දුප්පත් කම නිසයි මම පැල් . . . . . .. .. රකින්නේ!

Aug 12, 2010



මේ බ්ලොග් එක අප්ඩේට් කරන්න කියලා ගෙනාපු පොත් රැසක් අපි ලඟ තිබෙනවා.

නමුත් නිතර අප්ඩේට් නොවන එකම පරහා වේලාව සොයා ගන්න තියෙන අපහසුවයි . . .

දැන් වේලාව පාන්දර 3යි 20යි . . .

හවස වැඩ නිමාවෙලා ගෙදර ආපු ගමන් පොඩි නින්දක් දාපු නිසා ඔන්න අද මහ රෑ ඇහැරිලා ඉඳගෙන ලංකාවෙන් ගෙනාපු
රුක්මනී අරන්ගල්ල මහත්මිය රචනා කරපු "ජන කවි" කියන ප්‍රමානයෙන් කුඩා නමුත් විශාල වටිනාකමකින් යුතු පොත් පින්චෙන් උපුටා ගත්තු ලිපියක් හා ඒ ලිපිය හා බැඳි කවි කීපයක් සටහන් කරන්න අදහස් කලා.

. . . . . . . . . . . . . . .

පැල්කවි

ගොවියෝ ජනවාරි මාසයේ කැලෑ කපා දමා ඒවා වියලී ගිය විට මාර්තු මාසයේදී කැලෑ ගිනි තබා පුර පාලොස්වක් පොහොයට පසුව එලැඹෙන මාසේ පෝයත් අතර කාලය තුල එසේ පුළුස්සා ගත් හේන්වල කුරක්කන් වැනි ධාන්‍ය වපුරති.වෙනත් බෝග වර්ග සිටුවති.

ඒවා පැළවී කිරිවැදී එන කාලය වන විට සතුන්ගෙන් වන හානි අවම කර ගැනීම සඳහා හේනේ මැද රූස්ස ගසක තනන ලඳ පැලේ වෙසෙමින් හේන රැක බලා ගැනීමෙහි නිරත වෙති. පැල තනා ගත් ගස යට ගැසූ ගිනි මලයේ එලියෙන් හේනට ඇදී එන සතුන් දකින ඔවුහු නොයෙක් ශබ්ද ඝෝෂා පවත්වා උන් පන්නා දමති.

රාත්‍රිය එළඹී කලය ගතවන විට පාළුව කාන්සිය නිදිමත ගතිය දැනෙන්න පටන් ගනී. එවිට ඔහු මුළු පරිසරයේම පාලු ගතිය පළවා හරිමින් කවියක් කියයි. ඒ කවිය ඇසෙත්ම අල්ලපු හේනෙහි පැලෙහි සිටින තැනැත්තාද එයට පිලිතුරු වශයෙන් කවියක් කියයි.

මේ ආකාරයට හේන් යාය පුරා දිගින් දිගටම කවි කියැවෙන විට පාළුව කාන්සිය මඟහැරී සිතට සහනයක් හා සවියක් දැනෙයි.සතුන්ගේ පැමිනීමද වැළකෙයි. මේ අකාරයට හේනේ හෝ කුඹුරේ රැකවරණය තකා පැලේ වෙසෙමින් කියන ලද මේ කවි "පැල් කවි" නමින් හැඳින්වේ.

ලස්සන හිමවතේ මා වී . . . . . . . . . පැසෙන්නේ
දුක්දෙන අලි ඇතුන් පන්නා . . . . . . . හරින්නේ
රැක්මෙන දෙවියනේ වෙලෙ බත් . . . බුදින්නේ
දුප්පත් කම නිසයි මම පැල් . . . . . . .රකින්නේ

මේ කවියෙන් ජන කවියා තමාගේ තරතිරම වටපිටාව ඉතා පැහැදිලි ලෙස අව්‍යාජ ලෙස කියා පෑමට හැකිවී ඇති නිහතමානී සවභාවය අපට වැටහෙයි. තමාගේ දරිද්‍රතාවය නිසා තමා පැල් රකින බවත් එසේ පැල් නොරැක කුඹුරෙන් අපේක්ෂිත ආදාලම නොලැබිය හැකි බවත් ඔහු හොඳින් දනී. පැසී එන කුඹුරේ සුන්දරත්වයෙන් ඔද වැඩී ගිය ගොවියා තුල කිසියම් ආකාරයක ප්‍රාර්ථනා ඉටුවීමක් පිලිබඳවද යම් අදහසක් ප්‍රකාශ කරන අයුරුද පෙනේ.

මේ අකාරයට පැල් රැකීම විනෝද ක්‍රියාවක් නොවීය. වගාකරන ලද හේනේ සරුසාර පලදාවක් ලැබෙන වග පෙනෙන විට ගොවියාගේ සිත සතුටින් පිරීයන බව ඔහුගේ ප්‍රකාශන වලින් අපට පැහැදිලි වෙයි.

හේන් ගොවිතැන පමනක් නොව කුඹුරු ගොවිතැන සම්බන්ධයෙන්ද සමහර විට පැල් රැකීම අවශ්‍ය වන අවස්ථා උදා වෙයි. ඝන වනාන්තර යාබදව කෙරෙන වී වගාවට හානිකර සතුන්ගෙන් කුඹුරු ආරක්ෂා කර ගැනීමට ගොවියාට පැල් රැකීම කල යුතු වෙයි. පොදුවේ හේන් වගාව, වී වගාව දෙකටම අවශ්‍ය සාධකයක් ලෙස පැල් රැකීම හැඳින්විය හැක.

සමහර විට හේනේ හෝ කුඹුරු අස්වැන්න නෙලන කාලය ලංවෙත්ම ගොවියාට පමනක් නොව පෞලේ සෙසු සාමාජිකයන්ටත් හෙනේ පලේ කාලය ගත කරන්නට සිදුවෙන අවස්ථා දැකගත හැකිය. කෙසේ වෙතත් හේනේ පැල ගොවියාගේ අභිමතාර්ථ සාධනයට ඉවහල් වන එකම සාධකය වෙයි. එමඟින් ඔහුගේ සියළු අභිලාෂයන් ඉටු කර ගැනීමේ පුලුවන්කම දැකිය හැකිය.

ගොවියාගේ ජීවිතය ආරක්ෂා වන්නේ හෙනේ වගා කරන ලද කුඹුරේ පූදින නැතහොත් කිරි වැදෙන ගොයමට / වගාවට ලැබෙන ආරක්ෂාව තුලිනි.

එසේ වගාවට ආරක්ෂාව ලබා දෙන ගොවියා වැස්සෙන් පින්නෙන් ආරක්ෂා කරන ස්ථානය ගස උඩ සැදි පැලයි. ඔහුත් වගාවත් රැකදෙන එකම කේන්ද්‍රස්ථානය එසේ බලන කල එම පැලයි.

ඒ පැලේ සිට ගොවියා තමාගේ සිය ජීවිතය හා සම්බන්ධ දුක් සුසුම් ගුවනේ පාකර හැරීමෙන් සතුටක් සැහැල්ලුවක් ලබා ගන්නා අතරම ආරාක්ෂිත හේනෙන් සරුසාර අස්වැන්නක් පිලිබඳ පැතුම් මුදුන් පත්වීමෙන් ගොවියාගේ ජීවිතයට නව ජීවනයක් ලබයි.

පැල් කවි වලින් විහිදී ඇත්තේ දුක් විඳින ජනතාවගේ සෝ සුසුම් හා ජීව වේදනාවන් බව කිව යුතුය. ඒවා අව්‍යාජ ලෙස හා යථාර්ථවාදී ලෙස ඉදිරිපත් කිරීම හේතුකොට ගෙන එම කාව්‍ය නිර්මාණවල සැබා ජීවන සුවඳක් හමා යන බව කිව යුතුය. ඒ නිසා ජනකවි අතුරෙන් පැල්කවි වලට හිමිවන්නේ ඉතා වැදගත් තැනක් බව ද කිව යුතුය.

නිතරම ජනකවි කියැවී ඇත්තේ කිසියම් කර්මාන්ථයක / රැකියාවක යෙදුනු අයවලුන් විසින් බවද අප අමතක නොකල යුතුයි.

. . . . .. . .. . .. . ..

පහත සඳහන් පැල්කවි කියවා ඒවායේ රස විඳගැනීමට උත්සුක වන්න.

ලස්සන හිමවතේ මා වී . . . . . . . . . . පැසෙන්නේ
දුක්දෙන අලි ඇතුන් පන්නා . . . . . . . . හරින්නේ
රැක්මෙන දෙවියනේ වෙලෙ බත් . . . . .බුදින්නේ
දුප්පත් කම නිසයි මම පැල් . . . . . . . . .රකින්නේ

හිරු දෙවියන් ගිරි මුදුනින් වඩින . . . . . . . . තුරා
සඳ දෙවියන් තරු අතරින් වඩින . . . . . . . . තුරා
සැම දෙවියන් සිව් හෙළයෙන් වඩින . . . . . තුරා
සිව්පද කියමු රට ඉසුරෙන් පිරෙන . . . . . . . තුරා

දුම්බර කෙතේ වැට බැඳලා රැකුම් . . . . . . . . .බැලුම්
මහවැලි ගඟේ දිය බඳලා කෙතට . . . . . . . . . ගිලුම්
බොලඳ ලියන් කර ඔසවා බලන . . . . . . . . . බැලුම්
තුන්පත් රටාවයි දුම්බර කෙතේ . . . . . . . .නෙලුම්

කල්බලා නොවෙද ගොවිතැන් . . . . . . . . කරන්නේ
මල්වරා නොවේද කිරිවැද . . . . . . . . . . පැසෙන්නේ
සෙනසුර නොවෙද වැහිපල . . . . . . . . . . .නුදුන්නේ
ලොව්තුරා බුදුන් කවදද . . . . . . . . . . . . . දකින්නේ

කැලේ කපා වැට බැන්දා කැත්ත . . . . . . . . දනී
කුඹුර පුරා දිය බැන්දා කුඹුර . . . . . . . . . . . .දනී
සීත කකා පැල් ලැග්ගා පැදුර . . . . . . . . . . . දනී
මෙදා පැලේ වී අඩුවා අටුව . . . . . . . . . . . . .දනී

රෑනෙන් රෑන උඩ ඉගිලෙන . . . . . . . . . . . කුරුල්ලනේ
බානෙන් බාන ගල් ගැසුවත් . . . . . . . . . . නොයන්නේ
පුංචි කටින් කුරු වී ඇට . . . . . . . . . . . . . . . .තලන්නේ
මෙදා යලේ ණය නොකරන් . . . . . . . . . . කුරුල්ලනේ

ඉරු දෙවියන් ඉර මුදුනින් වඩින . . . . . . . . . . . . . තුරා
සඳ දෙවියන් සඳ ගිරගින් වඩින . . . . . . . . . . . . . . තුරා
ගණ දෙවියන් ගණ අඳුරින් වඩින . . . . . . . . . . . . .තුරා
සිව්පද කියමු අපි ඉරුගල තිබෙන . . . . . . . . . . . . .තුරා

පනාමුරේ ඇත් රංචුව ලං . . . . . . . . . . . . .වෙනවා
විහ මිතුරේ වී අමුණම . . . . .. . . . . . . . වනසනවා
කිරි අප්පුට බිත්තර වී ණය . . . . . . . . . . .වෙනවා
මෙදා පොටෙත් අලියා මට බැට . . . . . . . දෙනවා

වෙලක මහිම බල මා වී . . . . . . . . . . . .පැසීලා
පැලක මහිම බල බට කොල . . . . . .සොයාලා
මලක මහිම බල අතු අග . . . . . . . . . . .පිපීලා
ලියක මහිම බල ගෝමර . . . . . . . . . . ඉසීලා

වෙල හොඳ මොකද යල මහ පාළු වේ . . . . . . . . . නම්
පැල හොඳ මොකද පොද වැස්සට තෙමේ . . . . . . .නම්
මල හොඳ මොකද අතු අග පරව යේ . . . . . . .. . . .නම්
ලිය හොඳ මොකද ඉසි ගෝමර මැකේ . . . . . . .. . නම්

පැල් පොත්තක් යට ඉඳ රොටියක් . . . . . . .. . . . . .උයාලා
පොල් නැති රටේ පුළුටක් සමඟින් . . . . . . . . . . . . . කාලා
කල් ගිය රෙදි වැරලි ඉණවට . . . . . . . . . . . . . . . .දවටාලා
පැල් කවි කියමි මම මේ පැලට . . . . . . . . .. . . . . . . වෙලා

පෙර කාලේ කරපු අකුසල් වල . . . . . . . . .. . . . .අපලා
මම කාලේ විඳිමු දුක් පැල් වලට . . . . . . . . . .. . . .වෙලා
රජ කාලේ සිටන් පුරුදුයි පැල් . . . . . . . . . . . . . . ලැගලා
ලොකු රාළේ කියන් පැල් කවි . . . . . . . . . . . . තෝරාලා

නුග පත් නුග අරළු නුග බෝ . . . . . . . . . . . . .රජුන්ටයි
එම පත් දෙවි වසන සක් දෙවි . . . . . . . . . . . . රජුන්ටයි
මිහිකත් අනග යුදයෙන් කඩු . . . . . . . . . . . . දිනන්ටයි
වැඳ ගත්තෙමි සරණ පැල් කවි . . . . . . . . . . .කියන්ටයි

ඉර වර වර ඉර වර වර . . . . . . . . . . . .. . වළල්ලා
සඳ අර වර ඉර වර වර . . . . . . . . . . . . . වළල්ලා
පෑදී දියට බොර දියරක් . . . . . . . . . .. . .වළල්ලා
පැල් කවි කියන අය කවුරුත් . . . . . . . වරෙල්ලා

කිරල හිඹුටු වැල් කුඹුරේ . . . . . . . . . . . පැලේයා
කිරල ගඳට එයි ඌරෝ . . . . . . . . . . . . .රැලේයා
කතා නොකර නැගපන් ගොයි . . . . . . .පැලේයා
කතා කලොත් ඇදගෙන යයි . . . . . . . .කැලේයා

උපුටා ගැනීම : රුක්මනී අරන්ගල්ල මහත්මිය විසින් රචිත "ජන කවි" නම් පොතෙන්

ලිව්වේ සුභාෂ්

4 ක් ප්‍රතිචාර දක්වා ඇත.:

වන්නි said...

ඉස්කෝලේ කාලේ කටපාඩම් කරපුවා මත්ක් කරා මට මේ ලිපිය... හැබැයි අපි දන්නේ නැති තවත් අගේ ඇති කවි ටිකක් කියෙව්වා... ස්තූතියි...

චේජනා said...

ලස්සන කවි ටික... අය්යෙ, ඕලෙවල් කාලෙට පස්සෙ ද කොහෙද මේ කාලෙකින් දැක්කෙ... (මට නම් මෙහේදි කියවන්න සිංහල පොත් තියෙන්නෙ දෙක තුනක් විතරයි... ඉඩ ලැබෙන්නෙත් සැරින් සැරේට ටිකක් ටික නෙ, පොතක් නිදහසේ කියවන්න තරම් නිදහසක් ලැබෙන්නෙ නෑ නෙ..ඒ හින්ද ම ද මන්ද බ්ලොග්වලට මෙච්චර ඇබ්බැහි වෙලා ඉන්නෙ..)

LishWish said...

කවියකින් ගිමන නිවා ගන්නට තරම් මේ අතීත මිනිස්සුන්ගේ මානසිකත්වය මොනතරම් දියුණු වෙලා තියෙන්න ඇද්ද..?
මේ ලිපිය කියවන පුරාවට ම මගේ හිතේ පිරී තිබුණේ ඔය අදහස ම තමා..!
ස්තූතියි සුභාෂ් අයියා මේ වගේ වටිනා ලිපියක් දැම්මට.!!!

Marshalian son said...

ඉදිරියට

Post a Comment