මංගලම් ජය සිරි මංගලම් . . . . !

Dec 24, 2009

dance

ඉහත "තුන්පත් රටා වනාහි" හි සඳහන් පරිදි ශ්‍රී ලාංකික අපට ලෝකයේ කිසිම සංස්කෘතියකට නොදෙවෙනි වූ සාඩම්බර සංස්කෘතියක් සතුවීම මිල කළ නොහැකි භාග්‍යයක්. අපටම ආවේනික නැටුම, ජන සංගීතය, කැටයම් කලාව, මූර්ති ශිල්පය, චිත්‍ර කලාව, වාරිමාර්ග කලාව, ජ්‍යොතිෂ කලාව ඈ නොයෙක් කලාවන් අතර නැටුමට හා ජන සංගීතයට හිමිවන්නේ මූලික ස්ථානයක් . . .

ලාංකික නැටුම් කලාව මූලිකවම උඩරට, පහතරට හා සබරගමු යන නැටුම් කාණ්ඩ වලට බෙදා දැක්විය හැකියි. වන්නම්, ශාන්තිකර්ම, අශීර්වාද, ප්‍රශස්ති ආදී නොයෙක් වර්ගයේ නැටුම් මේ මූලික නැටුම් කලාවන් තුනේම ගැබ්වී තිබෙන බව ඒවා සියුම්ව හදාරන විට අපට නිතැතින්ම වැටහී යනු නිසැකයි.

මීට අමතරව වැඩවසම් සමාජයේ පරිපාලනයේ පහසුවට එක් එක් ජන කොටස් එක් එක් කාර්යයන් සඳහා බෙදා වෙන් කිරීමේදී ඒ ඒ ජන කොටස් වල ඒ ඒ කාර්යයන් ඇසුරින් දෛනික රාජකාරී දිවියේ කාන්සිය පාළුව මඟ හරවා ගැනීමටත් සාමූහිකත්වය රඳවා තබා ගැනීමටත් ඔවුන්ගේ හදවතින් ම උපන් ජන ගීතය හා ජන නැටුම, සුවහසක් කලාකාමීන්ගේ හදවත් අතීත ශ්‍රී විභූතියක සාඩම්බරයෙනුත් අතීත මුතුන් මිත්තන්ගේ කලාකාමී ජීවන රටාව කෙරෙහි උපන් සංතුෂ්ටියකිනුත් පුරවාලනු ලබන බව කිව මනාද?

බ්ලොග් අඩවියේ හඳුන්වාදීමේ පාඨයේ සඳහන් කර ඇති පරිදි වර්තමාන සමාජයේ තොරතුරු තාක්ෂණයට හා කාර්මීකරණයට හසුව අපේ කලාවේ අක්මුල් සෝදාපාලු වී යාමේ මේ ඛේදාන්තයෙන් අපේ ඒ උදාර කලාවන් රැකගැනීම නම්වූ සද්කාර්යය හෙවත් උඩුගම් බලා පිහිනීමේ කර්තව්‍යයට පිවිසුමක් ලබා ගැනීමට නැතහොත් ඒ සද්කාර්යයට ආශීර්වාද ලබා ගනු වස් උඩරට නැටුම් කලාවේ එන ආශීර්වාද නැටුමක් වූ " මංගලම් " නැටුමෙන් මේ බ්ලොග් අඩවිය කල-එළි දැක්වීම යෙහෙකැයි අප සිතුවා.

උඩරට නැටුම් කලාව සම්බන්ධ වන බොහෝ කාරියන් හි මූලාරම්භය මංගලම් නැටුමෙන් අරඹන බව මා අසා ඇති කරුණක්. මහන්සියෙන් නැටුම් කලාව ප්‍රගුණ කළ කලාකාරයෙකුගේ කල එළි මංගල්‍යය හෙවත් වෙස් මංගල්‍යය අවස්ථාවේදී වෙස් බැඳීමෙන් පසු ඔහුගේ පළමු නැටුම මංගලම් විය යුතු බව මගේ උපකල්පනයයි (පාඨකයෝ මගේ අනුමානයේ වැරදි නිවැරදි භාවය සහතික කරනු ලබත්වා). තවදුරටත් පෙරහැර මංගල්‍යයේ ආරම්භය හෙවත් කප් සිටුවීමේ මංගල්‍යය ආදී සියලුම මංගල කටයුතු මංගලම් නැටුමෙන් අරඹනවා ඇතැයි මගේ අනුමානයයි.


තානම
තම්ද නා ම් දන . . . .
තන තා නා ම් දන . . .
තා නේ නා ම් දන . .. .
තා නේ නා . . ..
ආ . . ආ . . . ආ . . .
තතන තන තාම් . . .
දන තා නාම් දන
තානේ නාම් දන . ..
තානේ නා . ..
ආ . . ආ . . . ආ . . .

කවිය
මංගලාම් ජය . . . ///
මංගලාම්
ආ . . ආ. ආ . .
මංගලාම් සිරි . . ///
මංගලාම්
ආ . . ආ. ආ . .
මංගලාම් සුභ . . . ///
මංගලාම්
ආ . . ආ. ආ . .
මංගලාම් වේ
සබයේ සැමහට
වේවා ජය සිරි
මංගලාම්
ආ . . ආ. ආ . .

බුද්ධ රාජායා
වැන්දේ පළමුව
දෙවෙනූ සද්ධර්මය
වඳීම්
ආ . ආ . ආ
තෙවෙනූ සාංඝා
රත්නේ වැඳලා
ගත්තූ තිසරණ
අත් මුදූන්


මංගලම් නැටුමේත් සාමාන්‍ය උඩරට සම්ප්‍රදායේ වන්නමක මෙන් තානමට කවියට පසු කස්තිරමක් සීරුමාරුවක් හා අඩව්වකින් සමන්විත වුවත් මේ මොහොතේදී ඒවායේ පද සොයා ගැනීම අපහසු වූ බැවින් පසු අවස්ථාවක ඒවා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වනවා.

නැටුම් අංගය සඳහා ඇති කාල වේලා අනුව ඒ ඒ අවස්ථාවන් හිදී සම්පූර්ණ කවියම ගායනා කිරීම හෝ කවියේ කොටසක් ගායනා කිරීම තීරණය කෙරෙනවා.

පහත එකතු කර ඇති වීඩියෝ පටයට අනුව ඒ ශිල්පිනිය කවියේ දෙවෙනි පදය පමණක් නැටුම සඳහා උපකාර කරගෙන තිබෙන බවක් ඔබට දැක ගත හැකියි.





මේ පහළින් එකතු කර ඇති වීඩියෝ පටය මංගලම් නැටුමේ කවි දෙකක් ගායනා කරමින් ශිල්පියෙකු සහ ශිල්පිනියක විසින් රඟ දක්වනු ලබන නැටුමක්.




නැටුමට හිතැත්තන් මිස නැටුම් ශිල්පීන් නොවන අප විසින් ලියන ලද මේ ලිපියේ අන්තර්ගතයේ අඩුපාඩු, වැරදි ඇති නම් පාඨක ඔබ විසින් ඒවා අප වෙත දන්වා අප දැනුවත් කරනු ඇතැයි අපි උදක්ම බලාපොරොත්තු වෙමු.


ලිව්වේ : සුභාෂ් සහ නදීෂා
විශේෂ ස්තූතිය: නිසංසලා රාජපක්ෂ ගුරු මහත්මියට

12 ක් ප්‍රතිචාර දක්වා ඇත.:

Lishan Puwakovitage said...

හෙළ කලා කෙතේ විභූතිය කෙහෙලි නංවන්නට.., අනාගතයට ඉතුරු කර තබාලන්න ට සැරසෙන මේ සද්කාර්යයේ මූලාරම්භයට මගෙන් සභ පැතුම්..!
ජයෙන් ජය ම පතනවා.

සචී said...

නමෝ විත්තියෙන් ම ජය මංගලම්. ජය මංගලම්!!

ත‍රිඳු said...

පොඩි දෙයක් එකතු කරන්නම්. ගොඩක් වෙලාවට නැටුම පටන් ගන්න කලින් මේ සිලෝව ගායනා කරනවා.

ශර්වප්‍ර ශාස්ත්‍රා කෘත ඊශ්වරානී
සුර විශ්ව රඤ්ඤා සුර සුන්දරානි
සුර නෘත්‍ය ගීතා සුරංගනානි
හර ශස්තෘ දෝෂා ජයමංගලානි

malee_msg said...

මේ වගේ වැඩක් පටන් ගන්න මීට වඩා හොද දෙයක් තියෙයිද? ‍ඉස්සර නම් පාසැලක කළා උළෙලක් පටන් ගන්නත් මේ නර්තන අංගයෙන්.. දැන් කොහොමද කියලා නම් දන්නේ නැහැ.. කොහොම උනත් මේ වැඩේට දායක වෙන හැම දෙනාටම සුභ පැතුම්.. !!!

Narada said...

ආ වඩා ආයුබෝ වේවා....!
නමෝ විත්තියෙන් තෙරුවන් සරණේ අනුභාවයෙන් මේ මහඟු කාර්්‍යය සාර්ථික වේවා!!!

මංගලම් නර්තනයට වඩා බෙර වාදනයට තමා මම පෞද්ගලිකවම කැමැති. :)

Akkandi said...

චිරං ජයතු මේ තුන්පත් රටා බ්ලොගේ!
නැණින් පුබුදුවන් යෞවන පිරිස අගේ
දුරින් දුරට මොහඳුරු දුරුකර සැමගේ
තෙදින් රුවින් සයිබර් නුබ ගැබ වොරැඳේ!

මේ අර්ථවත් බ්ලොගයට දායක කාරක වූ සැම දෙනටම මගේ ශීර්ෂ ප්‍රණාමය!

නදීෂා said...

නැටුම් මුලින්ම ඉගෙන ගන්නා ආධුනිකයා පා සරඹ 12, ගොඩ සරඹ 12 හොදින් ප්‍රගුණ කිරීමෙන් පසු ඉගෙන ගන්නා මුල්ම නැටුම "මංගලම් නැටුම " වේ.
ත්‍රිවිධ රත්නයෙන් හා ගුරුතුමාගෙන් ආශිර්වාදය ලබා ගැනීම සඳහා මෙම නැටුම මුලින්ම නටනු ලැබේ.
එමෙන්ම කල එලි මංගල්‍යයේදී ද මුලින්ම රඟ දක්වනුයේද මංගලම් නැටුම වේ.
තුන්සුළු දෙමහ පස් තිතට අනුව නටන මෙම නැටුම ප්‍රගුණ කිරීමෙන් පසු ඕනෑම මාත්‍රාවකට තාලයකට අනුව එම ශිල්පියාට උඩරට නැටුම් කලාවේ තම දක්ෂතා රඟ දැක්වීමට හැකියාවක් ඇතිවේ.
මෙම නැටුමේ සීරුමාරුවක් හා අඩවුවක් නොමැත.

බෙර පදය:- දොම් තක දොම් ජිං තක ජිජි ගත

කස්තිරම:- තජ්ජිං තක් ජිං තක තරිකිට
ගජ්ජිං කුදං ජිං තක තරිකිට
ගත ගොගො තක ජිං තක තරිකිට
ගත කුද කුද තජ්ජිත් තොන්නං තා

මෙම විස්තර ලබා දුන් මහනුවර ඇසල මහ පෙරහැරේ වසර ගනණාවක් දක්ශතම නැටුම් ෂිල්පියා ලෙස සම්මානලාභී පීටර් සුරසේන ගුරුතුමාට මගේ විශේෂ ස්තුතිය !

Unknown said...

බොහොමත්ම සතුටුයි... සුභ කටයුත්තක ආරම්භය මේ ආකාරයෙන් සටහන්වීම ගැන බොහොමත්ම සතුටුයි.
ජය!

Samara said...

සතුටුයි. සඳ කිඳුරු නාඩගමේ ගායනාවක් කවුරු හරි ඉදිරිපත් කරන්නකො.

ආගන්තුකයා | Stranger said...

මම දන්න හැටිය වෙස් බැඳීම ‍සිද්ධ වෙන්නෙ උඩරට නෙව.. දැන්නම් මම වැඩ්පුර දැකල තියෙන්නෙ සරස්වතී අභිනන්දනය.. මංගලම් නැටුම නම් වැඩ්පුර දකින්න නෑ..

හෂිත said...

මංගලම් නැටුම පටන් ගන්නකොට සරස්වතී ශ්ලෝකයක් කියනවා. සමහර එවා තාමත් කණේ කීං ගානවා.

Suravi said...

ත‍රිඳු Do you have an English translation of the Sanskrit text? I have no knowledge of Sanskrit and my Sinhalese is poor...

සර්වප්‍ර ශාස්ත්‍රා - කෘත ඊශ්වරා - නී
සුර විශ්ව රඤ්ඤා - සුර සුන්දරා - නී
සුර නෘත්‍ය ගීතා - සුරාංගනා - නී
හර ශාස්තෘ දෝෂා - ජය මංගලා - නී

Thanks.

Post a Comment