Showing posts with label උඩරට නැටුම්. Show all posts
Showing posts with label උඩරට නැටුම්. Show all posts

මයුරා වන්නම

Jun 9, 2011

කතරගම දෙවිඳුන් ගමන් යන්නේ මයුරා පිට හෙවත් මොණරෙක් පිට බව ලංකාවේ දේව ඇදහිල්ල ගැන දැනුම් ඇති ඕන අයෙකුට නොව පන්සල් යන පන්සලේ එක් කොනක ඇති දේවාල වලට ගොස් ඇති ඕනෑ කෙනෙකුට වැටහීමක් ඇති.


පන්සල් වලට දේවාල එකතු වුනු අන්දම වෙනමම කතාකල යුතු මාතෘකාවක් නමුත් අද කතරගම දෙවියන්ගේ වාහනය වූ මයුරාගේ ගමන් විලාසය ඇසුරින් නිර්මානය වූ මයුරා වන්නමේ වීඩියෝවක් ඇතුලත් කොට මයුරා වන්නම මෙහි සඳහන් කරනට සිතුවෙමි.


තානම:

තනෙන තන තන, තනෙන තන තන, තනෙන තන තානා
තිනෙන තින තින, තිනෙන තින තින, තිනෙන තින තීනා


කවිය :

සතර සිව්වර බලැති දිඩතර - සුරිඳුනේ කදි රා
කතරගම පුර සුරිඳු වාහන කරති රණ මොන රා

පතර තෙදගම් බිර සතට සෙත වේල අවිය ද රා
නොහැර ඉසිවර යෙදුව මෙමයුර මර්ණකර මයු රා


බෙර මාත්‍රා:
දොංතක දොංතක දො ජිං - (ගත්තක ජිගත )


කස්තිරම:
තහර්ජිත් ගතකුං තකජිංකුඳ - තහර් ජිත් ගත තරිකිට
කුකුඳන් තා -


සීරු මාරුව :
ජිකු තක ජිජිකුඳ ගජිත දොද් දොංගඩ කඩතක කුකුඳන් කුඳං,
කුඳන්තාකුදං, කුංඳතා - කුංඳ කුඳං තාග් තජිත් තක තරිකිට
කුං දං
ගජ්ජිත් කුංතක තරිකිය කුං දං තා -


අඩව්ව:
තහර්ජිත් ගත කුංතක, ජිංගත, ගජ්ජින්ගත තරිකිට කුංදං
තහර්ජිත් - තහර් ජිත් ගත කුංතක ජිංගත, ගජ්ජින් ගත තරිකිට
කුකුදන් තහර්ජිත් - ගත්තක, ජිගත - තහර්ජිත්, තහර්ජිත්
තහර්ජිත් ගත්තක, ජිගත- තහර්ජිත්, තහර්ජිත්, තහර්ජිත්
ගත්තක ජිගත - තහර්ජිත්, තහර්ජිත්, තහර්ජිත්, ගත්තක
තහර්ජිත්, තහර්ජිත්, තහර්ජිත්, තහර්ජිත්, තහර්ජිත් - / ගත්තක
ජිගත ජෙජ් ජෙං කුංදං තහර්ජිත් -


සංදේශ කාව්‍යයන් හි සිංහල නාට්‍ය හා නැටුම් ගැන ඇති වර්ණනා . . . !!!

Jul 2, 2010



ඉතා ඈත රාවණාකාල අතීතයේ සිට පැවත එන ලාංකේය කලාවට බෞද්ධාගමේ අභාෂය නිසාවෙන් එක්තරා මට්ටමකට සීමා මායිම් වටුනු බවට සමහර අය අතර කතිකා තිබෙනවා.

"නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූසනාඨානා වේරමණී සික්ඛා පදං සමාදියාමී" යන සිල්පදය මුල් කරගෙන මේ කතිකා ගොඩ නැගී ඇති බවක් අනුමානය කල හැකියි.

කෙසේ නමුත් ඒ මති මතාන්තර බිඳ දමන්න තරම් ප්‍රභල කාරනා ඒ කාලයේ හිටපු පඬිවරු විසින්ම ඉදිරිපත් කර තිබෙනවා.

ඒ කතිකා, මති මතාන්තර හා කරනා පසු ලිපියකින් ඉදිරිපත් කරන්න බලාපොරොත්තුවෙන්, අද ලිපියෙන් හා ඉදිරි ලිපි කීපයකින් විශේෂයෙන් මේ මාතෘකාවෙන් අතීතයේ සංදේශ කාව්‍යන් හි සිංහල නාට්‍යය ගැන සඳහන්ව ඇති ආකාරය ගැන ලිපි මාලාවක් ලියා තැබිය යුතුයි කියා සිතුනා.

ගම්පල යුගයේදී ගුරුළුගෝමීන්ගේ මුනුපුරෙකු වූ කවීෂ්වර විසින් රචනා කරන ලද "මයුර සංදේශය" කාව්‍යයේ කැළනියෙහි විභීෂණ දෙව් මැදුරෙහි හා දිවිනුවර උපුල්වන් දෙවි මදුරෙහි රඟපාන ලද නැටුම් විස්තර අඩංගුව ඇත . . .

එහි කැළණියේ නැටුම් ගැන ඇත්තේ එක් පද්‍යයක් පමනක් බැව් මා මේ ලිපි සඳහා ඇසුරු කර ගන්නා ජේ. ඊ. සේදරමන් මහතා ගේ "උඩරට නැටුම් කලාව" පොතේ "උඩරට නාට්‍ය කලාවේ ප්‍රභවය හා සංවර්ධනය" නම් කොටසේ දක්වා ඇත.

නො ල ගී ලොබින් බලමින් එපුරෙහි වෙසෙස
අ න ගී නළඟනන් සහ රජගෙට පිවිස
ක ළ ගී රැඟුම් පුද අනතුරුව එවි ගස
ය ස ගී කෙකාසන් කැරැ සබ මැදට බැස

දෙවිනුවර නැටුම් පිලිබඳව අර්ථය උද්දීප්තිමත් කරවන සිංහල විරිත් හා ශබ්දාලංකාර මැනවින් යොදා ලියවුනු චමත්කාරජනක වර්ණනා වලින් හෙබි පද්‍ය මලා කීපයක්ම ඇති බැව් ඒ පොතේ සඳහන්ව ඇත . . . !

නි ල ව කෙවිලි රන්ලිය වදලැ රැවු සමා
ලෙ ල ව කියන ලිය ලිය ගීයට කන් නමා
ලො ල ව මෙසවු රූ නොමැ දුටු විරු තමා
බ ල ව නළඹුවන් රඟ මඬලැ නෙත් යොමා

ර ත ක ම ලේ පෙති සිරි ඇති ඇඟි ලී
ලෙ ළ එ ක ලේ කල කරතලි නුදු ලී
ර ඟ ම ඬ ලේ ඉසි පුල් මල් ඇදි ලී
පැ හැ න' ව ලේ තුරු දිලි නුඹ තියෙ ලී

ස සො බා ලෙළ පද පද'නු වැ ම ත බා
නො ත බා රැවු දුන්සන් සල සල ඹා
න ර ඹා සුරඟන වන් රඟ නර ඹා
ඔ ල ඹා ලනු බැරි සිතු නොම කල ඹා

ර ළ ලා උපුලා ලෙළුම තුලායා
නෙ තු ලා බැමලා බමවා ලායා
ර ඟ ලා එකලා බැලුම සලායා
නෙ තැ ලා සිතැලා ඇද බැද ලායා

ලකළ රුවන් රන් බ න්දී
ලෙළෙන අතමැ සිතු බැ න්දී
කියුලිය ගී සුරු ස න්දී
අසන රිසියැ එම ක න්දී

යුග කො පු ලා බිතු උදු ලා
මිණි කො ඬො ලා කරැ සස ලා
එ ම න ක ලා රඟන ක ලා
ව තැ ම බ ලා රිසි තොස ලා

වයන්නන් පෙදෙයි ලා තබා ගී තම න්නේ
අඟින්නන් රඟන්නන් සුරන් යැයි සිතෙ න්නේ
මෙවන් රූ නුවන් වන් ලෙවන් කුම් කිය න්නේ
මලින් දුන්න ගත්තේ ද ගත්තේය උ න්නේ

කුහුල් වන් මියුල් දෙන් නෙතෙව් නෙත් බැලු ම්ලා
කමල් වන් වතුන් ගී මතින් රැවු නැගු ම්ලා
ළහෝ පත් නොපෑතුල් පතුල් පෑ ලෙලු ම්ලා
නිවායේ දනන් වන් නිවායේ රැඟු ම්ලා

ම ත් වැ ම න මත් සරින් ගී රස හිවා නෝ
අ ත් ත ල ට ග ත් ලෙසිනි විදුලිය සමා නෝ
ර ත් ප බ ල ප ත් අයුරු පත්ල බිමැ පා නෝ
ස ත් ස තු ටු ව ත් නොපටු සිත් වඩිති යෝ නෝ

දඟනක රඟ බසැ පැණ අත රායා
තනනා තන නම් රන් තිස රායා
විලසින් දැනුයෙන් දෙව් අස රායා
දුන් ගී මන මත් කරවන රායා

බැලුම් ඇලුම් කරණ ලො ලේ
කතක එරඟ රඟන ක ලේ
පැළඳි සවණ නිල් උපු ලේ
නෙතට පැරැදි සෙයින් සැ ලේ

පෑ තුනු පෑ තුනු සුර අඟන න්නේ
ලෝ වටනා රඟනා නළඹු න්නේ
සීලය රූ රසයින් නොතෑ ල න්නේ
වේතුට මේතුට මේ දුටුව න්නේ

සැ දු සදෙව් යස සිරි පිරි සුදු සුදු
මු දු කුළුණු සිසිලෙන් සිලි ලිඳු බඳු
මි දු ගිමන් වන්නව මේ රදු රුදු
ව දු සිරිඳු සඳ දිය සෙත යෙදූ උදු


ලිව්වේ: සුභාෂ්

පත පොත ඇසුර : ජේ. ඊ. සේදරමන් - උඩරට නැටුම් කලාව

කෙතරම් බැලුවත් එපා නොවන අලි බැලීම හා ගජගා වන්නම . . !

May 17, 2010



අලි බැලීමත් බලි බැලීමත් කොයි තරම් බැලුවත් එපා වෙන්නේ නෑ කියලා අහලා තියෙනවාද . . ?

බලි බලලා තියෙන බවට මතකයක් නැති නමුත් අලි බලපු හැටි නම් බොහොම හොඳින් මගේ මතකයේ තියෙනවා.

ඉස්සර අපේ ගමේ පන්සලේ වාර්ෂික පෙරහැර වෙනුවෙන් (කෝට්ටේ රාජමහා විහාරයේ)රැගෙන එන අලි පන්සල් වත්තේ විශාල ගස් වල බැඳලා ඉන්න දිහා අපි ස්කෝලේ ඇරිලා එන ගමන් ගෙවල් වලට නොගිහින් බඩ ගින්නේ වේලී වේලී බලන් හිටපු හැටි මේ දැන් වගේ මතකයේ තියෙනවා.

බඩ පනුවන්ගේ බොක්සින් තරඟාවලියේ උපරිමයට ආවහම ගෙදර ගියත් පහුවදාටත් ඇවිත් බලං ඉන්නවා අලියෙක් මේ දැන් දැක්කා වගේ.

ඒක නිසා අලි බැලීම නම් කොයි තරම් වෙලා බැලුවත් එපා නොවන බැලීමක් කියලා කට පුරා කීවහැකි.

ගජගා වන්නම නිර්මාණය වෙලා තියෙන්නේ රජුගේ මංගල හස්තිරාජයාගේ ගමන් ලතාව අනුව කියල තමයි අපි ඉගෙන ගත්තේ.

අලි බැලීමට ඇති කැමැත්ත නිසාම වෙන්න ඇති මගේ නම් කැමතිම වන්නම ගජගා වන්නම.

කාලෙක ඉඳන් ගජගා වන්නම ගැන ලියන්න ඕන කියලා හිත හිතා හිටියත් ඔන්න ද තමයි නිවාඩුවක් ලැබුනේ ඒකට.

මේ මුලින්ම තියෙන වීඩියෝවේ ගජගා වන්නම අපූරුවට ගායනා කරනවා. නමුත් ලස්සන පින්තූර ටිකක් හැර නැටුම එහි අඩංගු වෙලා නොමැති කමින් තවත් වීඩියෝ දෙකක් (මට සෑහීමකට පත්විය හැකි තත්වයේ) මෙහි එකතු කලා ඔබ සැමට රසවිඳින්න ඉඩ සලසා දෙනු වස්.

මුලින් තිබෙන වීඩියෝවේ ගජගා වන්නම ඇහෙනවිට මම ඇස් දෙක පියා ගත්තාම මම වැඩිපුරම බලලා තියෙන කෝට්ටේ රජමහා විහාරයේ පෙරහැරයි බෙල්ලන්විල රජමහා විහාරයේ පෙරහැරයි දෙකේම මේ දැන් මෙතන ඉඳන් බැලුවා වගේ මනසින් පෙරහැරපොලට ගිහින් උක් ගහක් හප හප පෙරහැර බැලුවා.

මීට වඩා හොඳ වීඩියෝ ගැන දනන්වානම් දැනුම් දුන්නොත් බොහෝම අගෙයි.

ඉතිං ගජගා වන්නමේ අපූරුව ඔබ සැමත් රසවිඳ බලන්න . . බලා සටහනක් දමා යන්න අමතක නොකර . . .

ගජගා වන්නම

දෙසුලු මහතුන් තිත

තානම:
තා නා තාම් දාන තා . . ම්
දන තාම් දන තන . . .
තා නා තම් දාන තා . .. ම්
දන තා . . නා . . ..

කවිය:
දෙව් පුර ඇතෙකී, කුඹු දහසයකී, දිග දළ අටකී, සත්ගැබ කී . ..
වැව් පොකුනු දකී, සත්සිය ගැනකී, එක පොකුනකකී, සිව්මලෙ කී . .

සිව් මල පෙතකී, ගැනතිස් දෙකකී, පෙත්තක නැටුකී, සිව්සැටෙ කී . .
කවි කරවැනි කී, ලෙව් ඉසි බසෙකී, ගජගා නමකී, වන්නම කී . . .

ගමන් යනෙන සොඳ රූබර තාලෙට ඇත් රජ ගමනට යන්නේ
පවන් සලන ලෙස කන්පොතු සලමින් දෑලේ මිනි නද දෙන්නේ
කියන්න පුදුමයි ගමනට මිනි නද එකින් එකට වැඩි වන්නේ
අහන්න මැතිඳුනි ගජගා වන්නම මේ ලෙසටයි පවතින්නේ . .

කස්තිරම:
බෙරමාත්‍ර: දොම්කිත - තකදොම් - දොදොම් - දොමිත දොම්
රොන්, තක ජිං තක - තරිකිට කුං දං - තාගජිත්තක තරිකිට කුං දං
රොංතක ජින්තක තරිකිය කුං දං තා -

සීරු මාරුව:
තකුඳ තක ජිජි කුඳ - ගජිත, දොදොංගත කඩතක කුකුඳං
කුජිං - ක්ජිං - තා

අඩව්ව:
තාජ් - ජිත්තක, කුංතක ජිංගත - හජ්ජිත්, කුංතක, තරිකිට කුං දං
රොංතකජිත්, තජිතකුජිත්, රුඳන් ගජිත් තා
කඩතක දැහිං තක ජිජි ගත - ගජ් ජිත්, තාත්, කඩතක, ගජි ගත කුඳ කුඳ තා













ලිව්වේ: සුභාෂ්

පත පොත ඇසුර : ජේ. ඊ. සේදරමන් - උඩරට නැටුම් කලාව

කොහොඹා කංකාරිය

Jan 12, 2010

2515906425_2f9aca2994

එකල උඩරට ගැමියා දුරභික්ෂාදිය වලක්වා සශ්‍රීකත්වය පතාත් වර්තමානයේ ප්‍රදර්ශන කෘතියක් ලෙසත් ඉදිරිපත් කරනු ලබන කොහොඹා කංකාරිය උඩරට සම්ප්‍රදාය‍ට අයත් ශාන්තිකර්ම ව‍ලින් වඩාත් ප්‍රසිද්ධ ශාන්තිකර්මය ලෙස මම හඳුන්වා දුනහොත් එය නිවැරදියැයි සිතමි.
කොහොඹා කංකාරියට හේතුපාදක වූ පුරාවෘත්තය විජයාගමනය දක්වා ඈතට දිවයයි. ව්ජය ලංකාවට පැමිණ ලංකාවේ පැලපදියම් වීම සඳහා කුවේණි‍ව උපයෝගී කර පසුව ඇයව පන්නා දැමීම පිළිඹඳ උරණ වූ කුවේණිය විසින් විජය වෙත ශාප කිරීම හේතුවෙන් විජය දිවියෙකු සිහිනෙන් දැකීම නිසා ඇතිවූ භීතිය නිසා ඇතිවූ රෝගයෙන් මරණයට පත්විය.. අනතුරු‍ව රජකමට පත්වූ පඬුවස්දෙව් රජතුමාටද පෙරකී රෝගය වැලඳීමෙන් මරණාසන්න තත්වයට පත්වීමත් සමග දේව සභාව රැස්ව රජුගේ රෝගය සුවකිරීම සඳහා මලය රට රජු මෙරටට ගෙන්වීමේ කාර්යය රාහු අසුරේන්ද්‍රයාට පවරන ලදී. රාහු පසුව ඌරු වෙසක් ගෙන මලය රජුගේ උයන පාළුකරන්නට විය. එය සැලවූ මලය රජු දුනු හී රැගෙන සුන්දර හන්තාන අඩව්ය දක්වා රාහු ලුහුබැඳ පැමිණ ඇත. එහිදී රාහු විසින් මලය රජුට කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව රජු විසින් මලය රටෙන් බමුණන් ගෙන්වා හැටපස් යාගය නම්න් යාගයක් කර පඬුවස්දෙව් රජතුමා සුවපත් කල බවත් පසුව එය කොහොඹා කංකාරිය නමින් ප්‍රචලිත වූ බවත් පුරාවෘත්තවල සඳහන් වේ.

කොහොඹා කංකාරිය ඇරඹෙනුයේ කප් සිටුවීමේ මංගල්‍යයත් සමගය. එහිදී දෙවියන්ට තුන් මසක් ඇතුලත ශාන්තිකර්මය කරන බවට භාරවී ශාන්තිකර්මය කිරීමට අදහස් කරන භූමිය මල්, බුලත් ආදියෙන් සරසා දෙවියන්ට යාතිකා කර භූමිය තුල කිරිඅත්තක් සිටුවීම සිදුකරයි.

කංකාරිය සිදුවන දින භූමිය අලංකාර වන්නේ මඩුවකිනි. එය කංකාරි මඩුව නම් වන අතර දිගින් හැට රියනක්ද පලලින් තිස් රියනක්ද විශාලත්වයකින් යුක්තය. තැඹිලි, බෝදිලි, නවසි, පුවක්, දෝතලු, නා, බුලත් හා පුවක් මල් සමගින් කෙසෙල්, අන්නාසි වැනි පලතුරුද‍ යොදා කංකාරි මඩුව අලංකරණය කරයි. කංකාරි මඩුව මධ්‍යගතකර දෙපසින් යක්ගෙය හා අයිලය ස්ථානගත වේ. යක්ගෙය වෙස්යක්දෙස්සන්, ගුරුන්නාන්සේ, බෙරවායන් හා කොට්ටෝරුවන්ගේ නවාතැන වන අතර අයිලය දේවාභරණ තැන්පත් කරන ආසනය ලෙස යොදාගනී. අයිලය අසල පිටුපස මුහ සමග කැණ සහිත කෙසෙල් ගහක් සිටුවා තබයි. මුවමල විදීමේදී යොදාගනුයේ මෙම මුහ සහිත කැණය..

මූලිකව කංකාරියට වෙස්යක්දෙස්සන්, ගුරුන්නාන්සේ, බෙරවායන් හා කොට්ටෝරුවන් සහභාගී වේ. කංකාරියේ මුල්තැන ගුරුන්නාන්සේට හිමිවන අතර ඔහු බෙරවායෙකු ලෙසද ක්‍රියකරයි. බෙරවායන් සාමාන්‍ය උඩරට බෙරවායන්ගේ ඇඳුමින් සැරසී සිටින අතර ගැටබෙරය වාදන භාණ්ඩය ලෙස වාදනය කරනු ලබයි. වෙස් යක්දෙස්සන් උඩරට සම්පූර්ණ වෙස් ඇඳුමින් සැරසී සිටින නර්තන ශිල්පීන්ය. කොට්ටෝරුවන් බෙරවායන් හා වෙස්යක්දෙස්සන් සඳහා කංකාරි භූමිය තුල ආවතේව සඳහා සිටින ආවතේව කරුවන්ය.

අස්නෙ, කොහොඹ හෑල්ල, යක්ඇනුම, ආවැන්දුම, දුනුමාලප්පුව, හත්පදය, යක්තුන්පදය ආදී නර්තන අංගද යක්කම් නමින් හඳුන්වන නාට්‍යමය අංගද මූලිකව කංකාරි භූමිය තුල අළුයම වන තුරු රඟදක්වයි. මෙම යක්කම් වලින් එකක් වන නයා යක්කම තුල පවතින සම්මාදමේ යාම, වී පෙලීම, වී කෙටීම, ලිග්ගල් සෑදීම, ලිපට පිඹීම, හාල්ලිප තැබීම, ‍ආදී අංග නිරූපනයට බෙර තාලයන් හා එකවූ කවි සහ හාස්‍යෝත්පාදක දෙබස් සබැඳුන සරල රංගන අවස්ථා හුදු නයා යක්කමේ පමණක් නොව මුළු කංකාරිය පුරාම දැකිය හැකි විශේෂ ලක්ෂණයකි. පහත දැක්වෙනුයේ නයා යක්කම තුල දැක්වෙන සංවාදයකි.

වෙස්යක්දෙස්සා -: "ගුරුන්නාන්සේ මට මහ ලෙඩක් හැදිලා බඩවැලේ ගෙඩියක් වගේ දණ ඉස්සරහට නැමෙනවා."
ගුරුන්නාන්සේ -: "බොල දණ ඉස්සරහට නැමෙනවනම් ඉතින් මහ ලෙඩේ තමයි"
වෙස්යක්දෙස්සා -: "ඉතිං මොනවද ගුරුන්නාන්සෙ මේකට කොරන්නෙ"
ගුරුන්නාන්සේ -: "ඕකට සෝලිය රජ්‍ජුරුවන්ට දානයක් දෙන්න ඕනි"
වෙස්යක්දෙස්සා -: "අපි නම් දානෙ දෙන්නෙ හාමුදුරුවන්ට"
ගුරුන්නාන්සේ -: "ඔව් උඹ පන්සලේම නොවැ ඉන්නෙ"
වෙස්යක්දෙස්සා -: "එහෙම නම් දානෙ කොහොමද දෙන්ද ඕනි"
ගුරුන්නාන්සේ -: "සම්මාදම් කරල දෙන්න ඕනි"

රැය පහන්වන තුරු නානාවිධ නාටකීය හා නර්තනීය අංග මුසුවෙමින් දිවෙන කොහොඹා කංකාරිය මුවමල විදීමත් සමග අ‍වසන්‍ වේ. එහිදී සියළු වස්දොස් දුරුවීම සඳහා පෙරකී කෙසෙල් කැණෙහි මුහ හීයකින් විද කඩා දමයි.

පුරාවෘත්තවල සත්‍ය අසත්‍යතාව කෙසේ වෙතත් දේශීය නර්තන කලාවක් ලෙස කොහොඹා කංකාරියට දේශීය ඇගයීමක් හිම්ව්ය යුතු අතර අඩුම තරමේ ප්‍රදර්ශන මට්ටමෙන් හෝ මෙය ලංකාව තුල මීට වඩා ප්‍රචලිත විය යුතුව ඇත....


ලිව්වේ: ආගන්තුකයා
www.ambarox.blogspot.com
www.ecolama.blogspot.com
www.pathrakke.blogspot.com

ස්‌ත්‍රීන්ගේ මන දොළ සපුරන කඩවර යක්‌ කංකාරිය

Jan 6, 2010

 yak


ලක්‌දිව උඩරට ප්‍රදේශයට සුවිශේෂ වූ ගර්භ සංරක්‍ෂණ ශාන්ති කර්මය කඩවර යක්‌ කංකාරියයි.

උඩරට ගැමි ජනතාවගේ ඇදහිලි විශ්වාස, ආකල්ප මෙන්ම සාරධර්ම ද ඇසුරු කරගනිමින් ප්‍රභවය ලබා ඇති මෙකී යක්‌ කංකාරිය රට යකුමෙන් පහතරට ජනතාවටත් කුමාර සමය මෙන් සබරගමු ජනතාවටත් සිදුවන්නා වූ සමාජ මෙහෙවරට සමගාමි වූ සමාජ මෙහෙවරක්‌ නිහඬව සිදුකරන බව හේතු සාධක සහිතව පෙන්වා දිය හැකිය.

කඩවර හුදු ගර්භ සංරක්‍ෂණයට පමණක්‌ සීමා වූ ශාන්ති කර්මයක්‌ නොව ගැබ් ගැනීම් සිදු නොවීම, හටගත් ගැබ ගබ්සාවීම, නියමිත කාලයට මාස්‌ ශුද්ධිය ඇති නොවීම, කිලිමාල, ලේමාල, වැළඳීම මෙන්ම මල්වර දෝෂ, තනිකම් දෝෂ, රතිකම්දෝෂ, ඇඟ වෙව්ලීම ආදී ස්‌ත්‍රීන් හා සම්බන්ධ වූ දහසකුත් එකක්‌ ලෙඩ රෝග හා සබැඳි යක්‌කාරියකි.

එමෙන්ම දරු ප්‍රසූතිය පමා කිරීම, අංගවිකල දරුවන් බිහිකිරීම, බිහි වූ දරුවන් දින තුනක්‌ සත් දිනෙන් මරා දැමීම යනාදී කටයුතු ද සිදුකරන්නේ කඩවරය. උක්‌ත උවදුරුවලින් කාන්තාවන් නිදහස්‌ කර ගැනීමට කඩවරට පුද පූජා දොළ පිදේනි පුදා තුන්තිස්‌ පැයක්‌ මුළුල්ලේ අංග සම්පූර්ණව කඩවර යක්‌ කංකාරියක්‌ පැවැත්විය යුතු බව ඇදුරෝ තරයේ විශ්වාස කරති.

කඩවර යක්‌ කංකාරිය කන්ද උඩරට මෙන්ම උතුරුමැද හා වයඹ යන පළාත්වල ද විවිධ මුහුණුවරින් පවත්වන්නෙකි. උතුරුමැද පළාතේ පවත්වන කඩවර නැටීම, කොහොඹා යක්‌ කංකාරියේ පූර්වාධයකි. වයඹ පළාතේ කඩවර නැටීම, දළකඩවරට ගොට,q පිදේනි කැපකොට දීමට සීමාවන්නෙකි.

එහෙත් මධ්‍යම පළාතේ කඩවර යක්‌ කංකාරිය සීරි/ රීරි කඩවර, කොට කඩවර, රතිකඩවර, දළ කඩවර යන යකුන්ට වෙන වෙනම දොළ පිදේනි, ගොටු කැපකොට දෙන පන්යක්‌කම, කපුයක්‌කම, නයියක්‌කම, වැදියක්‌කම, දරුයක්‌කම, බොරුයක්‌කම, මහයක්‌කම යන යක්‌කම් හතකින් පරිපූර්ණ වූ සර්ව රාත්‍රිකව පවත්වන ගර්භ සංරක්‍ෂණ පූජා කර්මයකි.

ගර්භ සංරක්‍ෂණය අරබයා කන්ද උඩරට පැවැත්වෙන සොකරි නැටුම, මල් බලිය පිදීම, කිරි අම්මාවරුන්ගේ දානය, කළුකුමාර යන්ත්‍රය පැළඳීම හා විවිධ ආගමික ස්‌ථානවලට භාරහාර වීම යනාදී දහසකුත් එකක්‌ පූජා කර්ම අතර කඩවර යක්‌කංකාරියට ප්‍රමුඛ ස්‌ථානයක්‌ හිමිවන්නේ ප්‍රතිඵලදායක වූ වත් පිළිවෙත් රටාව හේතුවෙනි.

"කඩවර" පොදු ව්‍යවහාරයේ කඩවර යක්‌/දෙවි නමින් සැලකෙන අන්තරාවරිතිත දෙවි කෙනෙක්‌ වුවද කඩවර යක්‌ කංකාරියේදී කඩවර දෙවි නමින් පුද පෙත් ලබන්නේ සෙනවිරත්න මුල්කඩවර හෙවත් කලාකඩවරටය. පුළුටු බත් භෝජන නොබුදින කලාකඩවරට කිරිබත් ගොටුවක්‌ පුද දීමට ඇදුරන් පුරුදු වී සිටින්නේ මෙබැවිනි.

දැදුරුඔය, නුවර කලාවිය පමණක්‌ නොව සමස්‌ත වැව්ගම්වාසීන්ගේම එකම ඉටුදෙවියා සෙනවිරත්න මුල්කඩවරය. දේශීය සම්භවයක්‌ ඇති එකම කඩවර දෙවියා ද වන්නේ සෙනවිරත්න මුල්කඩවරය. මොහුගේ බලපරාක්‍රමය එදා මෙන්ම අද ද කිසිදු අඩුවකින් තොරව පවත්නා බවත් ඇතැම් දිනවල කලා වැවේ වැව් ඉස්‌මත්තේ පෙනී සිටින බවත් ඇදුරෝ ප්‍රකාශ කරති. සෙනෙවිරත්න මුල්කඩවර වෙනුවෙන් සකස්‌ කළ කිරිබත් ගොටුවක්‌ පුදදීමට මොවුහු කිසිසේත් අමතක නොකරති.

සෙනවිරත්න මුල්කඩවර හෙවත් කලාකඩවරට කිරිබත් ගොටුවක්‌ පුදදෙන ඇදුරෝ රීරිකඩවරට, තොටකඩවරට, රතිකඩවරට, දළකඩවරට යන කඩවර යකුන්ට පිළිවෙලින් සැන්දෑ පිදේනිය, තොටකඩවර පිදේනිය, රතිකඩවර පිදේනිය, නොමළ දත්ත පිදේනිය යන සිව්මහා පිදේනි මන්ත්‍ර දිෂ්ටියෙන් දිෂ්ටි කොට ඒ ඒ අදාළ තැන්වලට අදාළ වෙලාවට ගෙනගොස්‌ කැපකොට දෙති.

එමෙන්ම හාස්‍ය හා විනෝදය, මානසික විරාමය රැගත් පන්යක්‌කම, කපුයක්‌කම, බොරුයක්‌කම, දරු යක්‌කම, වැදියක්‌කම, නයි යක්‌කම හා මහයක්‌කම යන යක්‌කම් හතක්‌ හා තංතිරිවේණා උඩැක්‌කි නැටීම් ආදී නාට්‍යමය ජවනිකා ඉදිරිපත් කිරීමටත් කංකාරියෙන් අපේක්‍ෂිත මුඛ්‍ය පරමාර්ථය වටා මෙකී සියලුම උපාංග හා චරිත සිද්ධි මෙන්ම විවිධ අවස්‌ථා ද එකට එක්‌වී එකී භූත ධාරණාවකට අනුව පෙළගැසී තිබීම ද අවධානය යොමු කළ යුතු කරුණකි.

මෙවන් සියලු උපාංගවලින් සැදුම්ලත් සර්ව රාත්‍රිකව පවත්වන කඩවර යක්‌කාරියක්‌ මධ්‍යම පළාතේ හැරුණු විට වෙනත් කිසිදු ප්‍රදේශයකින් දැකගන්නට නොලැබීම ද විශේෂ කරුණකි.

ඉතාමත් සැලැස්‌මකට අනුව සකස්‌ වූ ප්‍රතිඵලදායක මෙම ශාන්ති කර්මය ආරම්භ කරන අවස්‌ථාවේදී රෝගාතුරව දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් යාගමඩුවට පැමිණි කාන්තාවන් පසුදා උදෑසන ශාන්ති කර්මය අවසානයේදී එකී සියලු රෝග තත්ත්වයන්ගෙන් අත්මිදී ඉතා හොඳ සනීපයෙන් විනෝදයෙන් ඇදුරුතුමන්ට නමස්‌කාර කර යාග මඩුවෙන් සමුගත් අවස්‌ථා අප එමටවත් දැක ඇත.

මල්වරවීම, මල්වර කිල්ල පිළිබඳ තම දූ දරුවන් නිසි පරිදි දැනුවත් නොකිරීමේ වරදින් මල්වර වන මොහොතේම ඇතිවන මල්වර කිල්ලක්‌ සමඟ වැළඳෙන කඩවර දෝෂය බොහෝ අය හඳුනාගෙන දේශීය මෙන්ම විදේශීය වෛද්‍ය ප්‍රතිකාර සිදුකරනු දැකිය හැකිය. එසේ වෛද්‍ය ප්‍රතිකාර කොතෙක්‌ සිදු කළත් කඩවර දෝෂය ඉවත්වනතුරු එකී රෝගී කාන්තාවට ගැබ් ගැනමක්‌ සිදු නොවන අතර ගැබ් ගැනීමක්‌ සිදු වුවද එක්‌ මසකින් සමසකින් හෝ සත්මසකින් එකී දරු ගැබ විනාශ කර දැමීම කඩවරගේ සාමාන්‍ය ස්‌වභාවය බව මේ පිළිබඳව අවබෝධය ඇති බොහෝ පිරිස්‌ විශ්වාස කරති.

එබැවින් මෙකී ශාන්ති කර්මය පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරීම සුවිශේෂ සමාජ මෙහෙවරක්‌ කොට සැලකීම අසාධාරණ නොවන්නේය. ඒ අනුව උඩරට කඩවර යක්‌කංකාරියේ පූජා විධි රටාව පිළිබඳ අපේ සැලකිල්ල යොමු කළ යුතුය. පූජාවිධි රටාව සමයම් හතරකින් සමන්විත වෙයි. ඒ හැන්දෑ සමයම, පූර්ව මධ්‍යම සමයම, අපර මධ්‍යම සමයම හා අලුයම සමයම යනු ඒ සමයම් හතරයි.

කඩවර යක්‌ කංකාරියේ සැන්දෑ සමයමට අයත් ආරම්භක කටයුත්ත වන්නේ යාග මඩුව පවිත්‍ර කිරීමයි. එහිදී කඩවර පිදේනිය හා සකස්‌ කළ පිදේනි හා කොටු සභාගත කොට, කීලපන්දම් දල්වා දුම්මල ගසා කහපැන් ඉස යාගමඩුව මැනවින් සුද්ධ පවිත්‍ර කොට දෙවියන් වැඩ සිටීමට සුදුසු තැනක්‌ බවට පත්කිරීමට ඇදුරෝ අමතක නොකරති.

සමාගම් නූල පැළඳවීම

කඩවර යක්‌aකංකාරියේ පළමුවන චාරිත්‍රය වන්නේ සමාගම් නූල පැළඳවීමයි. කංකාරිය පැවැත්වීමට දින විසිඑකකට පෙර මෙකී කටයුත්ත සිදුකළ යුතුය. මෙහි කංකාරියට අත්‍යවශ්‍ය වූ චාරිත්‍රාංගයකි. විවාහපත් ස්‌ත්‍රීන්ට වසර ගණනාවක්‌ ගතවුවද දරු ගැබ් ඇති නොවීම, ඇති වූ දරු ගැබ් මසකින් දෙකකින් ගබ්සා වී යැම, ඔක්‌කාරය, තුන්ජාමෙට වෙව්ලා උණ ගැනීම, යනාදී රෝග ලක්‍ෂණ යම් කාන්තාවකට දක්‌නට ලැබේ නම් අත්දැකීම් තුළින් පරිපාකයට පත් ගම්මු ඇයට නිසැක වශයෙන්ම කඩවර දෝෂය වැළඳී ඇති බව පසක්‌කෙට ගෙන කඩවර යක්‌ කංකාරියක්‌ සිදුකිරීමට අවැසි කටයුතු සම්පාදනය කරති.

ප්‍රධාන ගුරුන්නාන්සේ ආතුරයාගේ නිවසට ගොස්‌ ආතුරයා හොඳින් පරීක්‍ෂා කොට ඇයට වැළඳී ඇත්තේ කඩවර දෝෂයක්‌ බව හැඳින සුදු තුන්පටේ නූලක්‌ ගෙන කඩවර යාදින්න තෙවරක්‌ කියා එම මූල ආතුරයාගේ දකුණතේ ඉහළ කොටසෙහි ගැටගසනු ලැබේ.

මෙම සමාගම් නූල පැළඳීමෙන් දින විසිඑකක්‌ ගතවූ තැන ආතුරයා රෝග උපද්‍රවයෙන් නිදහස්‌ කොට දෙන ලෙසත් එසේ නිදහස්‌ කළහොත් රීරි කඩවර, තොටකඩවර, රත්කඩවර, දළ කඩවර යන කඩවර යක්‍ෂයන්ටත් සෙනවිරත්න මුල්කඩවර හා නාටහතර කකට්‌ටුවක්‌ කඩවරයින්ටත් කඩවර යක්‌ කංකාරියක්‌ පවත්වා දොළ පිදේනි පිළිගන්නා කඩවර කංකාරියක්‌ පවත්වා දොළ පිදේනි පිළිගන්වා කඩවර කංකාරියක්‌ පවත්වා දොළ පිදේනි පිළිගන්වන බවට ප්‍රතිඥ දෙති.

දෙන ලද ප්‍රතිඥවේ ආකාරයටම දින විසිඑකක්‌ නොව දින හතක්‌ යැමට පෙර සිටම ප්‍රතිඵල පෙන්නුම් කරන අතර කඩවර යක්‌කංකාරියට සූදානම් වන්නේ මින් අනතුරුවයි.

කාන්තාවක්‌ මල්වර වන අවස්‌ථාවේදී තනිවුවහොත් තනිපොල පිරිකඩවර ඇයට බැල්ම හෙලා එදා සිට ඇය කැටුව වාසය කරන අතර ඇය විවාහ වුවද දරුවන් පිළිසිඳ ගැනීමට මොහු ඉඩ නොදෙයි. පිළිසිඳ ගත්තට කළලයට මාසයක්‌ දෙකක්‌ වන විට ගබ්සා කොට දමයි. තනිපොල සීරි කඩවර ඇමක්‌ ස්‌වාමිපුරුෂයා සේ හැසිරෙයි.

රාත්‍රියේදී යහනට පැමිණෙන මොහු ඇය සිහිනෙන් බිය ගන්වයි. නින්ද යැමට ඉඩ නොදෙයි. එවන් කාන්තාවන්ට සමාගම් නූල පැළඳවීමේදී සාමාන්‍ය සමාගම් නූලක්‌ පැළඳවීමට වඩා වෙනස්‌ වේ. ඒ අනුව නූල්, දුම්මලතටුව, නාබර කුකුළෙක්‌ යනාදිය රැගෙන තුන්මංසලට ගොස්‌ කඩවර යාදින්න කියා දිෂ්ටි මන්ත්‍ර තියා දුම්මල කීල ගසා ඇප නූල කුකුළාගේ කකුලේ ගැටගසයි.

ඇයට වැළඳී ඇති තනිකම් දෝෂය ඉවත් කොට දරු ඵල ලබාදුනහොත් දරුවකු පිළිසිඳ තුන්මාසයක්‌ ගතවීමට පෙර කඩවර යක්‌ කංකාරියක්‌ පවත්වා තනිපොල සිරිකඩවර ඇතුළු සියලු කඩවරයින්ට දොළ පිදේනි කැපකොට දෙන බවට කන්නලමව් කොට කියා සිටියි. "තනිපොල සිරිකඩවර" ඉතාමත් දරුණු යකෙකු වන බැවින් කුකුළා මරා පිදේනි කැප කොට දීම විශේෂ ලක්‍ෂණයකි. තනිපොල සිරිකඩවර කිසිවිටකවත් රැවටිය නොහැකි බියකරු යකෙකු බව ගුරුන්නාන්සේලා තරයේ විශ්වාස කරති.

දින විසිඑකක්‌ ඇතුළත දොළ පිදේනි කැපකොට නොදුනහොත් රෝගියා මරණාසන්න තත්ත්වයට පත්වන බැවින් පොරොන්දු ප්‍රකාර දොළ පිදේනි පුදදීමට ගම්මු වගබලා ගනිති.

. . . ..

යාගමඩුව

නියමිත පරිදි දිග අඩි 30 ක්‌ හා පළල අඩි 15 ක්‌ පමණ ඉඩ ප්‍රමාණයේ යාගමඩුවක්‌ තුළ සවස 5.00 ට ආරම්භ කරන මෙම ශාන්ති කර්මය පසුවදා පෙරවරු 7.30 දක්‌වා පැවැත්වේ. කුරාලයේ හා තුන්මංසලේ හා දොළේ පිදේනි කැපකොට දීම හැරුණු කොට අනෙක්‌ සියලු යාග කටයුතු සිදුවන්නේ මෙම යාගමඩුව තුළය. අඩි හතක්‌ උස කෙසෙල් කඳක්‌ කොටස්‌ තුනකට බෙදා සකස්‌ කොටගත් අයිලය සඳුන්, භූත, බත් යන කාලි දෙවිවරුන්ට වෙන් වූවකි. ගොක්‌අතුවලින් සැරසූ "ආතුර වාසස්‌ථානය" ආතුර කාන්තාව වෙනුවෙන් සකස්‌ කොට ඇත. එක්‌ පසෙකින් පිදේනි යහනකි. එම යහන තුළ

01. සීරි කඩවර පිදේනිය

02. තොට කඩවර පිදේනිය

03. රති කඩවර පිදේනිය

04. නොමළ දත්ත පිදේනිය

05. මෝරංගල පිදේනිය


යන පිදේනි තබා ඇත. ශාන්ති කර්මය ආරම්භ කිරීමට පෙර "කුරාලය" සකස්‌ කළ යුතුය. ආතුර නිවසේ සිට යාර 300 ක්‌ දුරින් ගසක්‌ උඩ ඇත් උසට මෙම කුරාලය සවිශක්‌තිමත්ව ලී දඬු යොදා සකස්‌ කළ යුතුය. නැවුම් මැටි මුට්‌ටියකට කහ දියර යොදා අලංකාර කරන ලද "කළස" යාග මඩුවේ පසෙකින් තබා ඇත්තේ මල් කඩවරට පුද දීමට ය. මල් බුලත් තටුව ශ්‍රියා කාන්තාවට ය. මල් බුලත් හැරුණු විට කැඩපතක්‌, පනාවක්‌, හවරියක්‌ සුවඳ වර්ග මීට අයත් වේ.

ආතුරයා ආතුර වාසස්‌ථානයේ වඩා හිඳුවීම

යාග මඩුව පුරා කහ දියර ඉස දුම්මල ගසා පවිත්‍ර කොට වැදියක්‌ කඩවර අභිමාන කඩවර යන රීරි යකුගේ දෑග සවුවන්ට වෙන් වූ පරිවාර ගොටු දෙකත් රීරි කඩවර ගොටුවත් යාග මඩුවේ ආතුර වාසස්‌ථානය ළඟින් තබා මෙතෙක්‌ හිස්‌ අසුනක්‌ව පැවැති ආතුර වාසස්‌ථානයට ආතුර කාන්තාව නිවාස තුළ සිට මොට්‌ටක්‌කිලියෙන් මුහුණ වසා ප්‍රධාන යකැදුරාගේ මැදිහත්වීමෙන් ආතුර වාසස්‌ථානයේ වඩා හිඳුවීමට පෙර පළමුව තෙරුවන් සිහිකොට, දෙවනුව දෙවියන් සිහිකොට, තෙවනුව යක්‍ෂයන් සිහිකොට පහන් දල්වා ආතුර වාසස්‌ථානයේ වඩා හිඳුවයි.

හැන්දැ සමයම නැටීම

බුදුන්ට, දෙවියන්ට මෙන්ම යක්‍ෂයන්ටත් පහන් දල්වා නයියණ්‌ඩි ඇඳුමින් සැරසුණු ඇඳුරෝ උඩැක්‌කි අතට ගෙන මඟුල් බෙර වයා බුදුන්ගෙන් දෙවියන්ගෙන් ආශිර්වාද ලබා ගැනීමට කිසිසේත් ම අමතක නොකරති. හිසට ජටා බැඳ පිරුවට හැඳ සිලම්බු හා වළලු පැළඳ, ඇඳුරෝ මල් යහන ඉදිරිපස සිට උඩැක්‌කියෙන් මඟුල් බෙර වාදනය කරමින් මල් යහන් කවි ගයමින් සියලු දෙවියන්ට මල් යහනට ආරාධනා කරති. දෙවියන් ඉදිරියේ නැටුම් ගැයුම් පැවැත්වීමෙන් ඔවුන් සතුටට පත්වන බවත්, සතුටට පත් දෙවියෝ තමන්ට පෙරළා ආශිර්වාද කරන බවත් ගැමියෝ තදින්ම විශ්වාස කරති. එලෙස දේවාශිර්වාද ලැබෙනවාත් සමඟම මෙතෙක්‌ තිරයෙන් මුහුණ වසාගෙන සිටි ආතුර කාන්තාවගේ කඩතිර හැර දෙවියන්ට ඇයව ඉදිරිපත් කිරීම කළ යුතුය

සිරිකඩවර පිදේනිය කැපකොට දීම

දෙවියන්ගේ ආශිර්වාද ලබා ගත් ඇයව ඉදිරිපිටම හැන්දැ පිදේනිය හෙවත් සිරිකඩවර පිදේනිය සිරිකඩවරට කැප කොට දීම ආරම්භ කරති. මල්වර වන අවස්‌ථාවේදී තනි වුවහොත් රීරි කඩවර දෝෂය වැළඳේ. එබඳු කාන්තාවන්ට මෙම පිදේනිය පුද දීමෙන් රෝගය සුව වේ. සියලුම පූජා ද්‍රව්‍ය අඩංගු සිරිකඩවර පිදේනිය අභිමාන, වැදියක්‌, යන කඩවරයන් විෂයෙහි සකස්‌ කළ දොළ පිදේනි ද පන්දම් ද කුකුළා ද සමීපයට ගෙන දොළ පිදේනි භාර ගැනීමට සිරියකු ප්‍රධාන අනෙකුත් යකුන්ට අඬ ගසති.

"තෙද සීරියක්‌කු - අද කෙළි පුදට එක්‌කු

යකුගේ බල දැක්‌කු - බැස වරෙව් තෙද සිරි යක්‌කු

සීරි විල වසනා - බාර ලේ වල වෙසෙනා

සමන් දෙවි දකිනා - සිරි යකු බල පෙන්නු එදිනා

කපා රතු කුකුලන් - ඉරාලා ලේ ගොටුවන්

බැඳ මැසි කුරාලන් - මෙසේ දොළදෙන් සිරි යකුටත්



අටකොණට සමයං දීම

පැදුර යාගමඩුවේ මැද එළා පැදුර අටකොණේ බත්ගොටු අටක්‌, පහන් අටක්‌ දල්වා තබා ප්‍රධාන ගුරුන්නාන්සේ පැදුරෙන් මුනින් අතට දපා සිරිකඩවර පිදේනිය පපුව මත තබා දුම්මල කීල ගසමින් අටකොණට සමයං දෙයි. සෙසු ඇඳුරෝ උඩැක්‌කි වයමින් මෙම කටයුත්තට සහාය ලබා දෙති. අටකොණ සමයම හමාර කොට රීරිකඩවර පිදේනිය ආතුරයාගේ හිසේ සිට පාදාන්තය දක්‌වා යවමින් සෙත් පතා පිදේනිය හිසමත තබා කවි ගයමින් කුරාලය කරා ගමන් කරයි.

"අහසේ ගොසින් ඉරුයට සැඟවුණත් වරෙන්

පොළවේ ගොසින් වැලියට සැඟවුණත් වරෙන්

මහ මුහුදේ ජලයට සැඟවුණත් වරෙන්

ලෙඩ කළ දේවතා කොතැනක ගියත් වරෙන්"

කුරායල වෙත ගමන් කොට කුරාලයට නැගී එහි දපා පපුවමත පිදේනිය තබා දිෂ්ටි මන්ත්‍ර කියා දිෂ්ටි කොට, රීරි කඩවර යක්‍ෂයාට අඬගසා පුද දෙයි. සෙසු ඇඳුරෝ කුරාලයේ පාමුල සිට උඩැක්‌කි වයමින් දුම්මල කීල ගසමින් උදව් වෙති.

තොට කඩවර පිදේනිය කැපකොට දීම

ස්‌නානය කරන තොටකදී දිය කඩකදී වැඩිවියට පත් ව තනි වුවහොත් තොට කඩවර දෝෂය වැළඳේ. බොහෝ කාන්තාවන්ට මෙම දෝෂය වැළඳෙන්නේ නොසැලකිල්ල හා නොදැනුවත්කම හේතුකොට ගෙනයි. මෙම දෝෂය තිබෙනතුරා දරුවන් පිළිසඳ ගැනීමකට ඉඩ නොදෙන තොට කඩවර යකු විෂයෙහි ඉහත පිදේනිය තොටක තබා කැප කොට දීමෙන් සුව කර ගත හැකිය. හැන්දැ පිදේනිය හෙවත් රීරි කඩවර පිදේනිය කැපකොට දීමෙන් පසු රාත්‍රි ආහාරය ගෙන රාත්‍රි අටෙන් පසුව මෙම තොට කඩවර පිදේනිය කැපකොට දීම ආරම්භ කරති.

උඩරටට ආවේණික වූ නයියණ්‌ඩි ඇඳුමෙන් සැරසුණු ඇඳුරෝ ඉතාමත් ගරු ගාම්භීර ලෙස සභාවට පැමිණ මඟුල් බෙර වයා සෙත් කවි ගයා ආතුරයාට ආශිර්වාද කරති. පුවක්‌ මල් කිනිත්තක්‌ ගෙන තුන්පටේ නූලක්‌ ඔතා සකස්‌ කළ "පිරිත්තුව" මේ අවස්‌ථාවට විශේෂයෙන් වැදගත් වේ. කංකාරියට සහභාගි වන සියල්ලන්ටම පිරිත් නූලක්‌ ලබාදිය යුතුයි. පිරිත්තුවේ එක්‌ පැත්තක්‌ ආතුර අතේ ද, අනෙක්‌ කෙළවර අයියලයට ද සම්බන්ධ වේ.

තොටකඩවර පිදේනි කැපකොට දීමට පෙර ඇදුරෝ සභාවේ සිටින සියල්ලන්ගේම සතුට සඳහා ඉතාමත් අලංකාර ලෙස නැටුම් ඉදිරිපත් කරති. ශාන්ති කර්මය නරඹන්නන්ගේ නිද්‍රdශීලී අලස ස්‌වභාවය මෙම අලංකාර නැටුම් බැලීමෙන් ඉවත්ව යන අතරම ආතුරයාගේ රෝග උපද්‍රවයන් ද යම් තරම් දුරකට සමනය වීමක්‌ ද සිදුවේ.

තොටකඩවරට සකස්‌ කළ "නැව්පිදේනිය" සුදු පිරුවට බැඳි වතුර පිරවූ කොරහක්‌ මත තබා යාගමඩුවේ මැද තබා දිෂ්ටි මන්ත්‍ර, තොට කඩවර අස්‌න, කවි මෙහිදී ගායනා කිරීමට ඇඳුරෝ අමතක නොකරති.

තොටුපල ගලට ඇවිදින් යකු මග බැලු වා

දුටු අඟනන්ට රෑ සිහිනෙන් ලෙඩ කෙරු වා

යුතු ලෙස දෙන්ට දොබිලි ඔබට මාරු වා

තොට කඩවර දොළ ගෙන දිය පිට වැඩු වා"

මෙසේ අස්‌න හා කවි කියමින් පිදේනිය හිසමත තබා ගෙන දියකඩක්‌ දක්‌වා ගමන් කොට ප්‍රධාන ගුරුන්නාන්සේ දියමත දපා පිදේනිය පපුව මත තබා නැවත දිෂ්ටි මන්ත්‍රයෙන් මතුරා දුම්මල ගසා දිෂ්ටි කොට තොටකඩවර යකුට පිදේනිය කැප කොට දෙති.

එහිදී

රන් පඬුරට

ඇප කළසට

මල් බුලත් තටුවට

පිදේනි යහනට

රති කඩවර පිදේනිය පුදදීම

අයිලයට යාදිනි ගයා දෙවියන්ට කන්නලව් කොට දෙවියන්ගෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කරති. රතිකඩවර, රතිකම් කඩවර, රතිකාම කඩවර යනාදී විවිධ ස්‌වරූපයෙන් පෙනී සිටින රති කෙළියෙහි ඇලී ගැලී වාසය කරන රති කඩවර කිල්ලක්‌ දුටු සැණෙකින් දිෂ්ටි හෙළා බැල්ම හෙළා කාන්තාවන් ලෙඩ කරවන යක්‍ෂයෙකි. ග්‍රාමීය පරිසරය තුළ බොහෝ දුරට අඹුසැමියන් වශයෙන් එකතු වන්නේ නිවස තුළදී නොව වනයේදී ය. එබඳු අවස්‌ථාවලදී යම් හෙයකින් බිරිඳ මොහොතකට හෝ තනි වුවහොත් මෙම රතිකම් දෝෂයට ගොදුරු විය හැකි බව ඇඳුරන්ගේ පිළිගැනීමයි. රති කඩවරට වෙන්වූ "රතිකඩවර පිදේනිය" දිෂ්ටි මන්ත්‍ර කියා යාදිනි ගයා කුකුල් සිරි (ලේ) පිදේනියට දමා පිදේනිය ආතුරයාගේ නිවසට සමීපව ඇති "තුංමංසලක" කැප කොට පිදිය යුතුය.

දළ කඩවර පිදේනිය පුදදීම

උඩරට කඩවර යක්‌ කංකාරියේ අවසන් මහ පිදේනිය හෙවත් නොමළ දත්ත පිදේනිය පුද දෙන්නේ දළ කඩවරයට. එබැවින් එයට "දළකඩවර පිදේනිය නමින් ද, හැඳින්වෙයි. මෙම මහ පිදේනිය කැපකොට දීමට මත්තෙන් දළ රජු කළ යාගය සිහි ගන්වමින් ගිරිදේවි බලියක්‌ අඹා එය ආතුරයා ළඟින් තබා පිරිත් හූය එහි ගැටගසා යාදිනි ගයා ආතුරයාට සෙත් පැතීම ද සිදු කරති. ඉන් අනතුරුව එළඹෙන්නේ මෙම කංකාරියේ නාට්‍යමය ලක්‍ෂණ බොහොමයක්‌ අඩංගු ජවනිකා කිහිපයකි. මෙම ජවනිකා ආතුරයාගේත් රැස්‌ව සිටින අයගේත් මානසික කායික සුවයට සරිලන පරිදි දෙපැත්ත කැපෙන වචන අවස්‌ථා හා සිද්ධි වලින් අනූන කිරීමට ඇඳුරෝ වගබලා ගනිති. අයිලේ බැලීම සුවිශේෂ ජවනිකාවකි.

ඇඳුරා - මොනවද කියාපං බලන්ඩ ඔය හොඳ කාම (කෑම)

ප්‍රධාන ඇඳුරා - "අපේ හොඳ කාම තමයි ඉප්පා, කප්පා, කපරගොයා, කොරලියා¥

අඩා සිංහලයා කුදා වදලා

"කුදාලා කොහොමද වදන්නේ. කුදියෝ මිස. කුදියෝ නම් වදාලා ඇති. කුදා වදලා නොවෙයි පුදා වඩලා"

කාමුක රාගික හැඟීම් ජනිත කරවීම, දරුවන් වැදීම ආදිය වාචික මෙන්ම ආංගික අභිනයෙන් ද රඟ දැක්‌වීම මෙහිදී සිදුවෙන සුවිශේෂ ජවනිකා වේ. මෙකී අවස්‌ථාවලදී ඉදිරිපත් කරන සංවාද, ජවනිකා, ආතුරයාගේත් සෙසු නරඹන්නන්ගේත් හාස්‍ය රසය ජනිත කරවන අතරම ඔවුන්ගේ නිද්‍රdශීලී ස්‌වභාවය ද තුරන් කෙරේ. මනෝ විද්‍යාත්මකව සලකන විට ආතුරයාට වැළඳී ඇති රෝග උපද්‍රව මෙන්ම මානසික ආතතිය තුරන් කිරීමේ බලයක්‌ ශක්‌තියක්‌ මේ මගින් උදාවන බව කවුරුත් පිළිගන්නා සත්‍යයකි.

අයිලේ බැලීමෙන් පසුව එළඹෙන්නේ උඩරට මෙන්ම පහතරට ශාන්තිකර්ම අතර කඩවරයක්‌ කංකාරියට පමණක්‌ ම සීමා වූ යක්‌කම් පෙළපාලි හතක්‌ (07) ක්‌ පිළිවෙළින් වේදිකාගත කිරීමයි.

1. කපු යක්‌කම, 2. පන් යක්‌කම, 3. බොරු යක්‌කම, 4 දරු යක්‌කම, 5 නයි යක්‌කම, 6. වැදි යක්‌කම, 7 මහ යක්‌කම යනුවෙන් ඒවා වේදිකාව මත දිග හැරේ. මෙකී සියලු යක්‌කම් කඩවර යක්‌කංකාරියටම ආවේණික වූ ජවනිකාවලින් අනූන කිරීමට අපේ කඩවර ඇඳුරෝ පොහොසත් වෙති. එමෙන්ම තංතිරියට, උඩැක්‌කියට, වීනාවට, කවි ගායනා කොට ඒ ඒ අංංශ වෙන වෙනම රඟ දැක්‌වීම ද විශේෂ ලක්‍ෂණයකි.

නොමළ දත්ත පිදේනිය/ මහ පිදේනිය/ දළ කඩවර පිදේනිය (- යක්‌කම් ජවනිකා වශයෙන් ඉදිරිපත් කොට අවසානයේදී දළ කඩවරට සකස්‌ කළ ගැබ් හැටකින් (60) සමන්විත වූ මෙම මහ පිදේනිය දළ කඩවර අස්‌න දිෂ්ටි මන්ත්‍ර ගායනා කොට සැරපරුෂ දළ කඩවරට වෙන් වූ අට කොණට සමයංදීම/ පැදුරේ දපා සමයං දීම හමාර කොට රීරි පුදා ආතුර නිවසේ සමීපයේ ඇතෙක්‌ උසට සකස්‌ කොට ඇති කුරාලය වෙත ගොස්‌ කුරාලයේ දපා පිදේනිය බඩ මත තබා දිෂ්ටි මන්ත්‍ර ගයා පිදේනිය කැප කොට දෙයි.

නොමළ දත්ත පිදේනිය/ මහ පිදේනිය/ කැපකොට දීමෙන් අනතුරුව ආරම්භයේ පටන් අවසාන මොහොත දක්‌වා වේදිකාවට ගෙන්වා ගත් සියලුම භෞතික සම්පත් වලට කවි ගායනා කොට කඩා ඉවත් කළ යුතුය. ඒ අනුව අයිලය කඩන්නට කවි කියා අයිලය කඩා ඉවත් කෙරේ.

මෙම එක්‌ එක්‌ ජවනිකා අවසානයේ ආතුරයාට ආවඩා "ආයුබෝවේවාෘ රෝග නිවාරණය වේවාෘ යි කියා සෙත් පැතීමට ඇදුරෝ කිසිසේත්ම අමතක නොකරති. හෝරා කිහිපයක්‌ තිස්‌සේ පවත්වන මෙම යක්‌කම් පෙළපාලි නාට්‍යමය ලක්‍ෂණවලින් පරිපූර්ණ වේ. උඩැක්‌කි තංතිරි වේණා වැයීම්වල අන්තර්ගත සංවාද මෙන්ම කවි ගායනා, කාමුක, රාගික හැඟීම් උද්දීපනය වන සේ රචනා වී ඇත. ඒවා යක්‌ කංකාරියෙන් අපේක්‍ෂිත මුඛ්‍යාර්ථය හා සෘජුවම බද්ධ වේ. කායිකව සිදුවන අබල දුබලතාවලට මානසිකව සිදුවන විපර්යාසයන් සෘජුවම බලපායි. දරුවන් නැතිවීමෙන් ආතුර මානසිකත්වයෙන් පසුවන කාන්තාවන්ට මෙමගින් සිදුවන්නේ සුවිශාල වූ අස්‌වැසිල්ලකි.

සභා ගැබේ සිටින යකැදුරන් සමඟ එකතුව සතුටින් සිනා මුසු මුහුණින් කල්ගත කරන ආතුර කාන්තාව තමන්ට මානසිකව කායිකව පවතින රෝග උපද්‍රවයන් අමතක කර දැමීම, තුරන් කර ගැනීම, අගය කළ යුතු අපේ අවධානයව යොමු කළ යුතු කරුණකි. තංතිරිවාදනය නම් වූ ජවනිකාව මේ සඳහා දිය හැකි කදිම නිදසුනකි. තංතිරියෙන් පයෝධරයන් සංකේතවත් වේ. පයෝධර කාන්තාවන්ට මෙන්ම පුරුෂයන්ට ද වින්දනයක්‌ ගෙන දෙන ප්‍රියජනක ශාරීරික අංගයකි.

"අඟනන් රඟ බැස පැන අතරායා

තනවන තනනම් රණ තිස රාය

විලසින් දනුයෙන් දෙවි අස රායා

ගී උන් මන්මත් කරවන රායා"

(මයුර සංදේශය - 61 පිටුව)

තංතිරිය අතට ගත් ප්‍රධාන ඇදුරා එය අතගාමින් පද්දමින් උඩ දමමින් ආතුර කාන්තාවට සමීප කරමින් පයෝධර ගැන කියෑවෙන කවි කියමින් මනරම් වූ නර්තනයක යෙදෙයි. හෝරා කිහිපයක්‌ ඇය ලබන වින්දනය දරුඵල ලබනු වස්‌ බෙහෙවින් ම හේතු සාධක වේ. ආතුර කාන්තාව දරුවකු ලැබීමට හැකි මානසික ශක්‍යතාවක්‌ ඇති කාන්තාවක්‌ බවට පත් කරවීම මෙහි එන සෑම යක්‌කම් පෙළපාලියකම මූලිකම අරමුණයි. එකී අරමුණ බෙහෙවින්ම සාර්ථක වන බව ශාන්තිකර්ම ගණනාවක්‌ සියෑසින් දුටු අපේ අදහසයි. දරු යක්‌කම, නයි යක්‌කම, පන් යක්‌කම මේ සඳහා දිය හැකි ප්‍රබල සාක්‍ෂියන් ය.

දරුඵල නැති කාන්තාවන්ට නූතන සමාජයේ අත්වන ඉරණම ගැන කල්පනා කරන විටත්, දරුඵල නැති කාන්තාවන්ගේ මානසිකත්වය ගැන සිතන විටත් මෙවන් ශාන්තිකර්ම තුළින් සිදුවන මානසික ශක්‌තිය මිල කළ නොහැකි බව සඳහන් කළ යුතුයව. දොස්‌ පරොස්‌ මැද කනස්‌සල්ලෙන් පසුවන ආතුර කාන්තාව දරු යක්‌කමේදී තම සුරතට දරුවකු ලැබීව, දරුවා නැලවීම, කිරි පෙවීම ඇය ලබන භාග්‍යයකි. දැන් ඇයට දරුවකු ලැබී ඇත. ඈ සතුටින් කවි ගීත ගයන්නේ එබැවිනි. මවක්‌ වීමෙන් ඇය ලබන සතුට ඇය මුළු සභා ගැබටම කෑ මොර දී පවසන්නීය.

මේ නයින් බලන විට ශාන්ති කර්ම හුදු විනෝදය සපයන සංදර්ශන පමණක්‌ නොව කායික මානසික රෝග සංසිදුවන ප්‍රබල ශක්‌තියක්‌ ඇති මහා ඔසුවක්‌ ලෙස සැලකීම වඩාත් සුදුසු වේ. උඩරට කඩවර යක්‌කංකාරිය ද උඩරට පමණක්‌ නොව සමස්‌ත ලාංකේය කාන්තා පරපුරේම මනදොළ පුරවාලිය හැකි මහෞෂධයක්‌ ලෙස නම් කළ හැකිය.

ආචාර්ය වසන්ත කේ. දිසානායක
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
මානව ශාස්‌ත්‍ර අධ්‍යයන අංශය,
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය,
මිහින්තලේ.

උපුටා ගැනීම :
දිවයින පුවත් පත ජනවාරි 5 2010

යක්කැනුම හෙවත් යක් ඇණවුම ගැන අසම්පූර්ණ ලියවිල්ලක්

Dec 30, 2009

2515906825_fd6ac06bfd

ගණපති දෙති නුවණ
මිහිකත රකිති මෙ දෙරණ
දෙන්නේ මට නුවණ
අසන් දෙවියනි දේව සුබ ගණ


කුඩා කොහොඹා, මහ කොහොඹා, කඩවර, කළුකුමාර තුන් කට්ටුවක්, කන්දේ පන්තිස් කට්ටුවක්, වීරමුඬ තුන් කට්ටුවක් ආදී යක්-දෙවි වරුන් ට ආඥාකිරීම, ඇණවීම, ආයාචනා කිරීම බරපතල කාරියකි. යක්කැනුම කොහොඹා කංකාරියේ අවසාන දිනයේ මුල්ම නැටුම් අංගයයි. යද්දෙස්සන්, බෙරකරුවන් පිරිවරා නටන්නේ යක්කුන්ට ආඥා ආරාධනා කිරීමටයි.
අතකින් පොල් පන්දමත්, අතකින් ඊ ගසත් රැගත් රූ යද්දෙස්සන් මහා සම්මත ඇඳුමින් සැරසී මහළු පිළිවෙලින් පැමිණ තනි පදයක් විවිධ වර්ණයන්ගෙන් පුරමින් පුරමින් නැටීම එකම ප්‍රසංගයකි.
යක්කැනුම විස්තර කළ නොහැකි නර්තන අංගයකි. එහි විචිත්රත්වය 'වෙබ්' පිටුවක පෙන්විය නොහැකිය. සිනමාවේ ශ්‍රේෂ්ඨත්වය වන්නේ එයින් මිනිසුන් පමණක් නොව සොබාදහමේ අසීමිත බව ද පෙන්විය හැකි නිසා බව කවුරුන් හෝ ලියා ඇත. මට කංකාරිය අසීමිත වන්නේ එය කිසිදු සංස්කරණ රීතියකින් සංස්කරණය කළ නොහැකි නිසා ය.
කංකාරි මඩුවේ දෙපස පේලි දෙකකට සෑදෙන නැට්ටුවන් ගෙන්, එකවර හැරෙන සිරස්පත්, සිලම්බු, පොල්පන්දම් එළිය කෙසේ නම් සංස්කරණය කරන්නද? රාත්‍රියේ ප්‍රථම භාගයේ නටන යක්කැනුම උඩරට නැටුමේ උදාර විචිත්රත්වය විදහාපායි. එහි කථකලි නෑකම ක් ඇත්දැයි ඉඟි කරයි.

යක්කැනුම;
කුංත ගත ගත, කුංත ගත ගත, කුංත ගත ගත ගජිත ගත දොං
කුකුඳ ගත ගත, කුකුඳ ගත ගත, කුකුඳ ගත ගත, ගජිත ගත දොං
කුංත ගත කුඳ ගජිත ගත දොං
කුකුඳ ගත කුඳ ගජිත ගත දොං
කුංත ගත දොං
කුකුඳ ගත දොං
ගත කුංතක තරිකිට කුංත කුංත ජිං
තකුං තකුං ගජ්ජිං ජිං

ආදී වශයෙන් වන ආලත්ති පදයෙන්, විලම්භ ලයෙන් ඇරඹෙයි.
යක්කැනුමේ ආරම්භය ‘කුකුඳ ගජිජ් තකුඳ ගජිං’ පදයෙන් සමබරව වමටත් දකුණටත් වර්ධනය කරමින් නටයි. නැටුමේ විවිධ අවධි වල ‘ජෙහෙකඩ තහකඩ’ තාලයට සිලම්බුව නාද කරවමින් තනි පයින් දෙපසට විහිදුනු යුගතින් රාජාලි ඉරියව්වෙන් නටන රූ යද්දෙස්සන් තෙජස්වී දර්ශනයකි.
මුළු නැටුම පුරාවට විවිධ අලංකාර, හෝ තනි නැට්ටුවන් 'ඕඩියට පුරා' එක් වට්ටම් දෙවට්ටම් තුන් වට්ටම් ආදි වශයෙන් දක්වන ශිල්ප නැවත ‘තරිකිට කුකුඳ ගජිං’ චක්රයට ප්‍රවිශ්ඨ වීම බලන්න අපූරු ය.
යක්කැනුම උඩරට නැටුමේ ශුද්ධ මාත්‍රාවයි. ශුද්ධ මාත්‍රාව සේම යක්කැනුමද නෘත්යාන්තර මූලික සම්භාව්ය ලක්ෂණ විදහා පායි. වෙස් බැන්ද ද යක්කැනුමක් නටන තෙක් උඩරට නැට්ටුවෙක් පූර්ණ නැට්ටුවෙක් නොවේ.
පොල්පන්දමෙන් සජ්ජිතව, සමලංකෘතව නටන අනෙක් නැටුම 'අති ශාස්ත්‍රීය' යන පදයෙන් පමණක් හැඳින් විය හැකි අස්නෙ නැටුමයි. කුවේණි අස්නයි.

අසන් දෙවි යන්නේ
නාමය මම කියන්නේ
වරද නොම ගන්නේ
සියළු වරදට සමා වන්නේ

මංගලම් ජය සිරි මංගලම් . . . . !

Dec 24, 2009

dance

ඉහත "තුන්පත් රටා වනාහි" හි සඳහන් පරිදි ශ්‍රී ලාංකික අපට ලෝකයේ කිසිම සංස්කෘතියකට නොදෙවෙනි වූ සාඩම්බර සංස්කෘතියක් සතුවීම මිල කළ නොහැකි භාග්‍යයක්. අපටම ආවේනික නැටුම, ජන සංගීතය, කැටයම් කලාව, මූර්ති ශිල්පය, චිත්‍ර කලාව, වාරිමාර්ග කලාව, ජ්‍යොතිෂ කලාව ඈ නොයෙක් කලාවන් අතර නැටුමට හා ජන සංගීතයට හිමිවන්නේ මූලික ස්ථානයක් . . .

ලාංකික නැටුම් කලාව මූලිකවම උඩරට, පහතරට හා සබරගමු යන නැටුම් කාණ්ඩ වලට බෙදා දැක්විය හැකියි. වන්නම්, ශාන්තිකර්ම, අශීර්වාද, ප්‍රශස්ති ආදී නොයෙක් වර්ගයේ නැටුම් මේ මූලික නැටුම් කලාවන් තුනේම ගැබ්වී තිබෙන බව ඒවා සියුම්ව හදාරන විට අපට නිතැතින්ම වැටහී යනු නිසැකයි.

මීට අමතරව වැඩවසම් සමාජයේ පරිපාලනයේ පහසුවට එක් එක් ජන කොටස් එක් එක් කාර්යයන් සඳහා බෙදා වෙන් කිරීමේදී ඒ ඒ ජන කොටස් වල ඒ ඒ කාර්යයන් ඇසුරින් දෛනික රාජකාරී දිවියේ කාන්සිය පාළුව මඟ හරවා ගැනීමටත් සාමූහිකත්වය රඳවා තබා ගැනීමටත් ඔවුන්ගේ හදවතින් ම උපන් ජන ගීතය හා ජන නැටුම, සුවහසක් කලාකාමීන්ගේ හදවත් අතීත ශ්‍රී විභූතියක සාඩම්බරයෙනුත් අතීත මුතුන් මිත්තන්ගේ කලාකාමී ජීවන රටාව කෙරෙහි උපන් සංතුෂ්ටියකිනුත් පුරවාලනු ලබන බව කිව මනාද?

බ්ලොග් අඩවියේ හඳුන්වාදීමේ පාඨයේ සඳහන් කර ඇති පරිදි වර්තමාන සමාජයේ තොරතුරු තාක්ෂණයට හා කාර්මීකරණයට හසුව අපේ කලාවේ අක්මුල් සෝදාපාලු වී යාමේ මේ ඛේදාන්තයෙන් අපේ ඒ උදාර කලාවන් රැකගැනීම නම්වූ සද්කාර්යය හෙවත් උඩුගම් බලා පිහිනීමේ කර්තව්‍යයට පිවිසුමක් ලබා ගැනීමට නැතහොත් ඒ සද්කාර්යයට ආශීර්වාද ලබා ගනු වස් උඩරට නැටුම් කලාවේ එන ආශීර්වාද නැටුමක් වූ " මංගලම් " නැටුමෙන් මේ බ්ලොග් අඩවිය කල-එළි දැක්වීම යෙහෙකැයි අප සිතුවා.

උඩරට නැටුම් කලාව සම්බන්ධ වන බොහෝ කාරියන් හි මූලාරම්භය මංගලම් නැටුමෙන් අරඹන බව මා අසා ඇති කරුණක්. මහන්සියෙන් නැටුම් කලාව ප්‍රගුණ කළ කලාකාරයෙකුගේ කල එළි මංගල්‍යය හෙවත් වෙස් මංගල්‍යය අවස්ථාවේදී වෙස් බැඳීමෙන් පසු ඔහුගේ පළමු නැටුම මංගලම් විය යුතු බව මගේ උපකල්පනයයි (පාඨකයෝ මගේ අනුමානයේ වැරදි නිවැරදි භාවය සහතික කරනු ලබත්වා). තවදුරටත් පෙරහැර මංගල්‍යයේ ආරම්භය හෙවත් කප් සිටුවීමේ මංගල්‍යය ආදී සියලුම මංගල කටයුතු මංගලම් නැටුමෙන් අරඹනවා ඇතැයි මගේ අනුමානයයි.


තානම
තම්ද නා ම් දන . . . .
තන තා නා ම් දන . . .
තා නේ නා ම් දන . .. .
තා නේ නා . . ..
ආ . . ආ . . . ආ . . .
තතන තන තාම් . . .
දන තා නාම් දන
තානේ නාම් දන . ..
තානේ නා . ..
ආ . . ආ . . . ආ . . .

කවිය
මංගලාම් ජය . . . ///
මංගලාම්
ආ . . ආ. ආ . .
මංගලාම් සිරි . . ///
මංගලාම්
ආ . . ආ. ආ . .
මංගලාම් සුභ . . . ///
මංගලාම්
ආ . . ආ. ආ . .
මංගලාම් වේ
සබයේ සැමහට
වේවා ජය සිරි
මංගලාම්
ආ . . ආ. ආ . .

බුද්ධ රාජායා
වැන්දේ පළමුව
දෙවෙනූ සද්ධර්මය
වඳීම්
ආ . ආ . ආ
තෙවෙනූ සාංඝා
රත්නේ වැඳලා
ගත්තූ තිසරණ
අත් මුදූන්


මංගලම් නැටුමේත් සාමාන්‍ය උඩරට සම්ප්‍රදායේ වන්නමක මෙන් තානමට කවියට පසු කස්තිරමක් සීරුමාරුවක් හා අඩව්වකින් සමන්විත වුවත් මේ මොහොතේදී ඒවායේ පද සොයා ගැනීම අපහසු වූ බැවින් පසු අවස්ථාවක ඒවා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වනවා.

නැටුම් අංගය සඳහා ඇති කාල වේලා අනුව ඒ ඒ අවස්ථාවන් හිදී සම්පූර්ණ කවියම ගායනා කිරීම හෝ කවියේ කොටසක් ගායනා කිරීම තීරණය කෙරෙනවා.

පහත එකතු කර ඇති වීඩියෝ පටයට අනුව ඒ ශිල්පිනිය කවියේ දෙවෙනි පදය පමණක් නැටුම සඳහා උපකාර කරගෙන තිබෙන බවක් ඔබට දැක ගත හැකියි.





මේ පහළින් එකතු කර ඇති වීඩියෝ පටය මංගලම් නැටුමේ කවි දෙකක් ගායනා කරමින් ශිල්පියෙකු සහ ශිල්පිනියක විසින් රඟ දක්වනු ලබන නැටුමක්.




නැටුමට හිතැත්තන් මිස නැටුම් ශිල්පීන් නොවන අප විසින් ලියන ලද මේ ලිපියේ අන්තර්ගතයේ අඩුපාඩු, වැරදි ඇති නම් පාඨක ඔබ විසින් ඒවා අප වෙත දන්වා අප දැනුවත් කරනු ඇතැයි අපි උදක්ම බලාපොරොත්තු වෙමු.


ලිව්වේ : සුභාෂ් සහ නදීෂා
විශේෂ ස්තූතිය: නිසංසලා රාජපක්ෂ ගුරු මහත්මියට