මේවර කෙළිය ආශ්‍රිත සමාජීය මතිමතාන්තර

Oct 27, 2010

main_dance copy


සාර සදිසි පෙති පේර නෙලන කල වල ගිය දෝ මගේ මේවරයා
නෑනෝ උඹ පල් නුඹේ දරුවන් පල් අප දුටුවේ නැත මේවරයා


තාලයට ගැයෙනාවිට සිතෙන්නේ කුමක්ද? නිසැකවම අලංකාර සහිත ජනගීයක් ඔබට මැවෙනු ඇති. එහෙත් ජන ගීයක යටගියාව නො එසේනම් අපේ මීඩියා කඩවල සිංහල හින්දු අලුත් අවුරුද්දට පමණක් ජාමේ බේරාගන්නට පමණක් ගායනා කරන බවට පසුගිය කාලයේදී මේ කවි පත් වූවා ඔබට මතක ඇති..! ජන ගායනා වල කර්තෘ අඥාත වීමේ පාපය කරණකොටගෙන මෙලෙස හිතූ හිතූ ලෙස බොල්, හරසුන්, ගී වලට එක් වීමට තරම් මේ කවි වර්තමානයේදී අවාසනාවන්ත වී ඇත.

ජනකවි වල පවතින තාලයන් අතර ඉතා
ඉහල ස්ථානයක වැජඹෙන මේවර කවි නොහොත් මේවර කෙළියේදී ගායනා කරන්නට යෙදෙන කවි වලට විශේෂ ස්ථානයක් හිමිව තිබේ..!

මේවර කෙළිය ආශ්‍රිතව ගමන් ගන්නා විවිධාප්‍රකාර මතිමතාන්තර ක්‍රීඩාවේ නම "මේවර" වූ පමණින්ම බැඳී තිබේ..! එක් තැනෙක අතුරුදන් වූ මෙහෙකරුවෙකු සොයනාකාරයක් ගන්නා ක්‍රීඩාවක් බවත් "මෙහෙවර=මේවර" වූ බව කියැවේ.

"වලගියදෝ මගේ මේවරයා" ලෙස කියැවෙන්නේ මෙහෙකරුවා කැලයට ගියාදෝ යන්නකැයි ඉන් අරුත්
ගන්වෙන බව පැවසේ. එහෙත් පුරාණ පොත් පත් වල සඳහන් වන්නේ "මේවරය" යනු කර්ණාභරණයක් බවයි. කෙනෙකුගේ නැතිවූ කන් ආභරණයක් ගැන තවත් අයෙකුගෙන් එය නැතිවූ තැනැත්තා/තැනැත්තිය විමසයි. ඔවුන් පවසන්නේ එය නොදුටුව බවයි.”

සරත් විජේවර්ධන මහතා විසින් රචිත ගැමි ගීය පොතේ මේවර කෙළිය ගැන මෙසේ දැක්වේ.

"මේවරයා යනු සේවකයා ය. මෙහෙවර යන පදය උච්ඡාරණයේ පහසුව තකා මේවර යන ලෙසට සකසාගෙන තිබේ. තම නිවසේසේවකයෙකු නැතිවීමෙන් අසල්වැසි යෙහෙළියන් අමතා ඔහු/ඇය ගැන

අමතන ලෙස මේ ගී සැකසී ඇත. ගීත ගායනයේදී ස්වාමි දුවගේ කොටස එක් අයෙකු විසින්ද පිළිතුර සමූහයක් විසින්ද ගයනු  ලැබේ. ඒ  සම්ප්‍රදායයි.

සාමාන්‍යයෙන් දෛනික කටයුතු සඳහා යන එන කොතැනකදී හෝ තම සේවකයා කැලෑ වැදී ඇතැයි සැක කරන ස්වාමි දුව ඔහුඇය දුටුවේදැයි යෙහෙළියන්ගෙන අසයි. එය විමසන හැම වරෙකම යෙහෙළියන් දෙන්නේ එකම පිළිතුරකි.”

ඒ   "නෑනෝ උඹ පල් නුඹේ දරුවන් පල් අප දුටුවේ නැත  මේවරයා"


1957 දී රචනා කරන්නට යෙදුන ඩබ්. ආර්. සෝමරත්න මහතාගේ සිංහල ජාතික ක්‍රීඩා නැමැති පොතේ සඳහන් වන අන්දමට "වර" යනු වට නොහොත් වටකුරු නැමති අදහසක් දෙන ලෙස කියැවෙන නිසාත්, මේ ක්‍රීඩාව වළල්ලක් පාදක කරගෙන ක්‍රීඩා කරන්නට යෙදෙන බවය. ඒ මහතාගේ මතය අනුව එක

ස්ත්‍රියකගේ වලල්ලක් නැතිවිය. එය කවර තැනකදී නැතිවී දැයි ඕ නොදනී. ඕ එය සෙවීමට උත්සහ දරයි.

තම මිතුරියන් ගෙන ඒ පිළිබඳව විමසයි. එහෙත් එවැන්නක් නොදුටු බව මිතුරියෝ පුන පුනා පවසයි. එයට අනුව ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක් එක තැනකට වී වළල්ල පස් යට සඟවති එතැන දකුනු කකුල් වලින් පාගාගෙන එකම පොදියක් ලෙස සැදෙත්. එක් අයෙක් හො දෙදෙනෙක් එම පොදිය වටා

කැරකැවෙමින් ගී විශේෂයක් වළල්ල ගැන ප්‍රශ්ණ කරයි.


සාර සදිසි පෙති පේර නෙලන කල වල ගිය දෝ මගේ      මේවරයා
නෑනෝ උඹ පල් නුඹේ දරුවන් පල් අප දුටුවේ නැත        මේවරයා
කොස් වතු කන්දේ කොස් නෙලනා දා වල ගියදෝ  මගේ මේවරයා
නෑනෝ උඹ පල් නුඹේ දරුවන් පල් අප දුටුවේ නැත        මේවරයා

මුංවතු කන්දේ මුං කඩනා දා වල ගියදෝ මගේ       මේවරයා
නෑනෝ උඹ පල් නුඹේ දරුවන් පල් අප දුටුවේ නැත මේවරයා
කහවතු කන්දේ කහ කොටනා දා වල ගියදෝ මගේ මේවරයා
නෑනෝ උඹ පල් නුඹේ දරුවන් පල් අප දුටුවේ නැත මේවරයා

කොටන පොලන කොට පොල් අඹරණ කොට වල ගියදෝ මගේ මේවරයා
නෑනෝ උඹ පල් නුඹේ දරුවන් පල් අප දුටුවේ නැත                මේවරයා
කලේ ගොසිල්ලා දර කඩනා කල වල ගියදෝ මගේ                මේවරයා
නෑනෝ උඹ පල් නුඹේ දරුවන් පල් අප දුටුවේ නැත                මේවරයා

නෑමට ගොස් එම නාන තැනේදී වල ගියදෝ මගේ    මේවරයා
නෑනෝ උඹ පල් නුඹේ දරුවන් පල් අප දුටුවේ නැත  මේවරයා
අලවතු කන්දේ අල කොටනා දා වල ගියදෝ මගේ   මේවරයා
නෑනෝ උඹ පල් නුඹේ දරුවන් පල් අප දුටුවේ නැත  මේවරයා

ලිඳට ගොසිල්ලා දිය අදිනා කල වල ගියදෝ මගේ     මේවරයා
නෑනෝ උඹ පල් නුඹේ දරුවන් පල් අප දුටුවේ නැත   මේවරයා
ගෙදර වටේ අතු ගාගෙන යන කල වල ගියදෝ මගේ  මේවරයා
නෑනෝ උඹ පල් නුඹේ දරුවන් පල් අප දුටුවේ නැත   මේවරයා

 

මේ ගී ගැයුම අවසාන වෙත්ම කැරකැවෙමින් සිටින කෙනා ඔට්ටුයි කියමින් වළල්ල ගැනීමට නැමෙයි. ඒ සමඟම වලල්ල පාගා ගෙන සිටින අයද නැමේ .දෙපසම පොර බදිති. ජය ලැබෙන්නේ වලල්ල අත්පත් කරගත් පක්ෂයට ය.

මේවර කෙළිය පිළිබඳ විප්ලවීය අදහසක් ඉදිරිපත් කරන මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා සිය "ජනශ්‍රැති විද්‍යාව" ග්‍රන්ථය හරහා මේවරය යනු මනිමේඛලාදාමය දැයි ඉඟියක් මතුකර ඇත. කතුන්ගේ ලිංගික ප්‍රදේශය වසා පළඳිනු ලබන යාතුකර්ම පළඳනාවක් වන මෙය ඇගේ ස්ත්‍රීකඩය හා සම්බන්ධවන එකක ලෙස එහි හුවා දක්වා ඇත. මෙය නැතිවී ඇත්තේ තනිවම , කැලෑවේ, වතුර ඇති තැනක, හේනක, ගොසින් සිටින විට ය. මින් ඇඟවෙන්නේ එම ස්ත්‍රීන් සමාජ අසම්මත අන්දමට හැසිරීම නිසා ඇතිවූ ඇබැද්දියක් දැයි මහාචාර්ය තුමා අලුත් මතයක් පලකර තිබේ. එතුමාගේ මතයට අනුව ඒ ඇබැද්දියෙන් මතුවූ සමාජ හානිය මඟ හරවා ඇය අස්වසා සමාජයටම ආපසු ස්ථාපිත කිරීමෙන් (re-institution) සටහන් කිරීමේ යාතුකර්මයක් ලෙස මේවර කෙළිය ඇතිවී තිබෙන බවයි.

මූලයන්:
ලංකාවේ ජනක්‍රීඩා - පී. ඇම්. සේනාරත්න මහතා
සිංහල ජාතික ක්‍රීඩා - ඩබ්. ආර්. සෝමරත්න මහතා
ජනශ්‍රැති විද්‍යාව - මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා
ගැමි ගීය - සරත් විජේවර්ධන

 

ලිව්වේ: LishWish

4 ක් ප්‍රතිචාර දක්වා ඇත.:

දුකා said...

නියමයි ලිශ් . . .

පොත් කීපෙක උදව් අරගෙන උඹ හරිම අපූරු විදිහට පාඨකයාව එක මොහොතක් වත් අතරමං නොකරන විදිහට පාඨකයාගේ හිත ඇද බැදගන්න විදිහට මේ ලිපිය සකස් කරලා තියෙනවා . .

හරිම අපූරුයි . .

නොදන්නා කරුනු රාෂියක් මේ ලිපිය නිසා ඉගෙන ගන්න ලැබුනා . .

ඇත්තෙන්ම මම හිතාගෙන හිටියේම මේවර කෙලිය කියන්නේ නැතිවූ වළල්ලක් ගැන සැකසුනු ක්‍රීඩාවක් කියලයි . .. .

හරිම අගෙයි ළිශ් . .

වචන මදි මේ ලිපිය ගැන උඹට ස්තූති කරන්න

නදීෂා said...

ගොඩක් හොද වැදගත් ලිපියක් මල්ලි.

මම මේක කියවනකම් හිතන් හිටියේ මේවර කෙලියෙ කියවෙන්නේ නැති උනු වලල්ලක් සම්බන්දව විතරයි කියලයි.

මහන්සි වෙලා කරුණු ගොඩක් හොයාගෙන තියනවා.
අපිත් එක්ක බෙදා හදා ගත්තට ගොඩක් ස්තුති.

Chanaka Aruna Munasinghe said...

මේවර කෙළිය ගායනා කරන mp3 එකක් හරි වීඩියෝ එකක් හරි හොයා දියෝ

charmi said...

බොහොම ස්තුතියි. මේවර කෙලිය ගැන දැන් හොයාගෙන යද්දි සියල්ල එකම වහලක් යටින් හමුවුනා.

Post a Comment