එකල උඩරට ගැමියා දුරභික්ෂාදිය වලක්වා සශ්‍රීකත්වය පතාත් වර්තමානයේ ප්‍රදර්ශන කෘතියක් ලෙසත් ඉදිරිපත් කරනු ලබන කොහොඹා කංකාරිය උඩරට සම්ප්‍රදායට අයත් ශාන්තිකර්ම වලින් වඩාත් ප්‍රසිද්ධ ශාන්තිකර්මය ලෙස මම හඳුන්වා දුනහොත් එය නිවැරදියැයි සිතමි.
කොහොඹා කංකාරියට හේතුපාදක වූ පුරාවෘත්තය විජයාගමනය දක්වා ඈතට දිවයයි. ව්ජය ලංකාවට පැමිණ ලංකාවේ පැලපදියම් වීම සඳහා කුවේණිව උපයෝගී කර පසුව ඇයව පන්නා දැමීම පිළිඹඳ උරණ වූ කුවේණිය විසින් විජය වෙත ශාප කිරීම හේතුවෙන් විජය දිවියෙකු සිහිනෙන් දැකීම නිසා ඇතිවූ භීතිය නිසා ඇතිවූ රෝගයෙන් මරණයට පත්විය.. අනතුරුව රජකමට පත්වූ පඬුවස්දෙව් රජතුමාටද පෙරකී රෝගය වැලඳීමෙන් මරණාසන්න තත්වයට පත්වීමත් සමග දේව සභාව රැස්ව රජුගේ රෝගය සුවකිරීම සඳහා මලය රට රජු මෙරටට ගෙන්වීමේ කාර්යය රාහු අසුරේන්ද්‍රයාට පවරන ලදී. රාහු පසුව ඌරු වෙසක් ගෙන මලය රජුගේ උයන පාළුකරන්නට විය. එය සැලවූ මලය රජු දුනු හී රැගෙන සුන්දර හන්තාන අඩව්ය දක්වා රාහු ලුහුබැඳ පැමිණ ඇත. එහිදී රාහු විසින් මලය රජුට කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව රජු විසින් මලය රටෙන් බමුණන් ගෙන්වා හැටපස් යාගය නම්න් යාගයක් කර පඬුවස්දෙව් රජතුමා සුවපත් කල බවත් පසුව එය කොහොඹා කංකාරිය නමින් ප්‍රචලිත වූ බවත් පුරාවෘත්තවල සඳහන් වේ.
කොහොඹා කංකාරිය ඇරඹෙනුයේ කප් සිටුවීමේ මංගල්‍යයත් සමගය. එහිදී දෙවියන්ට තුන් මසක් ඇතුලත ශාන්තිකර්මය කරන බවට භාරවී ශාන්තිකර්මය කිරීමට අදහස් කරන භූමිය මල්, බුලත් ආදියෙන් සරසා දෙවියන්ට යාතිකා කර භූමිය තුල කිරිඅත්තක් සිටුවීම සිදුකරයි.
කංකාරිය සිදුවන දින භූමිය අලංකාර වන්නේ මඩුවකිනි. එය කංකාරි මඩුව නම් වන අතර දිගින් හැට රියනක්ද පලලින් තිස් රියනක්ද විශාලත්වයකින් යුක්තය. තැඹිලි, බෝදිලි, නවසි, පුවක්, දෝතලු, නා, බුලත් හා පුවක් මල් සමගින් කෙසෙල්, අන්නාසි වැනි පලතුරුද යොදා කංකාරි මඩුව අලංකරණය කරයි. කංකාරි මඩුව මධ්‍යගතකර දෙපසින් යක්ගෙය හා අයිලය ස්ථානගත වේ. යක්ගෙය වෙස්යක්දෙස්සන්, ගුරුන්නාන්සේ, බෙරවායන් හා කොට්ටෝරුවන්ගේ නවාතැන වන අතර අයිලය දේවාභරණ තැන්පත් කරන ආසනය ලෙස යොදාගනී. අයිලය අසල පිටුපස මුහ සමග කැණ සහිත කෙසෙල් ගහක් සිටුවා තබයි. මුවමල විදීමේදී යොදාගනුයේ මෙම මුහ සහිත කැණය..
මූලිකව කංකාරියට වෙස්යක්දෙස්සන්, ගුරුන්නාන්සේ, බෙරවායන් හා කොට්ටෝරුවන් සහභාගී වේ. කංකාරියේ මුල්තැන ගුරුන්නාන්සේට හිමිවන අතර ඔහු බෙරවායෙකු ලෙසද ක්‍රියකරයි. බෙරවායන් සාමාන්‍ය උඩරට බෙරවායන්ගේ ඇඳුමින් සැරසී සිටින අතර ගැටබෙරය වාදන භාණ්ඩය ලෙස වාදනය කරනු ලබයි. වෙස් යක්දෙස්සන් උඩරට සම්පූර්ණ වෙස් ඇඳුමින් සැරසී සිටින නර්තන ශිල්පීන්ය. කොට්ටෝරුවන් බෙරවායන් හා වෙස්යක්දෙස්සන් සඳහා කංකාරි භූමිය තුල ආවතේව සඳහා සිටින ආවතේව කරුවන්ය.
අස්නෙ, කොහොඹ හෑල්ල, යක්ඇනුම, ආවැන්දුම, දුනුමාලප්පුව, හත්පදය, යක්තුන්පදය ආදී නර්තන අංගද යක්කම් නමින් හඳුන්වන නාට්‍යමය අංගද මූලිකව කංකාරි භූමිය තුල අළුයම වන තුරු රඟදක්වයි. මෙම යක්කම් වලින් එකක් වන නයා යක්කම තුල පවතින සම්මාදමේ යාම, වී පෙලීම, වී කෙටීම, ලිග්ගල් සෑදීම, ලිපට පිඹීම, හාල්ලිප තැබීම, ආදී අංග නිරූපනයට බෙර තාලයන් හා එකවූ කවි සහ හාස්‍යෝත්පාදක දෙබස් සබැඳුන සරල රංගන අවස්ථා හුදු නයා යක්කමේ පමණක් නොව මුළු කංකාරිය පුරාම දැකිය හැකි විශේෂ ලක්ෂණයකි. පහත දැක්වෙනුයේ නයා යක්කම තුල දැක්වෙන සංවාදයකි.
වෙස්යක්දෙස්සා -: "ගුරුන්නාන්සේ මට මහ ලෙඩක් හැදිලා බඩවැලේ ගෙඩියක් වගේ දණ ඉස්සරහට නැමෙනවා."
ගුරුන්නාන්සේ -: "බොල දණ ඉස්සරහට නැමෙනවනම් ඉතින් මහ ලෙඩේ තමයි"
වෙස්යක්දෙස්සා -: "ඉතිං මොනවද ගුරුන්නාන්සෙ මේකට කොරන්නෙ"
ගුරුන්නාන්සේ -: "ඕකට සෝලිය රජ්‍ජුරුවන්ට දානයක් දෙන්න ඕනි"
වෙස්යක්දෙස්සා -: "අපි නම් දානෙ දෙන්නෙ හාමුදුරුවන්ට"
ගුරුන්නාන්සේ -: "ඔව් උඹ පන්සලේම නොවැ ඉන්නෙ"
වෙස්යක්දෙස්සා -: "එහෙම නම් දානෙ කොහොමද දෙන්ද ඕනි"
ගුරුන්නාන්සේ -: "සම්මාදම් කරල දෙන්න ඕනි"
රැය පහන්වන තුරු නානාවිධ නාටකීය හා නර්තනීය අංග මුසුවෙමින් දිවෙන කොහොඹා කංකාරිය මුවමල විදීමත් සමග අවසන් වේ. එහිදී සියළු වස්දොස් දුරුවීම සඳහා පෙරකී කෙසෙල් කැණෙහි මුහ හීයකින් විද කඩා දමයි.
පුරාවෘත්තවල සත්‍ය අසත්‍යතාව කෙසේ වෙතත් දේශීය නර්තන කලාවක් ලෙස කොහොඹා කංකාරියට දේශීය ඇගයීමක් හිම්ව්ය යුතු අතර අඩුම තරමේ ප්‍රදර්ශන මට්ටමෙන් හෝ මෙය ලංකාව තුල මීට වඩා ප්‍රචලිත විය යුතුව ඇත....
ලිව්වේ: ආගන්තුකයා
www.ambarox.blogspot.com
www.ecolama.blogspot.com
www.pathrakke.blogspot.com