කතාබහක යෙදී සිටින විටෙක මගේ ඒ කුහුල රසවින්දනයේ විශ්වකෝෂයක් බඳු හෂිත විසින් විසඳන ලදි.

ඉහත සඳහන් පරකුම් රජුගේ දියණිය ගැන මගේ අනුමාන කතාව ඒ ඔහු විසින් පැවසූ ජනප්‍රවාදය ඇසුරින් නිමැවූවක්. මේ සම්බන්ධව මීට වෙනස් හෝ වැඩි යමක් දන්නා අයෙක් වේ නම් ඒ අදහස් කමෙන්ටුවක් ලෙස සඳහන් කිරීම අනාගත පරපුර වෙනුවෙන් කරන යුතු කම් ඉටුකිරීමක් ලෙස සලකනු ඇති.

මේ පහත දැක්වෙන්නේ ජන ගී වල ජනප්‍රිය නැටුමක් වූ කුලු නැටුම් වල කවි කීපයක්. කුලු නැටුමක වීඩියෝ පටියක් සොයා ගැනුමට වෙහෙසුනායින් මේ ලිපිය මෙතරම් පමා වුවත් පසු කාලයක එකතු කිරීමේ බලාපොරොත්තුවෙන් දැනට කවි කිහිපය පල කිරීම වඩා සුදුසු යැයි උපකල්පනය කොට ලියා පල කලෙමු.

ඈත සිටන් එන්නේ සෙල්ලි සෙල්ලියේ
මෑත සිටන් එන්නේ සෙල්ලි සෙල්ලියේ
කරේ බන්ද පවලම් වැල නොසෙල්ලියේ
පැරකුම් රජුගෙ දුව නවරත්න වල්ලියේ

වටත් සදිසි බට කොළ වියපු වල්ලියේ
මටත් බලන්නට සවුදම් ගැසුල්ලියේ
මෙරට ලඳුන් කුළු හරඹට අවුල්ලියේ
පැරකුම් රජුගෙ දුව නවරත්න වල්ලියේ

බන්ද වාන කුළු යතුරු සදාලා
අන්දවාන දෙදෙනෙකුට කියාලා
කැන්දවාන අළු යන්තරෙ ඇදලා
කන්දෙ බැදෙන බැත පැහැපත් කරලා

රන් ගිරි මුදුනේ හිරු බැබලෙන්නේ
වල්ලි ළදුන් තනි තනිවම එන්නේ
අවුව ද වැස්ස ද කියා බලන්නේ
කුල්ල අරන් අප නටුමට එන්නේ


මෙහි ඇත්තේ ජන ගීමාලා නම් නොනවතින ගී කලසේ එන මෙම කුලු නැටුමට අයත් ගී ඛණ්ඩයකි.



. . . . . . .. . . .. . ..

ලිව්වේ සුභාෂ් සහ නදීෂා