මනරම් සොකරි නාටකය . . !

Mar 28, 2010

P1010987


තුන්පත් රටා බ්ලොග් අඩවිය ආරම්භයේ පටන් පාඨකයන්ගේ ඉල්ලීමක් තිබුනා "සොකරි" ගැන ලියන්න කියා. නමුත් ප්‍රමානවත් පත පොත නොමැති කමින් ටික කලෙකට ප්‍රමාද කරන්න සිදු වුවත් පසුගිය නිවාඩුවෙන් පසු පැමිනීමේදී තුන්පත් රටා බ්ලොග් එක වෙනුවෙන්ම තරමක් පොත පොත සොයාගෙන අවායින් සොකරි ගැන යමක් ලිවේමේ අඩිතාලමක් වැටුනු බව පවසන්නේ සතුටින්.

ඒ අතරේම ලිෂාන්, හෂිත, සචී පසුගියදා නැරඹූ හා නරඹන ආතර රූගත කල නැටුම් සංදර්ශයන්යේදී රූගත කල දෑ එකතු කිරීමට පාදම සපයනු වස් පමා නොකොට සොකරි ගැන ලිවීම යෙහෙකැයි මා සිතුවා. ඒ අතරම "ඔන්න මම පොත් හොයලා දුන්නා . . දැං ඉක්මනට ලියන්න" යි නදීෂා නිතර කරන ඉල්ලෙමත් කොහොමත් අහක දාන්න බැරි වුනා.

කෙසේ වෙතත් මේ සොකරි විස්තරය වටා ගෙතුනු කතා කීපයක් හා විස්තර කල යුතු අංග කීපයක් ඇති නිසා පාඨකයාට එපා නොවෙනු වස් කොටස් කීපෙකින් රැගෙන ඒමටයි මගේ බලාපොරොත්ටුව.

ගැමි නාටක . .. .
ශ්‍රී ලංකාවේ උඩරට හා පහත රට නර්තන සම්ප්‍රදායන් හා බැඳුනු ගැමි නාටක ගැන සොයා බැලීමේදී ප්‍රධාන ගැමි නාටක දෙකක් ඇති බව කියවේ. එනම් "සොකරි නාටකය" හා "කෝලම් නාටකය" යි. මීට අමතරව "නාඩගම්" සහ "රූකඩ" ද ගැමි නාටක ලෙස හඳුන්වනු ලැබේ.

සොකරි
සොකරි නාටකය එහි ප්‍රධාන චරිතයේ නමින්ම හඳුන්වනු ලබයි. බොහෝවිට සොකරි නාටකය දක්නට ලැබෙනුයේ උඩරට ප්‍රදේශ වලදී ය. වන්නි ප්‍රදේශයේ, සතර කෝරලයේ ඇතැම් ප්‍රදේශ වලද දක්නට නැතුවා නොවේ. වර්තමාන සොකරි නාටකය හඟුරන්කෙත, හේවාහැට, මාතලේ, දඹුල්ල, කළුංදෑව, කොනකගල යන ප්‍රදේශ වල දක්නට ඇත. නාගරිකරණය වීමේ ප්‍රතිඵලයක් ලෙස සොකරි නාටකය ක්‍රමයෙන් අභාවයට යමින් පවතී.

රංගභූමිය හා සැරසිලි
මෙහිදී රංගභූමිය ලෙස බොහෝ විට යොදා ගන්නේ කමතයි. මෙය කවාකාර රඟ මඬලකි. ප්‍රේක්ෂකයාට නිදහසේ බිම වාඩිවී නාටකය නැරඹිය හැකි ලෙස රඟ මඬල සකස් කෙරේ. රංගභූමිය පිටුපසින් කෙසෙල් පතුරු වලින් සාදා ගොක් කොල කැටයමින් අලංකාර කල මල් යහනක් ඉදිකෙරේ.

P1010893

නාටකයේ අරමුණ
ප්‍රාධාන අරමුණ ලෙස විනෝදාස්වාදය ලබා ගැනීම සඳහන් කල හැකි අතර සොකරි නාටකයේ පූජා ක්‍රමයක්ද ඇති බව පෙනෙන හෙයින් දෙවි දේවතාවුන් සතුටු කර ඔවුන් පිනවා සරුසාර අස්වැන්නක් ලබා ගැනීම ද්වීතියික අරමුණ ලෙස ගත හැක.

වාද්‍ය භාණ්ඩ
ගැටබෙරය හෙවත් මගුල් බෙරය ප්‍රධාන වාද්‍ය භාණ්ඩය වේ. එනමුත් ඇතැම් පලාත්වල (බදුල්ල ) දවුල ද වන්නි ප්‍රදේශයේදී උඩැක්කියද යොදා ගැනේ.

පූජා ලබන මූලික දෙවිවරු
පූජා ලබන මූලික දෙවිවරු ලෙස පත්තිනි දේවිය හා කතරගම දෙවියන් දැක්විය හැක.

සොකරි පුරා වෘත්තය
කසී රටෙන් පැමිනි ගුරුහාමි නමැති ආඬි ගුරාගේ බිරිඳ වූ සොකරි ඉතා රූමත් කාන්තාවකි. ඔවුන්ග සේවකයා පරයා නමි. ගුරුහාමි, සොකරි හා පරයා නැව් නැඟ ලංකාවට පැමිණ, තඹරාවිට නම් ගමේ පැලක් සාදා ගනී. සිංහල බස නොදැනීම නිසා පැලක් අටවා ගැනීම ඉතා අපහසු කාරියක් වු නමුත් සේවකයා වූ පරයාගේ කපටිකම, දක්ෂකම හා මුඛරිකම නිසාවෙන් ඒ කාරිය අපහසුවකින් තොරව ඉටු කෙරේ.

P1010996


ගුරුහාමි ගමේ ඇවිද සහල් ගෙනැවිත් බිරිඳ සොකරිට දෙයි. පසුව එය පිසීම සඳහා ජලය සොයා ගැනීමේ කාරිය ද ගුරුහාමිට පැවරෙයි. ජලය සොයා යන ගමනේදී බල්ලෙකු විසින් ගුරුහාමිව සපා කමු ලබයි. මින් බලවත් ලෙස රෝගාතුර වන ගුරුහමි මියා ගියායැයි සිතන පරයා සොකරි තමා වෙත නම්මවා ගැනීමට උත්සාහ දරනු ලබයි.

කෝපයට පත්වන සොකරි වෙදරාළ කැඳවාගෙන එන්නට පරය පිටත් කර හරී. පරයා වෙදරාළට කොපමන ඇවටිලි කලත් සොකරි විසින්ම ආරාධනා කරන තූරු වෙදරාළ නොපැමිනෙයි.

කීපදිනක් ගුරුහාමිට වෙදකම් කරමින් සිටින වෙදරාළ සොකරි සමඟ හාද වී එක් රාත්‍රියක ඈ සමඟ පැන රහසේ පැන යයි. ශෝකයට පත් ගුරුහාමි කතරගම දෙවියන්ට සොකරි ආපසු ලබාදෙන ලෙස ඉල්ලා භාරයක් වෙයි.

කතරගම දෙවියන්ගේ බලයෙන් පිහිටෙන් සොකරි ඉන්නා තැන දැනගන්නා ගුරුහාමි සොකරි කැඳවා ගෙන විත් ඈ කල නොමනා ක්‍රියාවට ඇයට දඬුවම් දෙනු ලබයි.

තමා වෙදරාළ සමඟ ගියේ ස්වකැමැත්තෙන් නොව වෙදරාළ විසින් දුන් ඉනා බෙහෙතක් නිසාවෙන් යැයි සොකරි තම නිදහසට කරුනු ගෙන හැර දක්වයි. සෙට තැලීමෙන් තම කෝපය නිවා ගන්නා ගුරුහාමි පසුව ඇයට සමාව දෙනු ලබයි.
කලකට පසු සොකරි දරුවෙකු වදන අතර ඉන් පසු සියල්ලෝ සතුටින් ජීවත් වන බව අඟවමින් නාටකය නිමාවට පත්වේ . ..

සොකරි නාටකයේ චරිත
සොකරි
ගුරුහාමි
තඹරාවිට වෙදරාළ
පරයා
හෙට්ටියා
කාලි අම්මා
සොත්තානා
වඩුරාළ
කපුරාළ

පිරිමින් විසින්ම පමනක් මේ නාටකයේ සියළුම චරිත රඟ දැක්වීම මෙහි ඇති විශේෂිතම ලක්ෂනයයි . .

P1010994

P1010989

P1020019

P1020053

. . .. . . . .. . .. . .


සොකරි නාටකය පිලිබඳ මූලික හැඳින්වීම මේ කොටසින් නිමා කරමි.

සෙස්ස පස්සට

මූලාශ්‍ර / උපුටා ගැනීම : නදීෂාගේ ඤාති සොයුරෙකුගේ උසස්පෙළ නැටුම් කලාව අභ්‍යාස පොතෙනි.

2 ක් ප්‍රතිචාර දක්වා ඇත.:

LishWish said...

හිතාගන්න බැරිතරම් ලස්සනට ලියලා අයියයි අක්කයි දෙන්නා එකතු වෙලා..!!

මම පොඩි රූප එකතු කිරීම වගයක් කරා එයට ඔබ දෙදෙනාගේ අහිතක් නැතැයි හිතනවා.
මේ රූප ගනු ලැබුවේ පසුගිය මාර්තු 19 වැනිදා කබැල්ලැලෙන රජමහා විහාරයේ නානුමුර මංගල්ලයට සමගාමීව පවත්වන්නට යෙදුනු සොකරි නාඩගම් අවස්ථාවෙන්..!!!
ඔව් ඔබ කියූ ආකාරයට සොකරි කියන්නේ නිකම්ම නිකම් නාඩගමක් පමණක් නොවේ නාටකය හා බැඳී ඇති හාස්‍යය එක්ක අපිට ලබාදෙන්නේ ඉතාම ඉහල ගණයේ සමාජ විද්‍යා පාඩමක්.

අතීත ජීවන ක්‍රමය, හින්දු ජනජීවිතය හා අපේ ජන තතු සමපාත වෙන ආකාරය වැනි මේ වගේ ඉතාම විසල් තලයක් පුරා විහිදුනු යටිපෙළක් මේ නාඩගම හා බද්ධ වෙලා තිබෙනවා..

මෙවැනි වටිනා ලිපියක් ලියුවාට නොතිත් තුති ඔබ දෙදෙනාට නැවත් වරක්...!!!

ජයෙන් ජය ම පතනවා..!!

රුචක සදරුවන් said...

මේ වගේ නාටකයක් බලන්න ආසයි. අපේ පලාත් වල මේව නෑනෙ. ඉස්සර අපි පොඩි කාලෙ අපේ ගමේ ගම්මඩුවක් තිබුනා. ඒත් ලොකු මතකයක් නෑ එතකොට අපි ගොඩක් පොඩියි. දැන් මේ නාට්‍ය ගැන අලුත් පරපුරට දැන ගන්න තියන ඉඩ හුගක් අඩුයි. බ්ලොග් එකක තියන මේ වැනි ලිපි මගින් හෝ නාට්‍ය ගැන නොදන්න පිරිසට යම් කිසි දැනුමක් ලබාදීමට ගත් උත්සහය සාර්තකයි.කාලි අම්මා ,සොත්තානා, වඩුරාළ, කපුරාළ ගැනත් ලියන්න අපිට දැනගන්න.

Post a Comment