Showing posts with label LishWish. Show all posts
Showing posts with label LishWish. Show all posts

සක පදවන දන සරතැස නිවූ කරත්ත කවි

Jul 22, 2011

cattle


ජනකවි සඳහා අවධානය යොමු කරන විට අපට එහි අනු අංගයක් ව පවතින කරත්ත කවි නොතකා හැරිය නොහැකිය. අතීතයේ විවිධ සමාජ ස්ථර වල අය කරත්තය සිය දෛනික අවැසිතා සඳහා භාවිත කලද මෝටර් රථයේ ආගමනය නිසාවෙන් කෙමෙන් කෙමෙන් අභාවයට යන්නට විය.., කෙසේ වුවත් ඒ අභාවයට ගිය සම්ප්‍රදායන් අපට ඉතිරි කර යන්නේ ඉතා වටිනා දායදයන් ගොන්නකි.., කරත්ත ඇසුරේ ඉපදෙන කතා, කවි, තේරවිලි හා ආප්තෝපදේශ බොහෝය. ඉන් ඉතාමත්ම විසල් ඉඩක් හිමි කරගෙන සිටින කරත්ත කවිය.., අපට නිහඬවම පවසන්නේ කරත්ත රෝද යට වැලලි රසවත් ඉතිහාසයක් ඇති බවය.

කරත්ත කවි බොහෝවිට අපට හමුවන්නේ සුහද සංවාදශීලී ගුණයෙන් පිරිපුන් කවි ලෙසය. බිම්මට්ටමේ ගැමියාට වුව තේරුම් ගත හැකි සරළ සුගම බස් වහරකින් සජ්ජිත මේ කවි අතර ගමන් විඩාව නිවන උපහාසය ආදී ගති ගුති ගුණයන්ද නොඅඩුව පැවතිණි.

කරත්ත කවියට වැඩි පුරම හේතු පාදක වුයේ බර කරත්තයයි.., කුලීන ජනයා සිය ගමන් බිමන් වලට භාවිත කල තිරික්කල ඇසුරින් නිපදවී ඇති කරත්ත කවි තාම ඌණය.., සහර විට කුලීණ ජනයා ගේ කරත්තය පදවාගෙන යනවිට යටත් වැසියා ගේ සිතට කවි සිතුවිලි පහල නොවීම විය හැකිය.

බර කරත්ත අතීතය සිය ගමන් ආරම්භ කරන්නේ සවස් යාමයේය.., ලන්තෑරුම් ආලෝකයේ සිය හමන නිවුනු මඳ පවන මැද ආරම්භ කරන ගවයාට විඩාව දහවලට සාපේක්ෂය අඩුය. කරත්ත කවි බෝවිට කියන්නේ ගැලක කරත්තය ගමන් අරඹනා විටය. එක කවියක් කරත්තයකින් ඇසෙද්දී ඊට පිළිතුරු කවිය ඊළඟ අසල වන කරත්තයෙන් ඇසේ. මෙලෙස ගැල අවධියෙන්, ක්‍රියාකාරීව පවත්වා ගන්නත්, නිද්‍රාව ඌණ කරන්නත් මේ කවි ලබාදුන්නේ මහඟු පිටු වහලකි. තමා ගමන් ගන්නා අඩවිය ග්‍රාමය සහ ගොනුන්ගේ ආරක්ෂාවට වන දෙපස සිටින සියලු සතුන් බියවද්දා පලවාහරින්නටද මේ කවි උපයෝගී කරගන්නට ඇත.

ඇතැම් විට කරත්තය අදින්නට අපහසු අවස්ථාවල ගොනුන් දෙදෙනෙකු බඳින්නට කටයුතු කරයි.., සමහර විට හදිසි අවැසිතාවට රැගෙන යන අමතර ගොනාද මෙලෙස අනික් දෙදෙනා බැඳි කර දණ්ඩ අනික් ගොණාටද ආඳනු ලබයි මෙලෙස ආඳනු ලබන කර දන්ඩ තන්ඩලේ නමින් හැඳින්වේ.පහත කවියේ මුල් පදයේ කියන්නේ එයයි.

තණ්ඩලේ දෙන්න දෙපොලේ දක්කනවා
කටුකැලේ ගාල නොලිහා වධ දෙනවා
හපුතලේ කන්ද දැකලා බඩ දනවා
පව් කල ගොනෝ ඇදපන් හපුතල් යනවා

සාමාන්‍ය ගමන් සඳහා මෙම තණ්ඩලේ භාවිත නොකරන අතර.., බොහෝවිට කන්දක්, අධික බරක් අදින්නට සිදුවන අවස්ථාවල තණ්ඩයේ භාවිතය දැකිය හැකිය. සමහර විට මේ තණ්ඩලේ හපුතලය කන්ද නිසාම ආරම්භ වූවක් විය හැකිය. මක්නිසාදයත් වර්තමානයේදී පවා වාහන පවා කන්ද තරණය කරන්නේ ඉතා ආයාසයෙන් වන නිසා ය.

බ්‍රිතාන්‍ය යටත් විජිත කාලයේදී අතීත කරත්තකරුවා ගතකලේ ඉතාම දුක්බර ජීවිතයකි. කුසට අහරක් නැතිව, ගතට නිවනක් නැතිව දිවා රෑ වෙහෙසෙමින් ගතවන මේ ජීවිතේට ඇති එකම සැනසුම දෙවි පිහිටයි, ඒ ඔහුගේ අවසාන බලාපොරොත්තුවයි.

දුප්පත් කමට ගොන් බැඳගෙන දක්කනවා
කන්ට නැතිව දිව රෑ දෙන වෙහෙසෙනවා
ගොන්ටත් නොයෙක වධ දී අප ගෙනියනවා
දැන්වත් අපිට දෙවියෝ පිහිටක් වෙනවා

අතීත කරත්ත කරුවන් වර්තමානයට සමාන කරන කල සමාන වූයේ හිමිකරුවෙකු යටතේ හිඳිනා කුලී වාහන රියදුරකුටය. හිමි කරුවා කරත්ත පදවන්නාට ගෙව්වේ වැටුපකි. තවද කරත්ත කරුවාට ගෙවන්නට යෙදෙන පඩියෙන් කරත්තයට යම් හානියක් වී ඇතිනම් එයද ඔහු කරත්තකරුවාගේ වැටුපෙන්ම අඩු කරගැනීම කරගන්නා ලදී. පහත ඇති කවිය කරත්ත කරුවා ගෙවා ඇති අනාරක්ෂිත ජීවිතය පිළිබඳව ඉඟි කරන්නකි.

බර වැඩි වෙලා ගොන් බානට උඹ අවුලේ
කර වණ කලේ ඇයිදැයි මුගේ නැද්ද මොලේ
මූ මරලා දැම්මෝතින් හොඳයි කැලේ
පොත බලා පඩි දෙනකම් හිටු ගාලේ


අතීත ජනයා සිය භාන්ඩ ප්‍රවහනයට අමතරව ගමනාගමනයට භාවිත කලේ කරත්තයි..,  ගැල් බැඳ ගමන් ගන්නේ රාත්‍රී කාලයේදීය.., තනිකමට බුලත් විටකුත්, සීතලට සුරුට්ටුවක් පත්තු කර ගැනීමට අතීත ජනයා අමතක නොකලහ. ආහාර ලෙස කඩ කෑමද ඉහත කී බුලත් සුරුට්ටු ආදියද ගමන ගන්න විට අසල ඇති කඩයෙන් ගනීම සිදුවෙයි. කතරගම යන ජනයා යන අතරමග නැවතී අලුත් ගම ප්‍රදේශයෙන් අවැසි දේ ලබාගෙන කතරගම වන්දනා කරන්නට යන ආකාරය පහත කවියෙන ප්‍රකාශ වෙන ආකාරය මනහරය.

කන්නේ කටට රස හින්දයි බුලත් මම
බොන්නේ සුරුට්ටුව සීතල යන්න තම
කන්නේ රෑ කඩෙන් නැවතී අලුත් ගම
යන්නේ වන්දනාවේ අපි කතර ගම


ගැලක් ගමන් ගන්නා විට ස්වාභාවික කරදර වලට මුහුණදීම ඉතා සාමාන්‍ය සිදුවීමකි. වර්ශාව නිසාවෙන් ගොනා කරත්තය අදින්නට මැලිවීම සිදුවෙයි.., මේ සිදුවීම මතකයට නැගෙන කවියාගේ මුවට කවි සිතුවිලි නැගීම ස්වයංව සිදුවේ. වැසි තර වනවිට ගොනාට අදින්නට අමාරු වන බවත් ගොනාට ඒ වදයක් වෙන නිසා කරත්ත කරුවාගේ සිතටද ගොන ගන දුක ගෙන දෙයි. මේ දුක්ප්‍රාප්තියේ උච්චතම අවස්ථාව "මගේ රිස්ස යන්නා" යෙනුවෙන පල කර ඇති පහත කවියට සිත් යොමන්න.

වැස්ස වහින්නා මඩ ගොහොරු වෙන්නා
ගොනා නොයන්නා ගෝණිය තෙමෙන්නා
ගොනා තල් අත්ත කපුරැල්ල වන්නා
මෙදා පැටලිල්ල මගෙ රිස්ස යන්නා

කරත්ත දක්කගෙන යන විට නගරවල ඇති විවිදාකාර දේට හිත යන අතර එසේම කරත්ත කරුවන්ගේ තරුණ ජීවිතයද මඟටම ගෙවේ. නගර ආශ්‍රිතව ගතවන ජීවිතවල මේ ආකාරයේ ජීවිත බෝහෝ ඇත., නගර ගැන තොරතුරු සඳහන් වෙන මේ කවියේ කරත්තය නවතන්නේ හොරණ ය. කොතරම් වැර යොදා කලත් සිය වෘත්තිය පිළිබඳ ව පවතින කලකිරීම පහත කවියෙන් මොනවට පැහැදිලි වේ.

අරුම වැඩ දුටිමි කඩවල සරසනවා
තරම නොදැන ඇවිදලාම ලතැවෙනවා
තරුණ කල වයස කඩ වල පසු ලතවෙනවා
හොරණ කඩ පෙලේ ගොනු අප නවතනවා1


අතීතයේ පාලම් බැඳීම කලේ ලී භාවිතා කරය..,අතීතයේ වනයේ ලී සහ ලෑලි ඇදීමට භාවිත කරන ලද්දේ කරත්තයයි.මාදුරු ඔය පාලම සෑදීම සඳහා ලී ඇදි කරත්ත කරුවෙකු ඒ පිළිබඳව සිය අත්දැකීම කියන පහත කවිය විමසන්න.

කලුවර කැලේ ලී කපලා ලී ඇද්දා
මඩකලපුවේ ගොනිගෙන ලෑලිත් ඇද්දා
අලින් උසට ගල් පෙරළා වැටි බැන්දා
මාදුරු ඔයට ඔබනා පාලම බැන්දා2

කරත්තය පදවාගෙන යන අතරමඟ වැවී ඇති ලපටි තනකොල කපා ගොනුට කෑමට දී ගමන ආරම්භ කරමුදැයි අසන කරත්ත කරුවෙකු ගැන පහත කවියෙන් දැක්වේ. ගැලක ගොණු සඳහා සාමාන්‍යයෙන් කන්නට දෙන්නේ පිදුරු වුව ලපටිතණකොල වලට ගොනුන් දක්වන රුචිකත්වය මේ කවියට හේතුවූවාදැයි සිතෙයි..!

යන ලෙසිනේ ගුරුගොඩ පාලම පැනලා
එම ලෙසිනේ පන්තියේ වත්තට පනලා
දුටිමි අනේ තණකොල වත්තක වැවිලා
කපලා ගෙනේ එම පාරට ගොන් ලිහලා3


තණ්ඩලේ දෙන්න දෙපොලේ දක්කනවා
ගොන් කරේ මිණි බැඳලා නද දෙනවා
කටුකැලේ ගාල නොලිහා වද දෙනවා
පවුකල ගොනෝ ඇදපන් හපුතල් යනවා4


මෙම ලිපියේ මුල්ම කවිය මේ විව මේ ඉහත කවියේ විශේෂ බවක් ඇත. ඒ නම් හපුතලේ කන්ද දැකලා බඩ දනවා වෙනුවට ගොන් කරේ මිණි බැඳලා නද දෙනවා යන්න යෙදී ඇත. කරත්ත්යා අදින ගොන්ගේ අලංකාරයට  ගෙජ්ජි වැලක් බඳියි ගමන් ගන්නා විට මේ ගෙජ්ජි වැල ඉතාමත් කන්කලු අයුරින් හැඬවේ. මේ ආකාරයෙන් ම ප්‍රාදේශීයව පද වෙනස් වෙන කවි කරත්ත කවි අතර ඇත. පහත කවිය බලන්න.

අටිය වඩන ලොකු අප්පුගේ කරත්තේ
කැහැටු ගොන් බාන බැඳලා දෙපැහ්තේ
කවට කමට විය අඹරා ගස් නිත්තේ
ගොසින් ලිහමු මොරතොට නැන්දගේ වත්තේ
5

මේ කවියේ අවසාන කවිපදය එනම ගොසින් ලිහමු මොරතොට නැන්දගේ වත්තේ යන්න සබරගමුවේ භාවිත වන්නේ ගොසින් ලිහමු මොරවක නැන්දගේ වත්තේ ලෙසය. නමුත් වයඹ භාවිත වන්නේ , ගොසින් ලිහමු ගිංතොට නැන්දගේ වත්තේ ලෙසය. දුර්වල ගොනුන්ගෙන් අතොරක් නැතිව වැඩ ගන්නා ලොකු අප්පු ගැන ඉතාම උපහාසයෙන් ඇති අයුරක් ඉහත කවියෙන් ගම්‍යවේ.

මේ අයුරෙන් කරත්ත කවි ගැන පූර්ණ සෙවුමක් කරන්නට නම් තවත් ලිපි ගණනාවක් ලිපිය යුතුය., මිනිස් ජීවිතයේ සුන්දර පැතිකඩක් නිරූපනය කරන මේ කවි සම්ප්‍රදාය අතීත ජනයා තුල සිය දුක්ඛ දෝමනස්සයන් කලාත්මකව එලිදැක්වීමට තිබූ හැකියාව පෙන්වන මන බඳනා පැතිකඩක් බව නොකියාම බැරිය. කරත්ත කවි පිළිබඳ රසබර තොරතුරු සමඟින් තවත් ලිපියකින් හමුවෙමු. රැඳී සිටින්න තුන්පත් රටාව සමඟ..!

තොරතුරු උපුටාගත් ග්‍රන්ථ ►

1 ජනකතාවෙන් උපන් උපමා සහ අප්තෝපදේශ කතා.
  එම්.ජී. සිරිල් , නාලිනී කත්‍රිආරච්චි.
  රත්න ප්‍රකාශකයෝ, 1999.

2 ජනකවි සාහිත්‍ය.
  පී. වීරසිංහ.
  ජාතික පුස්තකාල සේවා මණ්ඩලය, 1986

3 ජන කවි මඥ්ජරී.
  එච්.වී.ජී. සෝමසිරි, ජයවර්ධන.
  ඇස්.ගොඩගේ ප්‍රකාශන, 1996.

4 ජන කවිය හා ගැමි සමාජය.
  දයා අමරසේකර.
  ආරිය ප්‍රකාශකයෝ, 1996

5 ජනශ්‍රැති විද්‍යාව.
  මහාචාර්ය නන්දසේන රත්නපාල.
  ඇස්.ගොඩගේ ප්‍රකාශන, 1995.

මේවර කෙළිය ආශ්‍රිත සමාජීය මතිමතාන්තර

Oct 27, 2010

main_dance copy


සාර සදිසි පෙති පේර නෙලන කල වල ගිය දෝ මගේ මේවරයා
නෑනෝ උඹ පල් නුඹේ දරුවන් පල් අප දුටුවේ නැත මේවරයා


තාලයට ගැයෙනාවිට සිතෙන්නේ කුමක්ද? නිසැකවම අලංකාර සහිත ජනගීයක් ඔබට මැවෙනු ඇති. එහෙත් ජන ගීයක යටගියාව නො එසේනම් අපේ මීඩියා කඩවල සිංහල හින්දු අලුත් අවුරුද්දට පමණක් ජාමේ බේරාගන්නට පමණක් ගායනා කරන බවට පසුගිය කාලයේදී මේ කවි පත් වූවා ඔබට මතක ඇති..! ජන ගායනා වල කර්තෘ අඥාත වීමේ පාපය කරණකොටගෙන මෙලෙස හිතූ හිතූ ලෙස බොල්, හරසුන්, ගී වලට එක් වීමට තරම් මේ කවි වර්තමානයේදී අවාසනාවන්ත වී ඇත.

ජනකවි වල පවතින තාලයන් අතර ඉතා
ඉහල ස්ථානයක වැජඹෙන මේවර කවි නොහොත් මේවර කෙළියේදී ගායනා කරන්නට යෙදෙන කවි වලට විශේෂ ස්ථානයක් හිමිව තිබේ..!

මේවර කෙළිය ආශ්‍රිතව ගමන් ගන්නා විවිධාප්‍රකාර මතිමතාන්තර ක්‍රීඩාවේ නම "මේවර" වූ පමණින්ම බැඳී තිබේ..! එක් තැනෙක අතුරුදන් වූ මෙහෙකරුවෙකු සොයනාකාරයක් ගන්නා ක්‍රීඩාවක් බවත් "මෙහෙවර=මේවර" වූ බව කියැවේ.

"වලගියදෝ මගේ මේවරයා" ලෙස කියැවෙන්නේ මෙහෙකරුවා කැලයට ගියාදෝ යන්නකැයි ඉන් අරුත්
ගන්වෙන බව පැවසේ. එහෙත් පුරාණ පොත් පත් වල සඳහන් වන්නේ "මේවරය" යනු කර්ණාභරණයක් බවයි. කෙනෙකුගේ නැතිවූ කන් ආභරණයක් ගැන තවත් අයෙකුගෙන් එය නැතිවූ තැනැත්තා/තැනැත්තිය විමසයි. ඔවුන් පවසන්නේ එය නොදුටුව බවයි.”

සරත් විජේවර්ධන මහතා විසින් රචිත ගැමි ගීය පොතේ මේවර කෙළිය ගැන මෙසේ දැක්වේ.

"මේවරයා යනු සේවකයා ය. මෙහෙවර යන පදය උච්ඡාරණයේ පහසුව තකා මේවර යන ලෙසට සකසාගෙන තිබේ. තම නිවසේසේවකයෙකු නැතිවීමෙන් අසල්වැසි යෙහෙළියන් අමතා ඔහු/ඇය ගැන

අමතන ලෙස මේ ගී සැකසී ඇත. ගීත ගායනයේදී ස්වාමි දුවගේ කොටස එක් අයෙකු විසින්ද පිළිතුර සමූහයක් විසින්ද ගයනු  ලැබේ. ඒ  සම්ප්‍රදායයි.

සාමාන්‍යයෙන් දෛනික කටයුතු සඳහා යන එන කොතැනකදී හෝ තම සේවකයා කැලෑ වැදී ඇතැයි සැක කරන ස්වාමි දුව ඔහුඇය දුටුවේදැයි යෙහෙළියන්ගෙන අසයි. එය විමසන හැම වරෙකම යෙහෙළියන් දෙන්නේ එකම පිළිතුරකි.”

ඒ   "නෑනෝ උඹ පල් නුඹේ දරුවන් පල් අප දුටුවේ නැත  මේවරයා"


1957 දී රචනා කරන්නට යෙදුන ඩබ්. ආර්. සෝමරත්න මහතාගේ සිංහල ජාතික ක්‍රීඩා නැමැති පොතේ සඳහන් වන අන්දමට "වර" යනු වට නොහොත් වටකුරු නැමති අදහසක් දෙන ලෙස කියැවෙන නිසාත්, මේ ක්‍රීඩාව වළල්ලක් පාදක කරගෙන ක්‍රීඩා කරන්නට යෙදෙන බවය. ඒ මහතාගේ මතය අනුව එක

ස්ත්‍රියකගේ වලල්ලක් නැතිවිය. එය කවර තැනකදී නැතිවී දැයි ඕ නොදනී. ඕ එය සෙවීමට උත්සහ දරයි.

තම මිතුරියන් ගෙන ඒ පිළිබඳව විමසයි. එහෙත් එවැන්නක් නොදුටු බව මිතුරියෝ පුන පුනා පවසයි. එයට අනුව ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක් එක තැනකට වී වළල්ල පස් යට සඟවති එතැන දකුනු කකුල් වලින් පාගාගෙන එකම පොදියක් ලෙස සැදෙත්. එක් අයෙක් හො දෙදෙනෙක් එම පොදිය වටා

කැරකැවෙමින් ගී විශේෂයක් වළල්ල ගැන ප්‍රශ්ණ කරයි.


සාර සදිසි පෙති පේර නෙලන කල වල ගිය දෝ මගේ      මේවරයා
නෑනෝ උඹ පල් නුඹේ දරුවන් පල් අප දුටුවේ නැත        මේවරයා
කොස් වතු කන්දේ කොස් නෙලනා දා වල ගියදෝ  මගේ මේවරයා
නෑනෝ උඹ පල් නුඹේ දරුවන් පල් අප දුටුවේ නැත        මේවරයා

මුංවතු කන්දේ මුං කඩනා දා වල ගියදෝ මගේ       මේවරයා
නෑනෝ උඹ පල් නුඹේ දරුවන් පල් අප දුටුවේ නැත මේවරයා
කහවතු කන්දේ කහ කොටනා දා වල ගියදෝ මගේ මේවරයා
නෑනෝ උඹ පල් නුඹේ දරුවන් පල් අප දුටුවේ නැත මේවරයා

කොටන පොලන කොට පොල් අඹරණ කොට වල ගියදෝ මගේ මේවරයා
නෑනෝ උඹ පල් නුඹේ දරුවන් පල් අප දුටුවේ නැත                මේවරයා
කලේ ගොසිල්ලා දර කඩනා කල වල ගියදෝ මගේ                මේවරයා
නෑනෝ උඹ පල් නුඹේ දරුවන් පල් අප දුටුවේ නැත                මේවරයා

නෑමට ගොස් එම නාන තැනේදී වල ගියදෝ මගේ    මේවරයා
නෑනෝ උඹ පල් නුඹේ දරුවන් පල් අප දුටුවේ නැත  මේවරයා
අලවතු කන්දේ අල කොටනා දා වල ගියදෝ මගේ   මේවරයා
නෑනෝ උඹ පල් නුඹේ දරුවන් පල් අප දුටුවේ නැත  මේවරයා

ලිඳට ගොසිල්ලා දිය අදිනා කල වල ගියදෝ මගේ     මේවරයා
නෑනෝ උඹ පල් නුඹේ දරුවන් පල් අප දුටුවේ නැත   මේවරයා
ගෙදර වටේ අතු ගාගෙන යන කල වල ගියදෝ මගේ  මේවරයා
නෑනෝ උඹ පල් නුඹේ දරුවන් පල් අප දුටුවේ නැත   මේවරයා

 

මේ ගී ගැයුම අවසාන වෙත්ම කැරකැවෙමින් සිටින කෙනා ඔට්ටුයි කියමින් වළල්ල ගැනීමට නැමෙයි. ඒ සමඟම වලල්ල පාගා ගෙන සිටින අයද නැමේ .දෙපසම පොර බදිති. ජය ලැබෙන්නේ වලල්ල අත්පත් කරගත් පක්ෂයට ය.

මේවර කෙළිය පිළිබඳ විප්ලවීය අදහසක් ඉදිරිපත් කරන මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා සිය "ජනශ්‍රැති විද්‍යාව" ග්‍රන්ථය හරහා මේවරය යනු මනිමේඛලාදාමය දැයි ඉඟියක් මතුකර ඇත. කතුන්ගේ ලිංගික ප්‍රදේශය වසා පළඳිනු ලබන යාතුකර්ම පළඳනාවක් වන මෙය ඇගේ ස්ත්‍රීකඩය හා සම්බන්ධවන එකක ලෙස එහි හුවා දක්වා ඇත. මෙය නැතිවී ඇත්තේ තනිවම , කැලෑවේ, වතුර ඇති තැනක, හේනක, ගොසින් සිටින විට ය. මින් ඇඟවෙන්නේ එම ස්ත්‍රීන් සමාජ අසම්මත අන්දමට හැසිරීම නිසා ඇතිවූ ඇබැද්දියක් දැයි මහාචාර්ය තුමා අලුත් මතයක් පලකර තිබේ. එතුමාගේ මතයට අනුව ඒ ඇබැද්දියෙන් මතුවූ සමාජ හානිය මඟ හරවා ඇය අස්වසා සමාජයටම ආපසු ස්ථාපිත කිරීමෙන් (re-institution) සටහන් කිරීමේ යාතුකර්මයක් ලෙස මේවර කෙළිය ඇතිවී තිබෙන බවයි.

මූලයන්:
ලංකාවේ ජනක්‍රීඩා - පී. ඇම්. සේනාරත්න මහතා
සිංහල ජාතික ක්‍රීඩා - ඩබ්. ආර්. සෝමරත්න මහතා
ජනශ්‍රැති විද්‍යාව - මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා
ගැමි ගීය - සරත් විජේවර්ධන

 

ලිව්වේ: LishWish

දුක්ගන්නාරාළලා කියන්නේ කාටද..?

Aug 12, 2010

124
අතීත සිංහලය හෙවත් කන්ද උඩරට රාජධානියේ රජතුමාගේ පුද්ගලික වැඩකටයුතු කරන සේවකයෝ නැතිනම් රාජ පුරුෂයෝ හැඳින්නුවේ දුක්ගන්නාරාළලා නමින්. ඔවුන් හඳුන් වන්නට යොදාගත් විශේෂිත නාමය නම් "අප්පුහාමි" යන නමයි. උසස් යැයි සම්මත පවුල් පසුබිම් වලින් පමණක් තෝරාගන්නට යෙදුනු මේ නිලධාරීන් විටෙක "මහත්තයා, නිලමේ" යන නම් වලින් සිවිල් සමාජයේ ආමන්ත්‍රණය කරන්නට වුනා. රජතුමා ඔවුන්ගෙන් බලාපොරොත්තුවූ ප්‍රධානම දේ රාජපාක්ෂික භාවයයි. මේ හේතුව නිසාම රජ මාලිගය ට සම්බන්ධ ප්‍රධානතම අංශ තුනක් වූ සැතපෙන ගේ, රන් ආවුද මණ්ඩපේ සහ අතපත්තු මුරපොල යන කොටස් තුන ඔවුන්ගේ සේවයට නියම වූ ඒවා වූවා.
සැතපෙන ගේ යනු රජතුමාගේ නිදන කුටිය සහිත ගොඩනැගිල්ලයි. රජවරු හා සිටි දුක්ගන්නාරාළලා නිශ්චිතවම මේ යැයි කියන්නට තරම් හැමදෙනාට ම එක ප්‍රාමාණික සංඛ්‍යාවක් සිටියේ නැහැ. එනම් අප්පුහාමිලා ගණන නියමිත නැහැ.රාජාධිරාජසිංහ රජුදවස සිටි සැතපෙන ගේ අප්පුහාමිලා ගණන 42ක්, කීර්ති ශ්‍රී රාජසිංහ රජුදවස ඒ ගණන 160ක් වූවා. ශ්‍රී විජයරාජසිංහ රජතුමා යටතේ සිටි ගණන 170ක්. පළමුවැනි රාජසිංහ යටතේ 81ක්, ශ්‍රී වික්‍රම රාජසිංහ රජු දවස 48ක් ලෙස වෙනස වන්නට වුණා. ඔවුන් සේවයේ යෙදුනේ රජු සැතපෙන ගෙයි බරඳය වටා වූ මුර ක්‍රමයකට යටත්වයි.
මේ සේවා ක්‍රමය කාණ්ඩ වශයෙන් පැවරී තිබුනේ වගකීමක් ඇතිවයි. බොහෝවිට සැතපෙන ගෙයි ඉදිරිපිට "ඉලුක්කොලේ" නම් ආයුධ අතදැරූ කණ්ඩායමක් වූවා. ඔවුන්ගේ කාර්ය ය වූයේ රජතුමාගේ නින්දට බාධා නොවන ලෙස අවට ඇතිවා ශබ්ද නතර කිරීමට වගබලා ගැනීමයි. තවත් කණ්ඩායමක් රජු හදිසියේ අඬගැසූ විට රජුට ඇවැසිදේ සපයන්නට සූදානම් කර තිබුණේලු. මේ විදියට සේවයේ නිරත වෙන අප්පුහාමිලාගේ විශේෂත්වයක් වූයේ ඔවුන් සියල්ලම රක්ත පැහැති මුකවාඩමින් සැරසී සිටීමයි. ඉන් සමහර විට අප්පුහාමිලාගේ නිශ්ෂබ්ධතාවය පවත්වා ගැනීම බලා පොරොත්තු වූවා යැයි සිතිය හැකියි.
හැමවිටම සැතපෙන ගෙයි සේවයේ නියුතු දුක්ගන්නාරාලලා සැරසුනේ නියමිත නිල ඇඳුමින්. ඒය රතු මුඛවාඩමෙනුත් ධවල වර්ණිත වේට්ටියකින් සමන්විත වී තිබුණා. නායකයා ලෙස ඔවුන් අතර මුහන්දිරම් කෙනෙකු සේවයේ යෙදී ඇති අතර වැඩකටයුතු පැවරීමට හා දෛනික වාර්තා තැබීමට ලේකම් වරයෙකු ද විය., ඔවුන්ගේ අධීක්ෂණය කලේ කංකානම් වරුයි.

රජතුමාට සිය ජීවිතය කැපකල දුග්ගන්නාරාළලා

රජතුමාට විරුද්ධව සමහර වකවානු වලදී දුග්ගන්නාරාළලා නිසා රජවරුන්ගේ ජීවිත පවා ආරක්ෂා වූ අවස්ථා ගැන ඉතිහාසයේ කියැවෙනවා. එවිට ඔවුන්‍රජු වෙනුවෙන් තම දෙවන රාජසිංහ රජතුමා නිල්ලඹේ නුවර සිටියදී එතුමාට කුමත්‍රණයක් අඹන්වෙල රාළ යටතේ ඇති වුනා.එහිදී හොර රහසේම රජ මාළිගාවට ඇතුළු වූ කුමන්ත්‍රණ කරුවන්ගේ මූලික අරමුණ වූයේ රජතුමා සැතපෙන ගෙයිදීම මරාදැමීමට යි.ඒ අවස්ථාවේ අලුවිහාරේ වනිගසේකට මුදියන්සේ පරපුරට අයත් දුග්ගන්නාරාළ කෙනෙකු රජතුම වෙනුවට සයනයේ වැතිර හිඳ කුමන්ත්‍රණකරුවන් අතින් මැරුම් කන්නට වුණා. දෙවන රාජසිංහ රජතුමා සිය පිරිවර සමඟ හඟුරන්කෙතට පලා ගියා. එහෙත් සමහර රජවරු දුග්ගන්නාරාළවරු ලෙස වෙනත් ජාතීන් යොදාගත් අවස්ථා අපට හමුවනවා. ශ්‍රී වික්‍රමරාජසිංහ රජතුමා සිය සැතපෙන ගෙයි සේවයේ නියුක්ත කරතිබූ දුග්ගන්නාරාළවරු 48 දක්වා අඩුකලා ඒ.., සිංහල සේවකයන් පිළිබඳ ඔහු දැක් වූ තද අවිශ්වාසය නිසාවෙන්.., ඒ වෙනුවට ඔහු යොදාගත්තේ වෙනත් ජාතීන්වයි. ඒ නමුත් රජතුමාට පිළිමතලව්වේගේ මෙහෙයවීමෙන් වූ රාජ්‍ය කුමන්ත්‍රණයකට මුහුණ දෙන්න වුණා. එහිදීත් රජතුමාගේ දිවි බේරී ඇත්තේ දුග්ගන්නාරාළ කෙනෙකු සිට ඇති නිසායි. රටතුල පවතින ගැටලුකාරි තත්වය සිය හිසේ ආතතියක් බවට හරවාගේ ඉන් මිදීම සඳහා පමණ ඉක්මවා මීවිතෙන් සප්පායම් වී සිට රාජසිංහ රජතුමාව මරන්නට පැමිණි බලවනතරාළ හා ජා මුහන්දිරම්ව ද අල්ලාගනු ලැබුවේ රජතුමාගේ සැතපෙනගෙයි සිටි දුග්ගන්නාරාළ කෙනෙකු නිසයි. මේ නිසා පෙනී යන්නේ රජතුමා ආරක්ෂා කිරීමට නිතර ම දුග්ගන්නාරාළවරු ජරු වටා සිටිමින් රජුව ආරක්ෂා කිරීමට සැදී පැහැදී සිටින් බවයි..!
අතපත්තු මුරපොල හෙවත් තපත්තු මඩුව පිහිටියේ රජ ගෙදරට නුදුරුවයි. ඔවුන්ගේ කාර්යය වූයේ රජගෙදර සේවයේ නියුතු අප්පුහාමිලාගේ හා වෙනත් නිලමේ වරුන්ගේ සේවය ඇරඹීම හා එහි නිමාව පිණිස වේලාව දැක්වීමයි. එය කලේ පැතැටියකට අනුව කාලය දැක්වීම ට ගණ්ඨාව හෝ මිණි ගෙඩි හැඬවීමයි..!


ගණ්ඨාව හඬවනයුරු හා ජාම

දවසේ කාලය බෙදා දැක්වීමේදී සාමාන්‍යයෙන් දහවල ජාම 4කටද, රාත්‍රිය ජාම 4කට ද බෙදා නම අටක් වශයෙන් හැඬවේ.., එම ජාම ගණන් ගන්නේ මෙසේය.

උදේ පාන්දර සිට අටවැනි සිංහල පැය පළමුවන ජාමය.

නවවෙනි පැය සිට මධ්‍යහනය [ 5වෙනි පැයට] දෙවන ජාමය.

මද්දහනේ සිට 7වෙනි පැයට තෙවන ජාමය යි.

අටවැනි පැයේ සිට 15වෙනි පැයට සිවුවන ජාමයයි.

මේ අනුව සිංහල ක්‍රමයට පය හැටකි. මේ අනුව රාත්‍රියට ද 8-7-7-8 වශයෙන් ජාම හතරකට බෙදුනි. මේ කාල වකවානු අනුසාරයේ රාජකාරි කල දුග්ගන්නාරාළවරු පණහත් හැටත් අතර විය. ඔවුන් දිනපතා හැඟවූ ගණ්ඨා නාදය රජගෙදර සිට මයිල හතරක් පමණ ඈතට ඇසුනේය.
මේ හැඬවීම නිසා රජගෙදර සේවකයන්ට මෙන්ම නගර වාසීන්ට වෙනත් කටයුතු සඳහා සුභ මුහුරත් සඳහා වෙලාව දැනගනීමට හැකිවිය. රජටුහ්මා දිනපතා දලදා වැඳීමට පැමිණියේ 4 වෙනි ජාමයට ය. එසේම මල්වතු අස්ගිරි භික්ෂූන් දලදා තේවාවන් සඳහා වේලාව දැනගත්තේද මේ අනුවය. සාමාන්‍යයෙන් රජතුමා නගරයෙන් පිටගියේ කලාතුරකිනි. එහෙත් නිතරම රජතුමා මල්වතු අස්ගිරි හිමිවරු බැහැ දකින්නට ගියේ ය . මේ ගමන් වලට රජතුමා පිරිවරා දුග්ගන්නාරාළවරුද සහභාගි විය. රජමාලිගයේ වෙනත් කාර්යංශයන් මෙන් අතපත්තු මුරපොලත් අතපත්තු මුහන්දිරම් කෙනෙකු යටතේ පාලනය විය. ඊට අමතරව එයට ලේකම් කෙනෙකු හා කංකානම තැනක ද අයත් විය..!
රන් ආවුද මණ්ඩපය යනු රජතුමාගේ ආවුද තැම්පත් කර තිබූ අවි ගබඩාවයි. මෙයට දුග්ගන්නාරාළවරු 100 දෙනෙකු පමණ යටතේ පාළනය විය. මාලිගය අසල පිහිටා තිබී ඇති මේ ගබඩාව තුල ඇති ආයුධ පිළිබඳ ලේඛනයක් එහි ලේකම වරයා යටතේ ඇති අතර රජු ඉල්ලන විටදී ඒ ආයුධ ලබාදීම එහි සේවයේ නියුතු වූවන්ගේ වගකීම විය. විශේෂයෙන් රජුගේ අවි ආයුධ මල නොබැඳී පිරිසිදුව තබා ගෙන සිටීම වැනි වගකීම ද ඒ අතර විය.රාජ්‍යතාන්ත්‍රික කටයුතු වලදී රජුට අවැසි ආයුධ ලබාදීමත් ආයුධ පිරිවරා රජුවටා රැකසිටීමත් රන් ආවුදමඩුවේ සිටින දුහ්හන්නාරාළවරුන්ගේ කාර්යයභාර්යය වීය. රජතුමා පාවිච්චි කරන ආයුධ වෙන ආයුධ වලට වඩා පෙනුමින් ද වෙනස් විය.., මේ නිසාම මේ ආවුද භාවිතය රාජදණ්ඩන වලට යටත් විය හැකි තරම් දරුණු වරදවල් විය.

වරප්‍රසාද

දුග්ගන්නාරාලවරු කිසි විටෙක රජුර කනිටු නිලදාරියෙකුට යටත් නොවීය. හැමවිටම හේ රජුට පමණක් යටත් විය., මේ නිසාවෙන් ම ඔවුන් ව මහජනතාව නිලමේ යන නමින් හඳුන්වන්නට විය. එසේම මාලිගයේ පැවති රාජකීය උත්සව වලදී බිසෝවරුන් හා අදිකාරම වරු පසුකොට රජු පෙරරු කරගෙන ගමන් ගන්නට මේ නිලධාරීන් ට පුලුවන් විය. ඇතැම් විට තමන්ගේ ගම්බිම් සඳහා රජතුමාට බදු නොගෙවා සිටින්න්ට පුලුවන් විය. ඉඩකඩම් ලබාදී තිබිණ උඩරට සියල්ලන්ට පොදුවූ කත්හාල් රාජකාරියෙන් පවා ඔවුන් නිදහස් විය. කල වරදකර දඬුවම් පවා ලැබුවේ කලාතුරකිනි..,
මේ ආකාරයෙන් රජතුමා දුග්ගන්නාරාලවරුන්ට ලබාදුන් විවිධ වරප්‍රසාද ගැන මෙසේ සඳහන් වෙයි. දෙවන රාජසිංහ රජතුමා තමා සිත් ගත් දුග්ගන්නාරාළකෙනෙකුට ප්‍රවේණි ගම්වරයක් දුන්නේය.
කීරිති ශ්‍රී රාජසිංහ රජතුමාරාජ සේවයට පැමිණි වයෝවෘධ දුග්ගන්නරාළ කෙනෙකුට මිය යන තෙක් ම සහල් සහ අඩුම කුඩුම සපයන් ලෙස නියෝග කර තිබේ. දුග්ගන්නරාල කෙනෙක්ට අවැසි සහල් ප්‍රමාණ හැඳින්නුවේ හාල්බර නමිනි. හාල් බරක් යනු හුන්ඩු හැටකි [60]. හුන්ඩු කට සහල් මිටවල් 8කි, සමහර අවස්ථාවල දී සහල් මිටවල් 10 ද සහල් හුන්ඩුවක් ලෙස ගණන් ගන්නාලදී..!
තවද වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා රජුගෙන වසර ගෙන සිය පෞද්ගලික කටයුතු වල පවා යෙදිය හැකි ලෙස අවසර දෙන ලදී.


අප්පුහාමි නාමය

මෙසේ උඩරට රජතුමාට සේවය කල දුග්ගන්නාරාලවරුන්ට විශේෂිත වූ නාමයකි අප්පුහාමි යන නම. මේ නම අද උඩරට භාවිතා නොවුවද පහතරට සිටින ගොවිගම කුලයේ උසස් පැලැන්තියක් සඳහා යෙදී සංඥානාමයකි. ඊට හොඳම උදාහරණය පළමුවන විමලධර්මසූරිය රජතුමා ලෙස ගත හැකිය. රාජවංශිකයෙකු නොවූ ඔහු කතෝලික ආගම වැළඳ පෘතුගීසි යටතේ සිටියදී ව්‍යවහාර කල නම වූයේ දොන් ජුවන් අප්පුහාමි යන නමයි. මේ අයුරින් පහත රට ප්‍රදේශ වල ව්‍යවහාර වූ අප්පුහාමි යන්න වැදගත් අය භාවිතා කල ගෞරව නාමයකි. එය උඩරට භාවිතා වූයේ රාජපාක්ෂිකයන් සඳහා වූ ගෞරව නාමයක් වශයෙනි.

ලිව්වේ: LishWish.

මූලය:

  • තෙන්නකෝන් විමලානන්ද මහතාගේ උඩරට මහ කැරැල්ල තුන්වන කාණ්ඩය පිටු අංක 227 - 229, 325.
  • නුවරඑළියේ හේමපාල මහතාගේ ත්‍රි සිංහලයේ නායකයෝ

හෙළ ගැමියාගේ සරතැස සිඳවූ තේරවිලි කවි

Apr 11, 2010

cow


අතීත පැරණි සිංහල ගැමියාගේ දිවිපෙවෙත ඉතාම සංසුන් ව ගලා ගිය එකක්. ග්‍රාමීය විරුවන් ගැන කතන්දර, බණකතා, කවි ඒ ජීවිතයේ තනිකම විඩාව නිවන්න ට යොදාගත් උපකරණ විය. ඒ අතර කවිය යන සංකල්පයට ඉහළ තැනක් හිමිවිය.පැල් කවි, ගොයම් කවි, නෙළුම් කවි, කරත්ත කවි, පාරු කවි, පතල් කවි ඉන් සමහරෙකි. මීට අමතරව ඉතා අපූරු ආශ්වාදයක් ගෙන දුන් කාව්‍යාංගයක් ලෙස තේරවිලි කවි ගැමි සාහිත්‍යයේ ප්‍රකට ව ඇත.
දවසේ කටයුතු අහවර කර සැන්දැ යාමයේ අම්බලමක එක් රැස් වී හෝ රාත්‍රී අහර කිස අඹු දරුවන් හා අසල් වැසියන් සමඟ සැහැල්ලුවෙන් ගත කරන මොහොතේ ගැමියන් විනෝදාස්වාදය ලැබුවේ මේ අන්දමේ තේරවිලි කවි කියා ඒවා විසඳීමෙනි. එහි ඇති වදන් වල අර්ථ සෙවීමට යාමෙන් ගැමියන් හට විනෝදය පමණක් නොව බුද්ධිය ද ලැබිණ.
තමා ජීවත් වන අවට පරිසරයේ දී පිරික්සා ලබන බොහෝ අත්දැකීම් මේ සාහිත්‍යාංගයට එකතු කරගෙන ඇත. සතා සීපාවා හා ජීවනය කරන ගැමියා උනගේ ක්‍රියාවලීන් ද කවියට නැගුවේ අපූරු රසයක් ඒතුල සඟවා ය.


ටිං ටිං ගාන්නා තෝරා එවාපන්
ටං ටං ගාන්නා තෝරා එවාපන්
මඟ වැලි පිසින්නා තෝරා එවාපන්
දෙගම්බඩ රජා තෝරා එවාපන්


ඉහත කවියට දෙන පිළිතුර මෙසේයි..


ටිං ටිං ගාන්නා ලේනා නොවේදෝ
ටංටං ගාන්නා ගෝනා නොවේදෝ
මඟවැලි පිසින්නා කුකුලා නොවේදෝ
දෙගම්බඩ රජා කිඹුලා නොවේදෝ


එදිනෙදා නෙත ගැටෙන දේවක් ගැන ගොතන ලද තේරවිලි කවි ද වේ. අන්නාසි ගෙඩිය ගන වූ තේරවිල්ලක් මෙසේ ය.


කටුවා නෙත් කෙටුවා වැනි කොලේ සැටී
රතු නූලෙන් ගෙතුවා වැනි මලේ සැටී
තුන්මස පිරෙන්විට කුකුලෙක් විතර ඇති
මෙතුන් පදේ තේරූ අය නුවණ ඇතී


රා මදින ගැමියෙකු කිතුල් මලකට බේත් තබා වෙලා මල කැපීය. එයින් වැස්සුන තෙලිදිය එකතු කරනු දුටු ගැමියෙකු විසින් මේ සිද්ධිය මුල් කර ගෙතූ තේරවිල්ල මෙසේය.


ලෙඩක් නැතුව බේතක් කවනවා දුටින්
වරදක් නැතුව අල්ලා බඳිනවා දුටින්
දුකක් නැතුව නිතරම අඬනවා දුටින්
කලයක් අරන් ජලයක් මනිනවා දුටින්


පැරණි සිංහලයන්ගේ ප්‍රධාන ජීවනෝපාය වූයේ ගොවිතැනයි. එහිදී අස්වැන්න නෙලන්නට යොදාගන්නා දැකැත්තට ගොතා ඇති තේරවිලි කවියක් මෙසේය.


වක්ක ගසාගෙන එක බඩලාගෙන තුඩෙන් ගොදුරමයි විමසෙන්නේ
බඩ මැද කට ඇත දත් ගණනක් නැත කැවට ඒ බඩ නොපිරෙන්නේ
ඇසුරට විලි නැත වදන කෙනෙක් නැත කුස මිට සැඟවීලයි ඉන්නේ
සන්තේ ඇද නැත කීමට බොරු නැත තෝරනවයි මේ පදයන්නේ


මේ පහත සඳහන් කවිය ගොයම් ගස මුල් කර පබැඳ ඇත.


ගසට නමකි ගස මැරුනම වෙන නමකි
ගෙඩියට නමකි ගෙඩියේ සුඹුලට නමකී
මදට නමකි මද කනකොට වෙන නමකී
මෙතුන් පදේ තෝරාලා එවන් සකී


ඉහත තේරවිල්ලට පිළිතුරු කවිය මෙසේ ය.


ගසට ගොයම් ගස මැරුණම පිදුරු ගස
පලට වී පලය සුඹුලට කියන නම
සාලැට වසා සිටි කුඩු දහයියා රැස
මදට හාල් නමි බුදිනා බත්ය රස


මී කැඩීම හා මී වද ගැන සැම ගැමියෙකුම දැන සිටියද මී බැඳීම හා ඒය කැඩීම ගැන කියැවෙන මෙවැනි කවි විසඳීමට ඔවුන් ද අපොහොසත් වූවාට කිසිතු සැකය නැත. ඒවා එතරම් සංකීර්ණ ය.


කැලේ සිටන් මහ සෙනඟක් ඇවිදින්
ගලෙන් කොටුව බැඳගෙන සිටිතී
බලේ සමත්කම් ඇති අය ඇවිදින්
මරාදමා බඩු අරන් යතී
කලේ අනඬුවයි බඩු මොකවත් නැත
කැමට නිසිදේ අරන් යතී
මලේ මේක තෝරා බැලුවෝතින්
මිහිරිදේකි කවුරුත් කැමතී


පැරණි හෙළැ නිවෙස් වල වේලාව බැලීමට අද මෙන් හෝරා යන්ත්‍ර තිබුනේ නැති. ඒවෙනුවට තිබුනේ පැ තැටිය නම් උපකරණයකි. වතුර කොරහක ඉඳිකටුවකින් විදින ලද සිදුරකින් පැ තැටිය පිරෙන්නට යාමට ගතවන කාලය පැයක් මෙස ගණන් බැලීය. පැ තැටිය ගැන පබැඳූ කවක් මෙසේ ය.


ගෙයක් තනාලා පැ මැටි ගාලා - පැය පිට ගේකයි සනසෙන්නේ
එලියට එන්නට ඒදඬු සදලා - මයියමකට බැමි බැඳ ගන්නේ
ජලය සදාලා ජල පුරවාලා - ජලයෙන් ළමයෙකු බිහිවෙන්නේ
සබේ සිටින ලොකු කුඩා මහත් අය - තෝරනවයි මේ පද සන්නේ


සමහර කවි ගායනාවටද අපූරුය. ඇත්තේද අමූතුම රසයකි. අතීත ගැමියන් හා ගැමිකම සමඟම නිතොර කියැවෙන දෙයකි බුලත් විට.., පහත ඇත්තේ දිගවිරිතෙන් යුතුව ගැයෙන කවියෙකි.


ගහෙන් වැටිලා හතරට පැලිලා ඔහේ එක මිනිහෙක් දොයි
නාග ලොවින් ආ කලු වැදි සාමී බොටුව කඩාගෙන කයි
ගින්නක් දාලා වැස්සට තෙමිලා තව එක මිනිහෙක් ගෙයි
මෙකී මෙතුන් දෙස සමගි කරන්නට මැරිච්ච මිනිහෙක් ගෙයි


එයට අදාල පිළිතුර කවියට වඩා රසවත් බව මගේ හැඟීමයි.


රබ්බඩ පුවකේ නැට්ට කඩාලා හතරට ඉරු කරතෙයි
තෙතෙයි තෙයි හතරට ඉරු කරතෙයි
වෙත්තිල බුලතේ නැට්ට කඩාලා සුනම්බු ගාතෙයි
තෙතෙයි තෙයි සුනම්බු ගාතෙයි
දී කොට නැන්දට මස්සක් දීලා දුම්කොල ඉල්ලා තෙයි
තෙතෙයි තෙයි දුම්කොට ඉල්ලා තෙයි
පිත්තල පෙත්තක් දත මුල ගහගෙන පහතට දත නියතෙයි
තෙතෙයි තෙයි පහතට දත නියතෙයි


අදහස් පෙරලා මෙන්ම අකුරු මාරු කරමින්ද අතීත ගැමියන් කවි තැනූහ. පහත ඇත්තේ එවැන්නකි.


මොණර නරක් කැලි වකුලක් කලක් වෙතේ
හා මිරකෙක් වට කොලිගෙන ඉඩ මිසිතේ
ගොටලු බනෙක් මා රතයෙන් දුන පැවතේ
වුකි නතත් ගොල තයියා නොණ නැකතේ


ඉහත කව නිවැරදිව පද පෙරළා ගත් විට මේ අයුරු ය.


රණ මොණරෙක් වලි කුකුලෙක් වෙලක කතේ
මී හරකෙක් කොට වලිගෙන් මඩ ඉසිතේ
බැටලු හොනෙක් රා මතයෙන් පැනදුවතේ
නාකි වුනත් තලගොයියා තණ නොකතේ


අග මුල පෙරැලි ලෙසින් තවත් කවි විශේෂයක් වෙයි. ඒහිදී මුල එක පදයකුත් අග එක පදයකුත් පද පෙරලා කීම මෙහි ඇති විශේෂත්වය වේ.


පහත ඇත්තේ මුල් පදය පෙරලා ඇති කවියකි.


රාළහාමී ගේ බාලට ගමිය කියා
බලහාමිගේ රාළක් ඔන්න ගියා


පාරුවේ පුවක් පටවා ගෙන යන කලට
පූරුවේ පවක් පලදුනු පෙරලී ගඟට


මේ ඇත්තේ අග පදය පෙරැලී ඇති කවෙකි.


ඇහුව කලට කොහිද වත්තල පිංගෙඩිය
යුහුව කෙනෙක් දුනි පිත්තල වංගෙඩිය


මිලී ඇසුව කල අම්මා මන්ද නිදී
ලිලී පැවසුවා උන්දැට නින්ද මදී


ඒ සාමාන්‍ය ජන ජීවිතයයි. අතීත ප්‍රභූන් පවා අන්‍යනට නොතේරෙන අයුරින් සිය අවැසිතා මේ අයුරේ කවි වලින් ඉටු කරගත් බවට සාධක ඉතිහාසය සතුව ඇත. ආහාර පාන නොමැතිව අසරණ ව සිටි වීදාගම හිමියන් තම හිතවන්ත තොටගමුවේ හිමියන්ට තම අඟහිඟ කම් ලියා යැව්වේ පහත සඳහන් තේරවිලි කවියෙනි.


ක යනු නැතිවෙලා බොහෝකල් අප ට
උ යනු නැතිවේවී අල් අකුරු දොලහ ට
මි යනු සිද්ද වෙයි සිහි නොකලොත් අප ට
ල යනු ළඟ අකුරු ඉස්පිලි එවන් ම ට


මේ හසුන ලද සැනින් තොටගමුවේ හිමි වී එවීමට ගොන් බැඳි කරත්තයක් එවන මෙන් ලියා එව්වේ මේ ලෙසය.


පතල කර මිතුර මං කී මැසිවිල්ල
අතර මං උනේ අවුරුදු මංගල්ල
නිතර මස් දෙන්න විදිනා වැදි ගොල්ල
හතර කුර එවපන් මම දෙමි ඉස්පිල්ල


අතීතය එතරම්ම ම රසවත් ය. ඒ මෙවැනි ජනකලා අංගෝපාංග නිසා ය. මේ ලියමනේ මූලික අරමුණ මෙවැනි සාහිත්‍යාංග සයිබරය තුල සුරැකීම නිසා.., මේ ලියමන කියවන ඔබ ළඟත් විවිධ තේරවිලි කවි ඇති නම්.., කරණාකර අදහසක් ලෙස ගලපා දමා යාමට අමතක නොකරන්න. ඉන් ඔබේ සිත පමණක් නොව අනාගතයට මේ කවි ඉතිරි වීම ට මනා පිටුවහලක් වන නිසා වෙනි.


ලිව්වේ: LishWish.


විශේෂ ස්තුතිය : කොළබේරුවේ සෝමරත්න මහතාට.


අතිරේක මූලයන් : මුතුහර වන් ජනකවි
හෙල කවි රූ සිරි

හෙළ ජන කවිය හා බැඳි අපූරු කතා

Mar 30, 2010

Kandyan_Chiefs1859


අතීත සිංහලයා කලාවට පෙම් කෙරුවෙකි. සිය ඇසට හසුවෙන සියලුම දේ කවියට හරවා ගයන්නට සමත් කම් දැක්වුවෙකි. පහත දැක්වෙන්නේ අතීත හෙළ කවියා සිය දර්ශන පථයට හසු වූ සිදුවීම්, ප්‍රවාද, කතා කවියට හරවා පළ කල අවස්ථාවන් කිහිපයකි.


දස්කොන් මගේ නමට ජීවිතේ දෙනවාද..?

ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාට ඉතාම හිතවත් ව කටයුතු කරන ලද දස්කොන් අදිකාරම් රජතුමාගේ ළඟම මිතුරෙමු මෙන් ම ඔහු විදේශිකයෙකුද විය. කොතරම් මිතු දම තර වුවත් එහි කොස්සක් තිබේ යැයි කියන්නා සේ මහ රජ ගේ බිසව වූ ප්‍රමිලා අතර රහසින් වූ පෙමක් පැවතිනි. මේ බව කන වැකූනු රාජසිංහ රජතුමා සිය රාජ බලය භාවිත කොට දස්කොන් ට මරණ දඬුවම නියම කරන ලදී. ප්‍රමිලා බිසව දංගෙඩියට හිඩ ගසන්නට ගෙනයන සිය රහස් පෙම්වතා වූ දස්කොන් ව දකින් විට සිය සිත තුල වූ පෙම වසාගත නොහී එය කවියෙන් මෙසේ වහරන්නට විය.

සක්මන් කරන මලුවේ දී බැඳි හාද
සිත්සම් තොසින් දුන් මුව මී බී වාද
ඉක්මන් ගමන් හිමි ඔබ අද යන වාද
දස්කොන් මගේ නමට ජීවිතේ දෙනවාද


සිය පණවන් සුපෙම්වතියගේ එ වදන් ඇසීමෙන්.........

විසැස් කමලාව රස පහස නොවී පමා
දැසෙස් දුනි පොරණ ඇස දුටු පමණ ටමා
වෙසෙස් ඔබගේ අමයුරු පහස ලත් මෙමා
මිනිස් හිසක් දුන්නම ඔබේ නමට කිමා

යනුවෙන පිළිවදන් දී ඈ හිත අස්වැසීමට දස්කොන් උත්සාහා දැරුවේලු.


රාජසිංහ දෙවිනාමෙත් මැකුණාය

පළමුවන රාජසිංහ රජතුමා යුද්ද කිරීමෙන් අනතුරුව ජයගෙන පැමිණෙන අතර තුර අඟුරුවැල්ල ආසන්නයේ වූ පෙතංගොඩ උයනේ දී යටි පතුලේ උණ කරුවක් ඇනීමෙන් මරණය් ට පත් වූ ආකාරය ජන කවියා වහරන්නේ මේ ආකාරයෙන් ය.

සොඳුරු පෙතංගොඩ උයනට වැඩියාය
නපුරු උණ කරුව පතුලේ ඇනුණාය
එකව සිටි සැවොම වටකොට මතුලාය
රාජසිංහ දෙවිනාමෙත් මැකුණාය


ගලින් කොටුව බැන්දයි තිරිකුණාමලේ

ත්‍රිකුණාමලේ බලකොටුව දෙවන රාජසිංහ සමයේදී පෘතුගීසි ජාතික කොන්ස්තන්තීමු විසින් සාදන්න ට යෙදුනේ යැයි කියන නමුත් එය දෙවන රාජසිංහ රජු විසින් සාදවන ලද බව කවියා මෙසෙව පවසයි.

මලේ මලේ තැඹිලිය වැන්න පොල් මලේ
රැලේ රැලේ මූදින් දමන දිය රැලේ
බලේ බලේ රාසිං දෙයියන්නේ බලේ
ගලින් කොටුව බැන්දයි තිරිකුණාමලේ



සිංහලේට ආවට තොපි කැති ගැවා

ඒ 1802 වසරයි. බ්‍රිතාන්‍ය හේවයින් විසින් උඩරට අල්ලාගැනීමට ජා හේවයි පිටත් කර හැරි සමයයි. සටනින් සිංහලයන් පැරදුන අතර ජා හේවායින් සිංහලයන් ගේ දෙපල විනාස කර දමා ඔවුන්ගේ ගවයන් ද මරා කන්නට විය. බොදු පරිසරයක සිය ජීවිතය දැහැමිව ගෙවන සිංහලයාට මෙය ඉවසුම් නොදෙන්නක් විය. කෙසේ හෝ ශ්‍රී වික්‍රම රාජසිංහ සේනාව රැස්කර උඩරට බලය යලින්ත් සියතට ගත්තේ ය. සිංහලයන් පැරදී පලායන ජා හේවායින් පසුපස ලුහු බැඳ මරා දැම්මේ සිය දෙපා විනාස කර පණ වන් ගවයින් මැරූ පලිය ගන්නට ය.
ජන කවියෙන් මේ බව දැක්වෙන්නේ මෙසේය.

දන්තුරේට සසුකර මෙරටට ආවා
ගොන්තුරේට ගෙන දියවර බොන ජාවා
සංකරේට නොවටින ගෙරි මස් කැවා
සිංහලේට ආවට තොපි කැති ගැවා



නිදහස දුන්නොත් - කැටිව එමි රජුගේ දුව

රාජාධිරාජසිංහ රජුගේ දණ්ගනයට හසු වූ විදේශිකයෙකු ඩඬුවම් ලැබ සිරගෙට නියම විය. එවිට විදේශිකසිරකරු තමා නිදහස් කලොත් සිය රටට ගොස් එහි රජතුමාගේ දියණිය ගෙනැවිත් දෙන බවට පොරොන්දු වූවේලු. මේ බව ජන කවිය රස කලේ මෙලෙසිනි.

උතුම් රිවි කුලෙන් පැවතෙන මනනු ලෙද
පසම් තෙද විකුම් රජසිහ නිරිඳු සඳ
නිතින් දෙවඟණක දිසි අප රදුව ළඳ
තොසින් ගෙන ඇවිත් දෙම්මා මිදුව තෙද



පුරන් අප්පු රජ වූ හැටි

ඒ 1848 වසරයි. එවකට වූ ඉංග්‍රීසි පාලනයට විරුද්ධව මාතලේ කැරැල්ල සිදුවිය. ක්‍රි.ව. 1848 ජූලි මස 28 වනදින දඹුලු විහාරයේදී උඩරට රජු ලෙස පුරන් අප්පු ඔටුණු පැළඳී ය. පසුව කැරැල්ල මැඬ පැවැත්වූ ඉංග්‍රීසින් පුරන් අප්පු රාජ ද්‍රෝහියෙකු ලෙස සලකා වෙඩි තබා මරා දැමීමට තීන්දු විය. ජන කවියා කවි කර ගෙන එන්නේ ඒ ඔටුනු පැළඳවීමය.

පුරන් අප්පු සේනාපති තෝරාලා
ආරක්සා බටයින් තව රැස් කරලා
යුද සේනාව සවි සක්තිය යොදවාලා
පුරන් අප්පු රජවිය සතුටින් එකලා



ගලපිට මා වී වැඩුනු හැටි

සිරි සඟ බෝ රජතුමා අත්තන්ගලු වනයේ සිල් රකිමින් සිටිද්දී මඟියෙකු පැමිණ සිය බත් පතින් කොටසක් රජුට පිළිගැන්වී ය. මඟියාගේ පෙරැත්තට එය පිළිගත් අතර සිය බත් පතින් පෙර බත් මිටක් පොකුණ වෙත විසි කොට මා බුදු වෙතොත් මේ බත් පැල වේවායි පැතුවේලු. අදටත් නියම වාරෙට එහි පොකුණේ මා වී දකින්නට ලැබේ. මේ විස්තරය ජන කවියෙන් ප්‍රකාශවෙන්නේ මෙලෙස ය.

අයියණ්ඩියේ නුඹ කොතැනින් ගෙනා වියේ
සකබඹ තල වක මුදුනෙන් ගෙනා වියේ
මසින් මසට ගොප් ඇඳ ඇඳ පහ වියේ
අත්තන ගල්ල ගලපිට පඳුර මා වියේ



ළදරු බණ්ඩාර මැරුවයි එ තැනේදී

මද්දුම බණ්ඩාර ඇතුලු ඇහැලේපොළ දරුවන් මැරවීම පිළිබඳ ශ්‍රී වික්‍රම රජු ගත් තීරණය පිළිබඳ ශෝක වූ කවියා ඒ බව ගයා ඇත්තේ මෙලෙසිනි.

බෝගහ වීදියේ තුන් මං සලේදී
නා ගහ වීදියේ තුන් මං සලේදී
සතර වරම් දෙවි නඩු නැති දිනේදී
ළදරු බණ්ඩාර මැරුවයි එතැනේදී




ලිව්වේ:
LishWish
මූලය : සිංහලේ අන්තිම රජ
මැකෙන ජන කවි කතා
හෙළ කවි සරණිය

බමර ගී

Mar 23, 2010

SRI-VED-SE-18_medium



විජයාවතරණයටත් පෙර පටන් සිරිලක බිම නිජබිම කොට ගත් අපේ ආදිතමයා වශයෙන් හැඳින්වෙන්නේ වැද්දා ය. දඹාන, බිංතැන්න, නිල්ගල වැනි වන ගහන වල ජීවත් වූ වැද්දා ට ම ආවේනික සංස්කෘතික ලක්ෂණ තිබේ. යකුන්, ගස්, ගල්, හිරු, සඳු ඇදහීය. ඒ වෙනුවෙන් පුද පූජා පැවැත්වීය. ඔවුහු නැටූහ. ගී ගැයූහ. වැදි පෙරහර ඒ සියල්ලෙන් ම සම්පූර්ණ විය. නිදසුනක් ලෙස කිරිකොරහ ශාන්තිකර්මයකි. කන්දේ යකා හා බිළිඳු යකා ඉන් පුද ලබති.


බමර කැපීමද වැදි ජීවන රටාවේ තවත් විශේෂ වූ අංගයකි. දසමස් කල් තබා ගැනීමට පැණි අවශ්‍ය විය. ඒ සඳහා මී වද බමර සොයමින්, ගල් රුප්පා, රූස්ස ගස් සරා මහා වනය පීරති. "නොදියුණු" නූගත් යන වදන විශේෂණය කොටගත්තත් වැද්දෝ අපට වඩා නුවනැත්තෝ ය. ඔවුන් නිවහල් ය, නිදහස් ය. සතුටින් සාමයෙන් කාලය ගෙවන්නෝය. ඒවන් ජනසමාජය ක නැටුම්, ගැයුම් වැනි කලා රසාංග මතුවන්නේ නිතැතිනි.


"මලී ගී" නමින් ද හැඳින් වෙන බමර ගී පිළිඹඳ කතාව අවස්ථා කිහිපය කි. කඳු, හෙල්, පල්ලම් තරණය කර රූස්ස ගස් නගින හැටි, ගල් නලලත ට පැමිණෙන අයුර, බමර දකින විට ඇතිවෙන සතුට, ඉන් උද්දාමයට පත් වෙන හැටි, ඒසේ වී දෙවියන් වෙනුවෙන් ඒවා ගායන කරන හැටි යන අවස්ථා වර්ණවත් කලේ කවියෙන්, කිසිවකින් ඔවුහු අනුකරණ නොකරන ලද්දා හ. ගැයුවේ අවංක සිතිනි. අව්‍යාජ අදහසිනි. ජීවනයේ දුක්, කම් කටොලු ගන විස්තර එහි ඇතුලත් වී ඇත්තේ ය.


පදවැල් ඉතා සරළ ය. ඔවුන්ට ම අවේනික වූ බැද්ද, හුරා, රිස්ස වැනි පද යහමින් යෙදී ඇත. ස්වර පරාසය පටු ය. එහෙත් වෙන කිසිම ජන ගී රටාවක ට සමකල නොහැක.


ගල් ඇඳි වල බැඳ ඇති බමර කැපීමේදී, රසවත් කතා ඇසිය හැකිය. ගල නලලත පහලට බැසීමට, ශක්තිමත් වැලක් යොදාගනී, එහි මුල ඇල්ලීමට ඉඩදෙන්නේ තම මස්සිනාට පමණි. ඒ වෙනත් කෙනෙකු ගැන විශ්වාසය තැබිය නොහැකි නිසා ය. ලොකු ගස් වල ට නගින්නේ වෙනත් කුඩා ගසක ඇති වැලක ආධාරයෙනි. ඔන්චිල්ලාවක සේ පැද්දී පැද්දී යමින් දුම් අල්ලා මැස්සන් පලවා හරින්නේ සිය ජීවිතය ද පරදුවට තබා ය.


බමර කැපීමද ඉතා විචිත්‍ර ය. බමර ය කපන්නට යාමද අඟවන්නේ කවියකිනි.


මැණික් රජා හට ගොස් පවසන්නේ
බමර කපන්නට යමං කියන්නේ
දකුණට රං කඩුවක් අරගන්නේ
වමතට ගිනි පන්දමක් දරන්නේ


බමරය අසලට යන වැද්දා කැපීමට පෙර දෙවියන් යදී. ඒ සිය ජීවතය හා අතවැසියාගේ ජීවිතය වෙනුවෙනි.


සිද්ද පරකාස දෙවි හාමුදුරුවනේ
තිත්ත රන් දුන්න ගන තේව කරමිනේ
සිද්ද වෙවන් පිනිදිය උඹට කැප උනේ
වැන්ද මෙන්න බුදුවෙන හාමුදුරුවනේ


බමරුන ගසින් හෝ ගලෙන් ඉවත් ව ගිය පසු එහි මුදුනට වී සිටින වැද්දාට අවට සිරියාව යහමින් දකින්නට වරම් අවකාශ තිබේ. ඒ සතුර බමර කඩන්නා පෙන්වන්නේද කවියකිනි.


බැද්ද අවට සුදු මොර මල් පිපීලා
සද්ද කර බමරු ඒවග අඬාලා
ඉටිත් පැණිත් ලොව හමතැන බෙදාලා
යන්නම් බමරු දුක් මැසිවිලි කියාලා


වේලි හෙලට මේ මහ හෙල උස වැඩියා
ඒ දුනුවැල ඇදලා මගේ රිස්ස ගියා
ලොවේ සේනාව හෙලයට වැටී ගියා
ඉටි පැණි නැතිව උන් හෙලයට වැටී ගියා


බමරය කපන්නට ගසට නගින වැද්දා මෙසේ කියන විට පහල සිටින අතවැසියාද ඒ හඬ ගසා කියති.., එසේ ගෝෂා සහිතව ගයන්නේ වලසුන්ගේ උපද්‍රව ද මඟ හැරී යාමට ය. බමර පැණි ආපසු ගමට ගෙන යාමෙදී ද දෙවියන් ගෙන් අවසර ගැනීමට ද අමතක නොකරති.


වේලි හෙලේ හෙල වටකර මුලුල්ලා
ගල් නලලත බැන්දා වැනි තොටිල්ලා
පාදන් පොලට එන කොටකර කැවිල්ලා
හෙලේ බසින්නට අවසර අර ගල්ලා


මේ අති සරළ ජීවන කරමය අතීත ජනයා ගෙව්වේ කලාවත් එක්කොට ගෙනය. ඔවුන් ස්වභාව ධර්මයට සැලකුවේද ස්නේහයෙනි, ස්වභාව ධර්මයද ඔවුන් ව අමතක නොකලේ ද එනිසා විය හැකිය. අද අපට අහිමි වී ඇත්තේ ද එයම ය.



ලිව්වේ : LishWish.
අතහිත : ප්‍රේමරත්න සොයිසා ගුරුපියාණන්.

දසපද්දුර ක්‍රියා හා රවිශෛලාශයින් ගේ විළි වැසූ සළු රීති...

Jan 7, 2010

ceylon copy[11]

අපි කුඩාකල අපේ මව් පියන් නිතර කියන වදනකි "දහපදුරාවී" යන්න. අනාචරයේ හැසිරෙන කාන්තාවන් ට සමහර උදවිය දහපද්දුරාවී යන්න භාවිත කළ බව පැරැන්නන් කියනවා අපි අසා තිබෙනවා... මෙහි මුල් උට්ඨානය සිදු වූයේ [රවිශෛලාශ]යක්ෂගෝත්‍රික සිරිත් විරිත් සමඟයි. ඒවාට පටහැනිව ක්‍රියාකිරීම දසපද්දුර ක්‍රියා නමින් හඳුන්වනු ලබනවා. නමුත් මේ වචනයේ අර්ථය දන්නේ අතළොස්සක් බව නම් නියතයක්.

එක්තරා අකාරයක් දස පනතක් වූ මෙයින් කියැවෙන්නේ දෛනික ජීවිතයේ නිරන්තරයෙන් සුරැකිය යුතු කාරණා 10ක් නොසලකා හැරීමෙන් තමන් සමාජයේ අපවාදයට ලක් වන බවයි.


01.කිරුත - මව්පියන්ට නොසලකා හැරීම.
02.සාගිත - චපල බව.
03.බජම - මල්වර වීමට ප්‍රථම ලිංගික සම්බන්ධතා පැවැත්වීම.
04.මාතුල - කුමර කුමරී බ්‍රහ්ම චර්යාව බිඳගැනීම.
05.කංචි - පතිවෘතාව රැකීම.
06.පුට්ටි - ගබ්සා කිරීම හෝ කරවීම.
07.සෝව - දරුවන් මැරීම හෝ මැරවීම
08.ධස්ස - සැමියා බිරිඳ මැරීම හෝ මැරවීම, බිරිඳ සැමියා මැරීම හෝ මැරවීම.
09.දැහිත - ඕපාදූපයේ යෙදීම.
10.කුරාල - ඉන්ද්‍රීය සංවරය ඇඳුම් භාවිතා නොකිරීම.


ඉහත දස ක්‍රියාවේ යෙදෙන්නා සමාජයේ පිළිගැනීමට ලක්වන්නේ නෑ.[නමුත් වර්තමානයේ අවාසනාවකට දෝ බොහෝවිට සිවිල් බලය රැඳී ඇත්තේ ඉහත ක්‍රියාවන්වල යෙදෙන්නන් අතයි] මෙයින් වැදගත් කාරණා රාශියක් ඉස්මතු වෙනවා.

ඉන්ද්‍රීය සංවරය පිණිස ආදිතස්ම යුගයේ සිට යක්ෂගෝත්‍රිකයන් ඇඳුම් ගැන සැළකිලිමත් වූ පිරිසක් බව පෙනී යනවා. එනයින් ඔවුන් කොල අතු වලින් විළි වසා නොගත් පිරිසක් බව පැහැදිළි වෙනවා. රාගික හැඟීම් කුළු ගැන්වෙන ඇඳුම් භාවිතයට එකල තහංචි පමුණවා තුබූ බව සඳහන්. එමෙන් ම ග්‍රහ චක්‍රයේ පිහිටුම අනුවත් ඔවුන් තම ඇඳුම් ආයිත්තම් වෙනස් කළ බව සඳහන්. රවිශෛලාශ [ඉරුගල්බංඩාර] යක්ෂගෝත්‍රයේ වංශවත් බව උද්දීපනය කර පෙන්වීම ට විනයානුකූලව තම අයිතමයන් සකසා ගත් බව පැහැදිළියි.


ඒ අනුව ඔවුන් සකසා ගත් ඇඳුම් ආයිත්තම් කිහිපයක් පිළිබඳ අපි විමසා බලමු.


01.ගෙඩිහැට්ටය.
මෙය මංගල උත්සවය සඳහා අඳින ඇඳුමකි.පබලු හා විවිධ මෝස්තරවලින් සකසන මේ හැට්ටය එකල කුළවත් කතුන සඳහාම වෙන්වූවක්. මෙය සොභාදහමට උචිත ආකාරයට පාට සංයෝජනය කරමින් නිපදවන්නක් වන අතර ගෝත්‍රයේ විලාසිතාවන්ට අනුකූලව නිපදවාගන්නක්.


02.නාග කන්‍යාහැට්ටය.
මෙය ගෞරවය හා පවිත්‍රත්වය නිරූපණය කරන්නා වූ ඇඳුමකි. අවිවාහක කතුන් අතර ජනප්‍රිය වස්ත්‍රයකි.තවද මෙය නා ලොව නාග කන්‍යාවියන් භාවිත කරන ඇඳුමක් බවට ද විශ්වාසයක් පවතිනවා. දිගුකර යොදාමෝස්තර වලින් නිම කරන ලද මේ ඇඳුම පැරණි කුලවත් කතුන් අතර ජනප්‍රිය ව පැවතී තිබෙනවා.


03.උත්තරා සේලය.
රාත්‍රියේ යහන් ගතවීමට පෙර අඳින ඇඳුමකි මෙය. නග්න වූ උඩුකය නිරාවරණය වන ලෙස මෙය නිර්මාණය කරල තිබෙනවා. යක්ෂගෝත්‍රය ට අනුව මෙය අනඟ යහනේ හැසිරෙන විට අඳින්නට යොදාගන්නවා. මෙය විශේෂ වස්ත්‍රයක් ලෙස කලකන අතර මෙය පැළඳීමට ප්‍රථම පයෝධර ආභරණයන් ද පළඳිනවා.


04.කුමරී ඉඟ නෙරිය.
මෙය කාන්තාව ගේ ඉඟ කොටසේ සිට පාද වල ඇඟිළි ආවරණය වන ලෙස නිර්මිතයි. එසේ ඇඳ.., රැළි 14 කින් යුක්ත වන ලෙස ඉඟ නෙරිය සකසා ගතයුතුයි. විවාහක කතුන් මෙය දැරීම.., 14 වන සියවස වන විට දඬුවම් ලැබිය හැකි වරදක් වුණා. කුමරිය ගේ විවාහ දිනයේදී..,මධුසමයේ දී මනමාලයා විසින් මේ නෙරිය කුමරිය වෙතින් ඉවත් කරනු ලබයි... මින් පිළිබිඹු වන්නේ ඇයගේ බ්‍රහ්ම චර්යාවයි.


05.පතිනි ඉඟ නෙරිය.
මධුසමය නිමවීමෙන් පසු පතිනිය විසින් අඳින්නට යෙදෙන්නේ මෙයයි. රැළි 07කින් යුතුව අඳින මෙය.., නව පතිනිය ගේ ජීවිතාන්තය දක්වාම මෙයින් සැරසිය යුතුයි. ඒ මෙයින් පතිවෘතා සංකල්පය නිරූපණය වන බැවින්.


06.දෙඋර සලුව.
"රවිශෛලාශ වංශයේ සියලු කතුන් උඩුකය ආවරණය කළ යුතුය" අතීතයේ මේ වැනි වංශ නීතියක් පැවතුනා. ඔවුන් ඒ සඳහා භාවිතා කරන්නේ දෙඋර සලුවයි. විවිධ අවසථාවල දී විවිධ පාට සලු භාවිතා කෙරේ. වංශයේ කිරි දෙන මව්වරු තම බිළිඳුන්ට කිරි දීමේදී තම පයෝධර වසා ගන්නටත් මෙය උපකාර කර ගනී.


07.දක්ෂිණ සලුව.
මෙය මංගල පෝරුව මතදී මනාලයා විසින් කුමරී ඉඟ ආවරණය වන පරිදි අන්දනු ලබයි. විශේෂත්වය වන්නේ වටිනා විචිත්‍ර වස්ත්‍ර වලින් මෙය නිම කර ගැනීමය.


08.කල්‍යාණ පිරුවටය.
සාමාන්‍ය අවස්ථාවල දී මෙය අඳිනු ලබයි. විවිධ වර්ණ හා ගලපමින් මෙය නිම කර ගැනීමට කිසිදු අවහිරයක් නැත. තරඟකාරී අයුරින් ඉඟවටා ඔතන ලෙස මේ පිරුවටය නිමවාගෙන තිබේ.

මින් සමහර ආයිත්තම කිහිපයක් වර්තමාන සමාජයේත් තවමත් දකින්නට පුලුවන්. තවද මේ සියල්ලම නිමවා ඇත්තේ කාන්තාවගේ ගෞරවය රකින්නටම මිස ඒවා බිඳින්න ට නොවෙයි. මේ අනුව අතීත හෙළ සමාජය සිය ජීවිත යම් නොපෙනෙන රීති මාලාවකට යටත් ව ගෙන ගිය බව නම් කියන්නට පුළුවන්. ඒ අනාදිමත් කාලයක සිට අපට බුදු දහම තුලින් ලැබුණ සදහම් පන්නරය නිසා විය හැකියි.


ලිව්වේ: ලිෂාන් පුවක්ඕවිට