කෙතරම් බැලුවත් එපා නොවන අලි බැලීම හා ගජගා වන්නම . . !

May 17, 2010



අලි බැලීමත් බලි බැලීමත් කොයි තරම් බැලුවත් එපා වෙන්නේ නෑ කියලා අහලා තියෙනවාද . . ?

බලි බලලා තියෙන බවට මතකයක් නැති නමුත් අලි බලපු හැටි නම් බොහොම හොඳින් මගේ මතකයේ තියෙනවා.

ඉස්සර අපේ ගමේ පන්සලේ වාර්ෂික පෙරහැර වෙනුවෙන් (කෝට්ටේ රාජමහා විහාරයේ)රැගෙන එන අලි පන්සල් වත්තේ විශාල ගස් වල බැඳලා ඉන්න දිහා අපි ස්කෝලේ ඇරිලා එන ගමන් ගෙවල් වලට නොගිහින් බඩ ගින්නේ වේලී වේලී බලන් හිටපු හැටි මේ දැන් වගේ මතකයේ තියෙනවා.

බඩ පනුවන්ගේ බොක්සින් තරඟාවලියේ උපරිමයට ආවහම ගෙදර ගියත් පහුවදාටත් ඇවිත් බලං ඉන්නවා අලියෙක් මේ දැන් දැක්කා වගේ.

ඒක නිසා අලි බැලීම නම් කොයි තරම් වෙලා බැලුවත් එපා නොවන බැලීමක් කියලා කට පුරා කීවහැකි.

ගජගා වන්නම නිර්මාණය වෙලා තියෙන්නේ රජුගේ මංගල හස්තිරාජයාගේ ගමන් ලතාව අනුව කියල තමයි අපි ඉගෙන ගත්තේ.

අලි බැලීමට ඇති කැමැත්ත නිසාම වෙන්න ඇති මගේ නම් කැමතිම වන්නම ගජගා වන්නම.

කාලෙක ඉඳන් ගජගා වන්නම ගැන ලියන්න ඕන කියලා හිත හිතා හිටියත් ඔන්න ද තමයි නිවාඩුවක් ලැබුනේ ඒකට.

මේ මුලින්ම තියෙන වීඩියෝවේ ගජගා වන්නම අපූරුවට ගායනා කරනවා. නමුත් ලස්සන පින්තූර ටිකක් හැර නැටුම එහි අඩංගු වෙලා නොමැති කමින් තවත් වීඩියෝ දෙකක් (මට සෑහීමකට පත්විය හැකි තත්වයේ) මෙහි එකතු කලා ඔබ සැමට රසවිඳින්න ඉඩ සලසා දෙනු වස්.

මුලින් තිබෙන වීඩියෝවේ ගජගා වන්නම ඇහෙනවිට මම ඇස් දෙක පියා ගත්තාම මම වැඩිපුරම බලලා තියෙන කෝට්ටේ රජමහා විහාරයේ පෙරහැරයි බෙල්ලන්විල රජමහා විහාරයේ පෙරහැරයි දෙකේම මේ දැන් මෙතන ඉඳන් බැලුවා වගේ මනසින් පෙරහැරපොලට ගිහින් උක් ගහක් හප හප පෙරහැර බැලුවා.

මීට වඩා හොඳ වීඩියෝ ගැන දනන්වානම් දැනුම් දුන්නොත් බොහෝම අගෙයි.

ඉතිං ගජගා වන්නමේ අපූරුව ඔබ සැමත් රසවිඳ බලන්න . . බලා සටහනක් දමා යන්න අමතක නොකර . . .

ගජගා වන්නම

දෙසුලු මහතුන් තිත

තානම:
තා නා තාම් දාන තා . . ම්
දන තාම් දන තන . . .
තා නා තම් දාන තා . .. ම්
දන තා . . නා . . ..

කවිය:
දෙව් පුර ඇතෙකී, කුඹු දහසයකී, දිග දළ අටකී, සත්ගැබ කී . ..
වැව් පොකුනු දකී, සත්සිය ගැනකී, එක පොකුනකකී, සිව්මලෙ කී . .

සිව් මල පෙතකී, ගැනතිස් දෙකකී, පෙත්තක නැටුකී, සිව්සැටෙ කී . .
කවි කරවැනි කී, ලෙව් ඉසි බසෙකී, ගජගා නමකී, වන්නම කී . . .

ගමන් යනෙන සොඳ රූබර තාලෙට ඇත් රජ ගමනට යන්නේ
පවන් සලන ලෙස කන්පොතු සලමින් දෑලේ මිනි නද දෙන්නේ
කියන්න පුදුමයි ගමනට මිනි නද එකින් එකට වැඩි වන්නේ
අහන්න මැතිඳුනි ගජගා වන්නම මේ ලෙසටයි පවතින්නේ . .

කස්තිරම:
බෙරමාත්‍ර: දොම්කිත - තකදොම් - දොදොම් - දොමිත දොම්
රොන්, තක ජිං තක - තරිකිට කුං දං - තාගජිත්තක තරිකිට කුං දං
රොංතක ජින්තක තරිකිය කුං දං තා -

සීරු මාරුව:
තකුඳ තක ජිජි කුඳ - ගජිත, දොදොංගත කඩතක කුකුඳං
කුජිං - ක්ජිං - තා

අඩව්ව:
තාජ් - ජිත්තක, කුංතක ජිංගත - හජ්ජිත්, කුංතක, තරිකිට කුං දං
රොංතකජිත්, තජිතකුජිත්, රුඳන් ගජිත් තා
කඩතක දැහිං තක ජිජි ගත - ගජ් ජිත්, තාත්, කඩතක, ගජි ගත කුඳ කුඳ තා













ලිව්වේ: සුභාෂ්

පත පොත ඇසුර : ජේ. ඊ. සේදරමන් - උඩරට නැටුම් කලාව

5 ක් ප්‍රතිචාර දක්වා ඇත.:

මයියා said...

මගේ නොනා මේ නැටුම් වලට හරි ආසයි..එක හින්දා මමත් අසයි

Prabath Chaminda said...

බාගන්න තැනක් කියන්න. ස්තූතියි

ජීවිතේ මල් said...

උඩරට නර්තන වින්‍යාස වල තිබෙන ප්‍රෞඩතම නර්තනයක්... හස්තියෙකුගේ ගමන, පැද්දීම, බැල්ම, සාඩම්බර හැඟුම මොනවට කැවී තිබෙන වන්නමක් මේ....

මා ඉතාම ආසාවෙන් වින්‍යාස කල වන්නමක්.... ඒත් මයුරා සහ මුසලඩි වන්නම් වලටත් මා මේ නර්තනය තරම්ම ආසා කලා....

සයුරි said...

හරිම වටිනවා. දන්න කෙනෙක් ඉන්නවනම් මේ වචනවල තේරුමත් කියල දුන්නොත් ලොකු දෙයක්.
//දෙව් පුර ඇතෙකී, කුඹු දහසයකී, දිග දළ අටකී, සත්ගැබ කී . ..
වැව් පොකුනු දකී, සත්සිය ගැනකී, එක පොකුනකකී, සිව්මලෙ කී . .

සිව් මල පෙතකී, ගැනතිස් දෙකකී, පෙත්තක නැටුකී, සිව්සැටෙ කී . .
කවි කරවැනි කී, ලෙව් ඉසි බසෙකී, ගජගා නමකී, වන්නම කී . . .//

Unknown said...

ඔව් ඒ වචන වල තේරුම දන්නවනම් කියන්නකෝ

Post a Comment