හෙළ ජන කවිය හා බැඳි අපූරු කතා

Mar 30, 2010

Kandyan_Chiefs1859


අතීත සිංහලයා කලාවට පෙම් කෙරුවෙකි. සිය ඇසට හසුවෙන සියලුම දේ කවියට හරවා ගයන්නට සමත් කම් දැක්වුවෙකි. පහත දැක්වෙන්නේ අතීත හෙළ කවියා සිය දර්ශන පථයට හසු වූ සිදුවීම්, ප්‍රවාද, කතා කවියට හරවා පළ කල අවස්ථාවන් කිහිපයකි.


දස්කොන් මගේ නමට ජීවිතේ දෙනවාද..?

ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාට ඉතාම හිතවත් ව කටයුතු කරන ලද දස්කොන් අදිකාරම් රජතුමාගේ ළඟම මිතුරෙමු මෙන් ම ඔහු විදේශිකයෙකුද විය. කොතරම් මිතු දම තර වුවත් එහි කොස්සක් තිබේ යැයි කියන්නා සේ මහ රජ ගේ බිසව වූ ප්‍රමිලා අතර රහසින් වූ පෙමක් පැවතිනි. මේ බව කන වැකූනු රාජසිංහ රජතුමා සිය රාජ බලය භාවිත කොට දස්කොන් ට මරණ දඬුවම නියම කරන ලදී. ප්‍රමිලා බිසව දංගෙඩියට හිඩ ගසන්නට ගෙනයන සිය රහස් පෙම්වතා වූ දස්කොන් ව දකින් විට සිය සිත තුල වූ පෙම වසාගත නොහී එය කවියෙන් මෙසේ වහරන්නට විය.

සක්මන් කරන මලුවේ දී බැඳි හාද
සිත්සම් තොසින් දුන් මුව මී බී වාද
ඉක්මන් ගමන් හිමි ඔබ අද යන වාද
දස්කොන් මගේ නමට ජීවිතේ දෙනවාද


සිය පණවන් සුපෙම්වතියගේ එ වදන් ඇසීමෙන්.........

විසැස් කමලාව රස පහස නොවී පමා
දැසෙස් දුනි පොරණ ඇස දුටු පමණ ටමා
වෙසෙස් ඔබගේ අමයුරු පහස ලත් මෙමා
මිනිස් හිසක් දුන්නම ඔබේ නමට කිමා

යනුවෙන පිළිවදන් දී ඈ හිත අස්වැසීමට දස්කොන් උත්සාහා දැරුවේලු.


රාජසිංහ දෙවිනාමෙත් මැකුණාය

පළමුවන රාජසිංහ රජතුමා යුද්ද කිරීමෙන් අනතුරුව ජයගෙන පැමිණෙන අතර තුර අඟුරුවැල්ල ආසන්නයේ වූ පෙතංගොඩ උයනේ දී යටි පතුලේ උණ කරුවක් ඇනීමෙන් මරණය් ට පත් වූ ආකාරය ජන කවියා වහරන්නේ මේ ආකාරයෙන් ය.

සොඳුරු පෙතංගොඩ උයනට වැඩියාය
නපුරු උණ කරුව පතුලේ ඇනුණාය
එකව සිටි සැවොම වටකොට මතුලාය
රාජසිංහ දෙවිනාමෙත් මැකුණාය


ගලින් කොටුව බැන්දයි තිරිකුණාමලේ

ත්‍රිකුණාමලේ බලකොටුව දෙවන රාජසිංහ සමයේදී පෘතුගීසි ජාතික කොන්ස්තන්තීමු විසින් සාදන්න ට යෙදුනේ යැයි කියන නමුත් එය දෙවන රාජසිංහ රජු විසින් සාදවන ලද බව කවියා මෙසෙව පවසයි.

මලේ මලේ තැඹිලිය වැන්න පොල් මලේ
රැලේ රැලේ මූදින් දමන දිය රැලේ
බලේ බලේ රාසිං දෙයියන්නේ බලේ
ගලින් කොටුව බැන්දයි තිරිකුණාමලේ



සිංහලේට ආවට තොපි කැති ගැවා

ඒ 1802 වසරයි. බ්‍රිතාන්‍ය හේවයින් විසින් උඩරට අල්ලාගැනීමට ජා හේවයි පිටත් කර හැරි සමයයි. සටනින් සිංහලයන් පැරදුන අතර ජා හේවායින් සිංහලයන් ගේ දෙපල විනාස කර දමා ඔවුන්ගේ ගවයන් ද මරා කන්නට විය. බොදු පරිසරයක සිය ජීවිතය දැහැමිව ගෙවන සිංහලයාට මෙය ඉවසුම් නොදෙන්නක් විය. කෙසේ හෝ ශ්‍රී වික්‍රම රාජසිංහ සේනාව රැස්කර උඩරට බලය යලින්ත් සියතට ගත්තේ ය. සිංහලයන් පැරදී පලායන ජා හේවායින් පසුපස ලුහු බැඳ මරා දැම්මේ සිය දෙපා විනාස කර පණ වන් ගවයින් මැරූ පලිය ගන්නට ය.
ජන කවියෙන් මේ බව දැක්වෙන්නේ මෙසේය.

දන්තුරේට සසුකර මෙරටට ආවා
ගොන්තුරේට ගෙන දියවර බොන ජාවා
සංකරේට නොවටින ගෙරි මස් කැවා
සිංහලේට ආවට තොපි කැති ගැවා



නිදහස දුන්නොත් - කැටිව එමි රජුගේ දුව

රාජාධිරාජසිංහ රජුගේ දණ්ගනයට හසු වූ විදේශිකයෙකු ඩඬුවම් ලැබ සිරගෙට නියම විය. එවිට විදේශිකසිරකරු තමා නිදහස් කලොත් සිය රටට ගොස් එහි රජතුමාගේ දියණිය ගෙනැවිත් දෙන බවට පොරොන්දු වූවේලු. මේ බව ජන කවිය රස කලේ මෙලෙසිනි.

උතුම් රිවි කුලෙන් පැවතෙන මනනු ලෙද
පසම් තෙද විකුම් රජසිහ නිරිඳු සඳ
නිතින් දෙවඟණක දිසි අප රදුව ළඳ
තොසින් ගෙන ඇවිත් දෙම්මා මිදුව තෙද



පුරන් අප්පු රජ වූ හැටි

ඒ 1848 වසරයි. එවකට වූ ඉංග්‍රීසි පාලනයට විරුද්ධව මාතලේ කැරැල්ල සිදුවිය. ක්‍රි.ව. 1848 ජූලි මස 28 වනදින දඹුලු විහාරයේදී උඩරට රජු ලෙස පුරන් අප්පු ඔටුණු පැළඳී ය. පසුව කැරැල්ල මැඬ පැවැත්වූ ඉංග්‍රීසින් පුරන් අප්පු රාජ ද්‍රෝහියෙකු ලෙස සලකා වෙඩි තබා මරා දැමීමට තීන්දු විය. ජන කවියා කවි කර ගෙන එන්නේ ඒ ඔටුනු පැළඳවීමය.

පුරන් අප්පු සේනාපති තෝරාලා
ආරක්සා බටයින් තව රැස් කරලා
යුද සේනාව සවි සක්තිය යොදවාලා
පුරන් අප්පු රජවිය සතුටින් එකලා



ගලපිට මා වී වැඩුනු හැටි

සිරි සඟ බෝ රජතුමා අත්තන්ගලු වනයේ සිල් රකිමින් සිටිද්දී මඟියෙකු පැමිණ සිය බත් පතින් කොටසක් රජුට පිළිගැන්වී ය. මඟියාගේ පෙරැත්තට එය පිළිගත් අතර සිය බත් පතින් පෙර බත් මිටක් පොකුණ වෙත විසි කොට මා බුදු වෙතොත් මේ බත් පැල වේවායි පැතුවේලු. අදටත් නියම වාරෙට එහි පොකුණේ මා වී දකින්නට ලැබේ. මේ විස්තරය ජන කවියෙන් ප්‍රකාශවෙන්නේ මෙලෙස ය.

අයියණ්ඩියේ නුඹ කොතැනින් ගෙනා වියේ
සකබඹ තල වක මුදුනෙන් ගෙනා වියේ
මසින් මසට ගොප් ඇඳ ඇඳ පහ වියේ
අත්තන ගල්ල ගලපිට පඳුර මා වියේ



ළදරු බණ්ඩාර මැරුවයි එ තැනේදී

මද්දුම බණ්ඩාර ඇතුලු ඇහැලේපොළ දරුවන් මැරවීම පිළිබඳ ශ්‍රී වික්‍රම රජු ගත් තීරණය පිළිබඳ ශෝක වූ කවියා ඒ බව ගයා ඇත්තේ මෙලෙසිනි.

බෝගහ වීදියේ තුන් මං සලේදී
නා ගහ වීදියේ තුන් මං සලේදී
සතර වරම් දෙවි නඩු නැති දිනේදී
ළදරු බණ්ඩාර මැරුවයි එතැනේදී




ලිව්වේ:
LishWish
මූලය : සිංහලේ අන්තිම රජ
මැකෙන ජන කවි කතා
හෙළ කවි සරණිය

6 ක් ප්‍රතිචාර දක්වා ඇත.:

Narada said...

නියමයි ලිෂානයියේ නියමයි! අපුරු කතා පොඩිත්ත!!!

බිඟූ said...

නියම ලිපියක්..
හරිම රසවත්...

/බිඟුවා...!

Rachintha Jayawardhana said...

පට්ට

Unknown said...

"විසැස් කමළාව රස පහස නොවීඳමා
දසිස් දුනි පොරණ ඇස දුටු පමණටමා
වෙසෙස් ඔබේ අමයුරු පහස ලත් මෙමා
මසිස් එකක් දුන්නම ඔබෙ නමට කිමා.."

දස්කොන් අධිකාරමගේ කවිය මම නම් අහලා තියෙන්නේ ඔය විදියට. රාවණා රජුගේ නමක් සඳහන් නොවුනත් මා දන්නා තරමින් කවියේ අදහස මෙසේයි..
"රාවණා රජතුමා සීතා දේවියගේ පහස නොවිඳම ඈ වෙනුවෙන් හිස් දහයක්ම දන් දී ඇති කලෙක ඔබේ අමාවන් පහස ලද මම ඔබ වෙනුවෙන් මගේ එක් හිසක් දන් දීම ගැන කුමන කතාද...?"
අගේ ඇති ලිපියක්. සැබැවින්ම රසවත්.

ආගන්තුකයා | Stranger said...

ඇත්තටම මචං ඒ කාලෙ තිබුනු පීඩාව සමාජ ප්‍රශ්ණ වගේ සෑහෙන්න දේවල් ජනකවියෙන් සාකචිඡා වෙනවා. සන්දේශකාරයොන්ට වැරදුන තැන් හුඟක් අපිට ජනකවියෙන් හොයාගන්න පුළුවන්..

දුකා said...

අපූරු ලිපියක් ලිෂ් . . . සෑහෙන කරුනු ටිකක් ඉගෙන ගන්න ලැබුනා .. .

Post a Comment