හෙළ ගැමියාගේ සරතැස සිඳවූ තේරවිලි කවි

Apr 11, 2010

cow


අතීත පැරණි සිංහල ගැමියාගේ දිවිපෙවෙත ඉතාම සංසුන් ව ගලා ගිය එකක්. ග්‍රාමීය විරුවන් ගැන කතන්දර, බණකතා, කවි ඒ ජීවිතයේ තනිකම විඩාව නිවන්න ට යොදාගත් උපකරණ විය. ඒ අතර කවිය යන සංකල්පයට ඉහළ තැනක් හිමිවිය.පැල් කවි, ගොයම් කවි, නෙළුම් කවි, කරත්ත කවි, පාරු කවි, පතල් කවි ඉන් සමහරෙකි. මීට අමතරව ඉතා අපූරු ආශ්වාදයක් ගෙන දුන් කාව්‍යාංගයක් ලෙස තේරවිලි කවි ගැමි සාහිත්‍යයේ ප්‍රකට ව ඇත.
දවසේ කටයුතු අහවර කර සැන්දැ යාමයේ අම්බලමක එක් රැස් වී හෝ රාත්‍රී අහර කිස අඹු දරුවන් හා අසල් වැසියන් සමඟ සැහැල්ලුවෙන් ගත කරන මොහොතේ ගැමියන් විනෝදාස්වාදය ලැබුවේ මේ අන්දමේ තේරවිලි කවි කියා ඒවා විසඳීමෙනි. එහි ඇති වදන් වල අර්ථ සෙවීමට යාමෙන් ගැමියන් හට විනෝදය පමණක් නොව බුද්ධිය ද ලැබිණ.
තමා ජීවත් වන අවට පරිසරයේ දී පිරික්සා ලබන බොහෝ අත්දැකීම් මේ සාහිත්‍යාංගයට එකතු කරගෙන ඇත. සතා සීපාවා හා ජීවනය කරන ගැමියා උනගේ ක්‍රියාවලීන් ද කවියට නැගුවේ අපූරු රසයක් ඒතුල සඟවා ය.


ටිං ටිං ගාන්නා තෝරා එවාපන්
ටං ටං ගාන්නා තෝරා එවාපන්
මඟ වැලි පිසින්නා තෝරා එවාපන්
දෙගම්බඩ රජා තෝරා එවාපන්


ඉහත කවියට දෙන පිළිතුර මෙසේයි..


ටිං ටිං ගාන්නා ලේනා නොවේදෝ
ටංටං ගාන්නා ගෝනා නොවේදෝ
මඟවැලි පිසින්නා කුකුලා නොවේදෝ
දෙගම්බඩ රජා කිඹුලා නොවේදෝ


එදිනෙදා නෙත ගැටෙන දේවක් ගැන ගොතන ලද තේරවිලි කවි ද වේ. අන්නාසි ගෙඩිය ගන වූ තේරවිල්ලක් මෙසේ ය.


කටුවා නෙත් කෙටුවා වැනි කොලේ සැටී
රතු නූලෙන් ගෙතුවා වැනි මලේ සැටී
තුන්මස පිරෙන්විට කුකුලෙක් විතර ඇති
මෙතුන් පදේ තේරූ අය නුවණ ඇතී


රා මදින ගැමියෙකු කිතුල් මලකට බේත් තබා වෙලා මල කැපීය. එයින් වැස්සුන තෙලිදිය එකතු කරනු දුටු ගැමියෙකු විසින් මේ සිද්ධිය මුල් කර ගෙතූ තේරවිල්ල මෙසේය.


ලෙඩක් නැතුව බේතක් කවනවා දුටින්
වරදක් නැතුව අල්ලා බඳිනවා දුටින්
දුකක් නැතුව නිතරම අඬනවා දුටින්
කලයක් අරන් ජලයක් මනිනවා දුටින්


පැරණි සිංහලයන්ගේ ප්‍රධාන ජීවනෝපාය වූයේ ගොවිතැනයි. එහිදී අස්වැන්න නෙලන්නට යොදාගන්නා දැකැත්තට ගොතා ඇති තේරවිලි කවියක් මෙසේය.


වක්ක ගසාගෙන එක බඩලාගෙන තුඩෙන් ගොදුරමයි විමසෙන්නේ
බඩ මැද කට ඇත දත් ගණනක් නැත කැවට ඒ බඩ නොපිරෙන්නේ
ඇසුරට විලි නැත වදන කෙනෙක් නැත කුස මිට සැඟවීලයි ඉන්නේ
සන්තේ ඇද නැත කීමට බොරු නැත තෝරනවයි මේ පදයන්නේ


මේ පහත සඳහන් කවිය ගොයම් ගස මුල් කර පබැඳ ඇත.


ගසට නමකි ගස මැරුනම වෙන නමකි
ගෙඩියට නමකි ගෙඩියේ සුඹුලට නමකී
මදට නමකි මද කනකොට වෙන නමකී
මෙතුන් පදේ තෝරාලා එවන් සකී


ඉහත තේරවිල්ලට පිළිතුරු කවිය මෙසේ ය.


ගසට ගොයම් ගස මැරුණම පිදුරු ගස
පලට වී පලය සුඹුලට කියන නම
සාලැට වසා සිටි කුඩු දහයියා රැස
මදට හාල් නමි බුදිනා බත්ය රස


මී කැඩීම හා මී වද ගැන සැම ගැමියෙකුම දැන සිටියද මී බැඳීම හා ඒය කැඩීම ගැන කියැවෙන මෙවැනි කවි විසඳීමට ඔවුන් ද අපොහොසත් වූවාට කිසිතු සැකය නැත. ඒවා එතරම් සංකීර්ණ ය.


කැලේ සිටන් මහ සෙනඟක් ඇවිදින්
ගලෙන් කොටුව බැඳගෙන සිටිතී
බලේ සමත්කම් ඇති අය ඇවිදින්
මරාදමා බඩු අරන් යතී
කලේ අනඬුවයි බඩු මොකවත් නැත
කැමට නිසිදේ අරන් යතී
මලේ මේක තෝරා බැලුවෝතින්
මිහිරිදේකි කවුරුත් කැමතී


පැරණි හෙළැ නිවෙස් වල වේලාව බැලීමට අද මෙන් හෝරා යන්ත්‍ර තිබුනේ නැති. ඒවෙනුවට තිබුනේ පැ තැටිය නම් උපකරණයකි. වතුර කොරහක ඉඳිකටුවකින් විදින ලද සිදුරකින් පැ තැටිය පිරෙන්නට යාමට ගතවන කාලය පැයක් මෙස ගණන් බැලීය. පැ තැටිය ගැන පබැඳූ කවක් මෙසේ ය.


ගෙයක් තනාලා පැ මැටි ගාලා - පැය පිට ගේකයි සනසෙන්නේ
එලියට එන්නට ඒදඬු සදලා - මයියමකට බැමි බැඳ ගන්නේ
ජලය සදාලා ජල පුරවාලා - ජලයෙන් ළමයෙකු බිහිවෙන්නේ
සබේ සිටින ලොකු කුඩා මහත් අය - තෝරනවයි මේ පද සන්නේ


සමහර කවි ගායනාවටද අපූරුය. ඇත්තේද අමූතුම රසයකි. අතීත ගැමියන් හා ගැමිකම සමඟම නිතොර කියැවෙන දෙයකි බුලත් විට.., පහත ඇත්තේ දිගවිරිතෙන් යුතුව ගැයෙන කවියෙකි.


ගහෙන් වැටිලා හතරට පැලිලා ඔහේ එක මිනිහෙක් දොයි
නාග ලොවින් ආ කලු වැදි සාමී බොටුව කඩාගෙන කයි
ගින්නක් දාලා වැස්සට තෙමිලා තව එක මිනිහෙක් ගෙයි
මෙකී මෙතුන් දෙස සමගි කරන්නට මැරිච්ච මිනිහෙක් ගෙයි


එයට අදාල පිළිතුර කවියට වඩා රසවත් බව මගේ හැඟීමයි.


රබ්බඩ පුවකේ නැට්ට කඩාලා හතරට ඉරු කරතෙයි
තෙතෙයි තෙයි හතරට ඉරු කරතෙයි
වෙත්තිල බුලතේ නැට්ට කඩාලා සුනම්බු ගාතෙයි
තෙතෙයි තෙයි සුනම්බු ගාතෙයි
දී කොට නැන්දට මස්සක් දීලා දුම්කොල ඉල්ලා තෙයි
තෙතෙයි තෙයි දුම්කොට ඉල්ලා තෙයි
පිත්තල පෙත්තක් දත මුල ගහගෙන පහතට දත නියතෙයි
තෙතෙයි තෙයි පහතට දත නියතෙයි


අදහස් පෙරලා මෙන්ම අකුරු මාරු කරමින්ද අතීත ගැමියන් කවි තැනූහ. පහත ඇත්තේ එවැන්නකි.


මොණර නරක් කැලි වකුලක් කලක් වෙතේ
හා මිරකෙක් වට කොලිගෙන ඉඩ මිසිතේ
ගොටලු බනෙක් මා රතයෙන් දුන පැවතේ
වුකි නතත් ගොල තයියා නොණ නැකතේ


ඉහත කව නිවැරදිව පද පෙරළා ගත් විට මේ අයුරු ය.


රණ මොණරෙක් වලි කුකුලෙක් වෙලක කතේ
මී හරකෙක් කොට වලිගෙන් මඩ ඉසිතේ
බැටලු හොනෙක් රා මතයෙන් පැනදුවතේ
නාකි වුනත් තලගොයියා තණ නොකතේ


අග මුල පෙරැලි ලෙසින් තවත් කවි විශේෂයක් වෙයි. ඒහිදී මුල එක පදයකුත් අග එක පදයකුත් පද පෙරලා කීම මෙහි ඇති විශේෂත්වය වේ.


පහත ඇත්තේ මුල් පදය පෙරලා ඇති කවියකි.


රාළහාමී ගේ බාලට ගමිය කියා
බලහාමිගේ රාළක් ඔන්න ගියා


පාරුවේ පුවක් පටවා ගෙන යන කලට
පූරුවේ පවක් පලදුනු පෙරලී ගඟට


මේ ඇත්තේ අග පදය පෙරැලී ඇති කවෙකි.


ඇහුව කලට කොහිද වත්තල පිංගෙඩිය
යුහුව කෙනෙක් දුනි පිත්තල වංගෙඩිය


මිලී ඇසුව කල අම්මා මන්ද නිදී
ලිලී පැවසුවා උන්දැට නින්ද මදී


ඒ සාමාන්‍ය ජන ජීවිතයයි. අතීත ප්‍රභූන් පවා අන්‍යනට නොතේරෙන අයුරින් සිය අවැසිතා මේ අයුරේ කවි වලින් ඉටු කරගත් බවට සාධක ඉතිහාසය සතුව ඇත. ආහාර පාන නොමැතිව අසරණ ව සිටි වීදාගම හිමියන් තම හිතවන්ත තොටගමුවේ හිමියන්ට තම අඟහිඟ කම් ලියා යැව්වේ පහත සඳහන් තේරවිලි කවියෙනි.


යනු නැතිවෙලා බොහෝකල් අප ට
යනු නැතිවේවී අල් අකුරු දොලහ ට
මි යනු සිද්ද වෙයි සිහි නොකලොත් අප ට
යනු ළඟ අකුරු ඉස්පිලි එවන් ම ට


මේ හසුන ලද සැනින් තොටගමුවේ හිමි වී එවීමට ගොන් බැඳි කරත්තයක් එවන මෙන් ලියා එව්වේ මේ ලෙසය.


පතල කර මිතුර මං කී මැසිවිල්ල
අතර මං උනේ අවුරුදු මංගල්ල
නිතර මස් දෙන්න විදිනා වැදි ගොල්ල
හතර කුර එවපන් මම දෙමි ඉස්පිල්ල


අතීතය එතරම්ම ම රසවත් ය. ඒ මෙවැනි ජනකලා අංගෝපාංග නිසා ය. මේ ලියමනේ මූලික අරමුණ මෙවැනි සාහිත්‍යාංග සයිබරය තුල සුරැකීම නිසා.., මේ ලියමන කියවන ඔබ ළඟත් විවිධ තේරවිලි කවි ඇති නම්.., කරණාකර අදහසක් ලෙස ගලපා දමා යාමට අමතක නොකරන්න. ඉන් ඔබේ සිත පමණක් නොව අනාගතයට මේ කවි ඉතිරි වීම ට මනා පිටුවහලක් වන නිසා වෙනි.


ලිව්වේ: LishWish.


විශේෂ ස්තුතිය : කොළබේරුවේ සෝමරත්න මහතාට.


අතිරේක මූලයන් : මුතුහර වන් ජනකවි
හෙල කවි රූ සිරි

8 ක් ප්‍රතිචාර දක්වා ඇත.:

වැප් said...

අගය කල යුතු ලිපියක් ....

wath said...

ඉතාම වටිනා ලිපියකි... පාසල් දරුවන්ට නිතරම වුවමනා වන නමුත් අවශ්‍ය වේලාවට සොයා ගත නොහැකි මෙම තේරවිලි කවි එක ස්ථානයකට ඒකරාශි කිරීමට ගන්නා ලද උත්සාහය අගය කරමි.

වැප් said...

මීට කලින් ලියපු එකක්
http://wapnishantha.blogspot.com/2010/02/blog-post_26.html

දුකා said...

නියමයි ලිෂ් මේ විදිහේ දේවල් ලියවෙන එකෙන් මේ බ්ලොග් එකේ පරමාර්ථය මුදුන්පත් වෙනවා විතරක් නෙමෙයි හැමදෙනාටම අපේ අතීත ජීවන රටාව ගැන ආඩම්බරයකුත් ඇති කර ගන්න පුලුවන් වෙනවා. . .

නියමයි මලේ සිරාවට ඒක ගැන කියන්න වචන මදි මලේ . .. !

wath said...

වනේ එකෙක් ඇත කඳ මිස පණ නැත
පණ නැති දෙන්නෙක් එක්වෙන්නේ
ගුණේ කොහෙත් නැති එකෙක් ඇවිල්ලා
බැද පෙරලා ගෙන ගුටි දෙන්නේ
වදේ බැරුව ඔහු අඬයි විට්න් විට
නඩුවකටත් නැත පවසන්නේ
අනේ මේක තෝරලා බැලුවොත්
ඉතාම කදිමයි පද සන්නේ

( බෙරය )

wath said...

අම්මත් දුවත් එක නැකතෙයි උපන්නේ
අම්මට වැඩිය දූ වැඩිමල් කියන්නේ
අම්මට උණු කරපු පැන් දුව නාන්නේ
මෙතුන් පදේ තෝරාලයි බත් කන්නේ

පෙරටත් සිරිත් ලෙස දෙන්නම පවතිනවා
දැනුත් එදත් ලොව සැම තැන පවතිනවා
කතත් බොතත් අන් පලමුව ගෙට යනවා
රාත් අරක්කුත් දෙවගේ නම යනවා.

Sujith Jayasuriya said...

වටිනා ලිපියක්

isimbuwa said...

රෙද්ද උහාලා කෙටි වැටි කරලා

දණබිම ගහලා ඉඳගත්තේ

පලයන් කියලා තල්ලු කරාලා

ආයෙත් ළඟට ම ඇද ගත්තේ

උඩින් දමන කොට යටින් බහිනවා

යනකොට පිහගනමයි යන්නේ

මෙතුන් පදේ තෝරාලා කීවොත්

කලියුගයට පණ්ඩිත වන්නේ

Post a Comment