සක පදවන දන සරතැස නිවූ කරත්ත කවි

Jul 22, 2011

cattle


ජනකවි සඳහා අවධානය යොමු කරන විට අපට එහි අනු අංගයක් ව පවතින කරත්ත කවි නොතකා හැරිය නොහැකිය. අතීතයේ විවිධ සමාජ ස්ථර වල අය කරත්තය සිය දෛනික අවැසිතා සඳහා භාවිත කලද මෝටර් රථයේ ආගමනය නිසාවෙන් කෙමෙන් කෙමෙන් අභාවයට යන්නට විය.., කෙසේ වුවත් ඒ අභාවයට ගිය සම්ප්‍රදායන් අපට ඉතිරි කර යන්නේ ඉතා වටිනා දායදයන් ගොන්නකි.., කරත්ත ඇසුරේ ඉපදෙන කතා, කවි, තේරවිලි හා ආප්තෝපදේශ බොහෝය. ඉන් ඉතාමත්ම විසල් ඉඩක් හිමි කරගෙන සිටින කරත්ත කවිය.., අපට නිහඬවම පවසන්නේ කරත්ත රෝද යට වැලලි රසවත් ඉතිහාසයක් ඇති බවය.

කරත්ත කවි බොහෝවිට අපට හමුවන්නේ සුහද සංවාදශීලී ගුණයෙන් පිරිපුන් කවි ලෙසය. බිම්මට්ටමේ ගැමියාට වුව තේරුම් ගත හැකි සරළ සුගම බස් වහරකින් සජ්ජිත මේ කවි අතර ගමන් විඩාව නිවන උපහාසය ආදී ගති ගුති ගුණයන්ද නොඅඩුව පැවතිණි.

කරත්ත කවියට වැඩි පුරම හේතු පාදක වුයේ බර කරත්තයයි.., කුලීන ජනයා සිය ගමන් බිමන් වලට භාවිත කල තිරික්කල ඇසුරින් නිපදවී ඇති කරත්ත කවි තාම ඌණය.., සහර විට කුලීණ ජනයා ගේ කරත්තය පදවාගෙන යනවිට යටත් වැසියා ගේ සිතට කවි සිතුවිලි පහල නොවීම විය හැකිය.

බර කරත්ත අතීතය සිය ගමන් ආරම්භ කරන්නේ සවස් යාමයේය.., ලන්තෑරුම් ආලෝකයේ සිය හමන නිවුනු මඳ පවන මැද ආරම්භ කරන ගවයාට විඩාව දහවලට සාපේක්ෂය අඩුය. කරත්ත කවි බෝවිට කියන්නේ ගැලක කරත්තය ගමන් අරඹනා විටය. එක කවියක් කරත්තයකින් ඇසෙද්දී ඊට පිළිතුරු කවිය ඊළඟ අසල වන කරත්තයෙන් ඇසේ. මෙලෙස ගැල අවධියෙන්, ක්‍රියාකාරීව පවත්වා ගන්නත්, නිද්‍රාව ඌණ කරන්නත් මේ කවි ලබාදුන්නේ මහඟු පිටු වහලකි. තමා ගමන් ගන්නා අඩවිය ග්‍රාමය සහ ගොනුන්ගේ ආරක්ෂාවට වන දෙපස සිටින සියලු සතුන් බියවද්දා පලවාහරින්නටද මේ කවි උපයෝගී කරගන්නට ඇත.

ඇතැම් විට කරත්තය අදින්නට අපහසු අවස්ථාවල ගොනුන් දෙදෙනෙකු බඳින්නට කටයුතු කරයි.., සමහර විට හදිසි අවැසිතාවට රැගෙන යන අමතර ගොනාද මෙලෙස අනික් දෙදෙනා බැඳි කර දණ්ඩ අනික් ගොණාටද ආඳනු ලබයි මෙලෙස ආඳනු ලබන කර දන්ඩ තන්ඩලේ නමින් හැඳින්වේ.පහත කවියේ මුල් පදයේ කියන්නේ එයයි.

තණ්ඩලේ දෙන්න දෙපොලේ දක්කනවා
කටුකැලේ ගාල නොලිහා වධ දෙනවා
හපුතලේ කන්ද දැකලා බඩ දනවා
පව් කල ගොනෝ ඇදපන් හපුතල් යනවා

සාමාන්‍ය ගමන් සඳහා මෙම තණ්ඩලේ භාවිත නොකරන අතර.., බොහෝවිට කන්දක්, අධික බරක් අදින්නට සිදුවන අවස්ථාවල තණ්ඩයේ භාවිතය දැකිය හැකිය. සමහර විට මේ තණ්ඩලේ හපුතලය කන්ද නිසාම ආරම්භ වූවක් විය හැකිය. මක්නිසාදයත් වර්තමානයේදී පවා වාහන පවා කන්ද තරණය කරන්නේ ඉතා ආයාසයෙන් වන නිසා ය.

බ්‍රිතාන්‍ය යටත් විජිත කාලයේදී අතීත කරත්තකරුවා ගතකලේ ඉතාම දුක්බර ජීවිතයකි. කුසට අහරක් නැතිව, ගතට නිවනක් නැතිව දිවා රෑ වෙහෙසෙමින් ගතවන මේ ජීවිතේට ඇති එකම සැනසුම දෙවි පිහිටයි, ඒ ඔහුගේ අවසාන බලාපොරොත්තුවයි.

දුප්පත් කමට ගොන් බැඳගෙන දක්කනවා
කන්ට නැතිව දිව රෑ දෙන වෙහෙසෙනවා
ගොන්ටත් නොයෙක වධ දී අප ගෙනියනවා
දැන්වත් අපිට දෙවියෝ පිහිටක් වෙනවා

අතීත කරත්ත කරුවන් වර්තමානයට සමාන කරන කල සමාන වූයේ හිමිකරුවෙකු යටතේ හිඳිනා කුලී වාහන රියදුරකුටය. හිමි කරුවා කරත්ත පදවන්නාට ගෙව්වේ වැටුපකි. තවද කරත්ත කරුවාට ගෙවන්නට යෙදෙන පඩියෙන් කරත්තයට යම් හානියක් වී ඇතිනම් එයද ඔහු කරත්තකරුවාගේ වැටුපෙන්ම අඩු කරගැනීම කරගන්නා ලදී. පහත ඇති කවිය කරත්ත කරුවා ගෙවා ඇති අනාරක්ෂිත ජීවිතය පිළිබඳව ඉඟි කරන්නකි.

බර වැඩි වෙලා ගොන් බානට උඹ අවුලේ
කර වණ කලේ ඇයිදැයි මුගේ නැද්ද මොලේ
මූ මරලා දැම්මෝතින් හොඳයි කැලේ
පොත බලා පඩි දෙනකම් හිටු ගාලේ


අතීත ජනයා සිය භාන්ඩ ප්‍රවහනයට අමතරව ගමනාගමනයට භාවිත කලේ කරත්තයි..,  ගැල් බැඳ ගමන් ගන්නේ රාත්‍රී කාලයේදීය.., තනිකමට බුලත් විටකුත්, සීතලට සුරුට්ටුවක් පත්තු කර ගැනීමට අතීත ජනයා අමතක නොකලහ. ආහාර ලෙස කඩ කෑමද ඉහත කී බුලත් සුරුට්ටු ආදියද ගමන ගන්න විට අසල ඇති කඩයෙන් ගනීම සිදුවෙයි. කතරගම යන ජනයා යන අතරමග නැවතී අලුත් ගම ප්‍රදේශයෙන් අවැසි දේ ලබාගෙන කතරගම වන්දනා කරන්නට යන ආකාරය පහත කවියෙන ප්‍රකාශ වෙන ආකාරය මනහරය.

කන්නේ කටට රස හින්දයි බුලත් මම
බොන්නේ සුරුට්ටුව සීතල යන්න තම
කන්නේ රෑ කඩෙන් නැවතී අලුත් ගම
යන්නේ වන්දනාවේ අපි කතර ගම


ගැලක් ගමන් ගන්නා විට ස්වාභාවික කරදර වලට මුහුණදීම ඉතා සාමාන්‍ය සිදුවීමකි. වර්ශාව නිසාවෙන් ගොනා කරත්තය අදින්නට මැලිවීම සිදුවෙයි.., මේ සිදුවීම මතකයට නැගෙන කවියාගේ මුවට කවි සිතුවිලි නැගීම ස්වයංව සිදුවේ. වැසි තර වනවිට ගොනාට අදින්නට අමාරු වන බවත් ගොනාට ඒ වදයක් වෙන නිසා කරත්ත කරුවාගේ සිතටද ගොන ගන දුක ගෙන දෙයි. මේ දුක්ප්‍රාප්තියේ උච්චතම අවස්ථාව "මගේ රිස්ස යන්නා" යෙනුවෙන පල කර ඇති පහත කවියට සිත් යොමන්න.

වැස්ස වහින්නා මඩ ගොහොරු වෙන්නා
ගොනා නොයන්නා ගෝණිය තෙමෙන්නා
ගොනා තල් අත්ත කපුරැල්ල වන්නා
මෙදා පැටලිල්ල මගෙ රිස්ස යන්නා

කරත්ත දක්කගෙන යන විට නගරවල ඇති විවිදාකාර දේට හිත යන අතර එසේම කරත්ත කරුවන්ගේ තරුණ ජීවිතයද මඟටම ගෙවේ. නගර ආශ්‍රිතව ගතවන ජීවිතවල මේ ආකාරයේ ජීවිත බෝහෝ ඇත., නගර ගැන තොරතුරු සඳහන් වෙන මේ කවියේ කරත්තය නවතන්නේ හොරණ ය. කොතරම් වැර යොදා කලත් සිය වෘත්තිය පිළිබඳ ව පවතින කලකිරීම පහත කවියෙන් මොනවට පැහැදිලි වේ.

අරුම වැඩ දුටිමි කඩවල සරසනවා
තරම නොදැන ඇවිදලාම ලතැවෙනවා
තරුණ කල වයස කඩ වල පසු ලතවෙනවා
හොරණ කඩ පෙලේ ගොනු අප නවතනවා1


අතීතයේ පාලම් බැඳීම කලේ ලී භාවිතා කරය..,අතීතයේ වනයේ ලී සහ ලෑලි ඇදීමට භාවිත කරන ලද්දේ කරත්තයයි.මාදුරු ඔය පාලම සෑදීම සඳහා ලී ඇදි කරත්ත කරුවෙකු ඒ පිළිබඳව සිය අත්දැකීම කියන පහත කවිය විමසන්න.

කලුවර කැලේ ලී කපලා ලී ඇද්දා
මඩකලපුවේ ගොනිගෙන ලෑලිත් ඇද්දා
අලින් උසට ගල් පෙරළා වැටි බැන්දා
මාදුරු ඔයට ඔබනා පාලම බැන්දා2

කරත්තය පදවාගෙන යන අතරමඟ වැවී ඇති ලපටි තනකොල කපා ගොනුට කෑමට දී ගමන ආරම්භ කරමුදැයි අසන කරත්ත කරුවෙකු ගැන පහත කවියෙන් දැක්වේ. ගැලක ගොණු සඳහා සාමාන්‍යයෙන් කන්නට දෙන්නේ පිදුරු වුව ලපටිතණකොල වලට ගොනුන් දක්වන රුචිකත්වය මේ කවියට හේතුවූවාදැයි සිතෙයි..!

යන ලෙසිනේ ගුරුගොඩ පාලම පැනලා
එම ලෙසිනේ පන්තියේ වත්තට පනලා
දුටිමි අනේ තණකොල වත්තක වැවිලා
කපලා ගෙනේ එම පාරට ගොන් ලිහලා3


තණ්ඩලේ දෙන්න දෙපොලේ දක්කනවා
ගොන් කරේ මිණි බැඳලා නද දෙනවා
කටුකැලේ ගාල නොලිහා වද දෙනවා
පවුකල ගොනෝ ඇදපන් හපුතල් යනවා4


මෙම ලිපියේ මුල්ම කවිය මේ විව මේ ඉහත කවියේ විශේෂ බවක් ඇත. ඒ නම් හපුතලේ කන්ද දැකලා බඩ දනවා වෙනුවට ගොන් කරේ මිණි බැඳලා නද දෙනවා යන්න යෙදී ඇත. කරත්ත්යා අදින ගොන්ගේ අලංකාරයට  ගෙජ්ජි වැලක් බඳියි ගමන් ගන්නා විට මේ ගෙජ්ජි වැල ඉතාමත් කන්කලු අයුරින් හැඬවේ. මේ ආකාරයෙන් ම ප්‍රාදේශීයව පද වෙනස් වෙන කවි කරත්ත කවි අතර ඇත. පහත කවිය බලන්න.

අටිය වඩන ලොකු අප්පුගේ කරත්තේ
කැහැටු ගොන් බාන බැඳලා දෙපැහ්තේ
කවට කමට විය අඹරා ගස් නිත්තේ
ගොසින් ලිහමු මොරතොට නැන්දගේ වත්තේ
5

මේ කවියේ අවසාන කවිපදය එනම ගොසින් ලිහමු මොරතොට නැන්දගේ වත්තේ යන්න සබරගමුවේ භාවිත වන්නේ ගොසින් ලිහමු මොරවක නැන්දගේ වත්තේ ලෙසය. නමුත් වයඹ භාවිත වන්නේ , ගොසින් ලිහමු ගිංතොට නැන්දගේ වත්තේ ලෙසය. දුර්වල ගොනුන්ගෙන් අතොරක් නැතිව වැඩ ගන්නා ලොකු අප්පු ගැන ඉතාම උපහාසයෙන් ඇති අයුරක් ඉහත කවියෙන් ගම්‍යවේ.

මේ අයුරෙන් කරත්ත කවි ගැන පූර්ණ සෙවුමක් කරන්නට නම් තවත් ලිපි ගණනාවක් ලිපිය යුතුය., මිනිස් ජීවිතයේ සුන්දර පැතිකඩක් නිරූපනය කරන මේ කවි සම්ප්‍රදාය අතීත ජනයා තුල සිය දුක්ඛ දෝමනස්සයන් කලාත්මකව එලිදැක්වීමට තිබූ හැකියාව පෙන්වන මන බඳනා පැතිකඩක් බව නොකියාම බැරිය. කරත්ත කවි පිළිබඳ රසබර තොරතුරු සමඟින් තවත් ලිපියකින් හමුවෙමු. රැඳී සිටින්න තුන්පත් රටාව සමඟ..!

තොරතුරු උපුටාගත් ග්‍රන්ථ ►

1 ජනකතාවෙන් උපන් උපමා සහ අප්තෝපදේශ කතා.
  එම්.ජී. සිරිල් , නාලිනී කත්‍රිආරච්චි.
  රත්න ප්‍රකාශකයෝ, 1999.

2 ජනකවි සාහිත්‍ය.
  පී. වීරසිංහ.
  ජාතික පුස්තකාල සේවා මණ්ඩලය, 1986

3 ජන කවි මඥ්ජරී.
  එච්.වී.ජී. සෝමසිරි, ජයවර්ධන.
  ඇස්.ගොඩගේ ප්‍රකාශන, 1996.

4 ජන කවිය හා ගැමි සමාජය.
  දයා අමරසේකර.
  ආරිය ප්‍රකාශකයෝ, 1996

5 ජනශ්‍රැති විද්‍යාව.
  මහාචාර්ය නන්දසේන රත්නපාල.
  ඇස්.ගොඩගේ ප්‍රකාශන, 1995.

මයුරා වන්නම

Jun 9, 2011

කතරගම දෙවිඳුන් ගමන් යන්නේ මයුරා පිට හෙවත් මොණරෙක් පිට බව ලංකාවේ දේව ඇදහිල්ල ගැන දැනුම් ඇති ඕන අයෙකුට නොව පන්සල් යන පන්සලේ එක් කොනක ඇති දේවාල වලට ගොස් ඇති ඕනෑ කෙනෙකුට වැටහීමක් ඇති.


පන්සල් වලට දේවාල එකතු වුනු අන්දම වෙනමම කතාකල යුතු මාතෘකාවක් නමුත් අද කතරගම දෙවියන්ගේ වාහනය වූ මයුරාගේ ගමන් විලාසය ඇසුරින් නිර්මානය වූ මයුරා වන්නමේ වීඩියෝවක් ඇතුලත් කොට මයුරා වන්නම මෙහි සඳහන් කරනට සිතුවෙමි.


තානම:

තනෙන තන තන, තනෙන තන තන, තනෙන තන තානා
තිනෙන තින තින, තිනෙන තින තින, තිනෙන තින තීනා


කවිය :

සතර සිව්වර බලැති දිඩතර - සුරිඳුනේ කදි රා
කතරගම පුර සුරිඳු වාහන කරති රණ මොන රා

පතර තෙදගම් බිර සතට සෙත වේල අවිය ද රා
නොහැර ඉසිවර යෙදුව මෙමයුර මර්ණකර මයු රා


බෙර මාත්‍රා:
දොංතක දොංතක දො ජිං - (ගත්තක ජිගත )


කස්තිරම:
තහර්ජිත් ගතකුං තකජිංකුඳ - තහර් ජිත් ගත තරිකිට
කුකුඳන් තා -


සීරු මාරුව :
ජිකු තක ජිජිකුඳ ගජිත දොද් දොංගඩ කඩතක කුකුඳන් කුඳං,
කුඳන්තාකුදං, කුංඳතා - කුංඳ කුඳං තාග් තජිත් තක තරිකිට
කුං දං
ගජ්ජිත් කුංතක තරිකිය කුං දං තා -


අඩව්ව:
තහර්ජිත් ගත කුංතක, ජිංගත, ගජ්ජින්ගත තරිකිට කුංදං
තහර්ජිත් - තහර් ජිත් ගත කුංතක ජිංගත, ගජ්ජින් ගත තරිකිට
කුකුදන් තහර්ජිත් - ගත්තක, ජිගත - තහර්ජිත්, තහර්ජිත්
තහර්ජිත් ගත්තක, ජිගත- තහර්ජිත්, තහර්ජිත්, තහර්ජිත්
ගත්තක ජිගත - තහර්ජිත්, තහර්ජිත්, තහර්ජිත්, ගත්තක
තහර්ජිත්, තහර්ජිත්, තහර්ජිත්, තහර්ජිත්, තහර්ජිත් - / ගත්තක
ජිගත ජෙජ් ජෙං කුංදං තහර්ජිත් -


ළඳුන් ලියූ කුරුටු ගී

Dec 7, 2010

372797964_54e4c343ff_z


සිංහලෙන් බෝධිසත්වයා යන්නට ස්ත්‍රී ලිංග පදයක් නැත.. නමුත් මහායානයට අනුව ස්ත්‍රීලිංග බෝධිසත්වයන් සිටී. ආරම්භ කරන්නට යන කතිකාවතට ඉහත වැකිදෙක අදාල නොවුනත් අදාල විය හැකියි සිතා එම වදන් දෙකෙන් ආරම්භ කරමි. සීගිරිය කාශ්‍යප විසින් තනවා ඇතැයි කියනු ලැබේ. එහි සීගිරි චිත්‍ර ඇත. එහි කැටපත් පවුරක් ඇත. විශලේෂණය ඇරඹෙන්නේ එතැනින්ය. කැටපත් පවුරට ස්ත්‍රින් කවි ලියා නැතිද? පැනයක් ලෙස එය නැගුවහොත් එයට පිලිතුරු ලෙස මෙම ලිපිය ආරම්භ කරමි.
කැටපත් පවුරට ලියා ඇති කවි වලින් හඳුනාගෙන ඇති පරිදි ස්ත්‍රින් සත්දෙනෙකු කවි ලියා ඇත. ඔවුන් නම් වශයෙන් ගත් කල පහත පරිදි වේ.

  1. දේවා හෙවත් මහමත අඹු - 152 කවිය
  2. දයාල් බතී - 122 කවිය
  3. නාල් - 543 කවිය
  4. සෙත් බතී - 400 කවිය
  5. ණිදලු මිහිදී අඹු - 41 කවිය
  6. සෙවි කලී - 247 කවිය
  7. සෙලු අඹු - 681 කවිය

මහමත් අම්බු දෙවාමි,
මන මෙසි නැගි බෙයන්ද්හි ලොරැසි යොවනක් මැයි,
අති මුතු වැල ගත බැලුමැ සෙපත අපහය ගත.


මුව ඇස් ඇති සීගිරි රූමතියන් මා තුල කෝපය ඇතිකරවයි.
මුතු වැලක් අතින් ගත් ඈ ඒතරම් රූමත්ය,
ඇය අප හා රූපයට තරඟ වැදී ඇත.
(152 කවිය - දේවා හෙවත් මහමත අඹු )


මහනෙලබර වරල ගෙල හුණු පිහිරල රසන්,
ඇදිනි තමා මෙබැලුම වෙනක වී අප නුයුනග තා.


මහනෙල් මලින් ගැවසුන ඔබේ වරලස ද
ඔබේ ඇස්කොන් බැල්මද අප හා තරඟ කරයි..
(41 කවිය - ණිදලු මිහිදඹු)


පරණවිතානයන් කියනා අන්දමට එකල ලියන්ද බොහෝවිට සිය ස්වාමියාගේ නම භාවිතා කර ඇත. මෙය බොහෝ වංශවත් පවුල්වල සිදුවී ඇත. ඒ අනුව දේවා හෙවත් මහමත අඹු යන්න මහමත නම් පුද්ගලයාගේ අඹු වූ දේවා ඉහත පලමු කවිය ලියා ඇතැයි සැක පහල කල හැක. එසේම ණිදලු අඹු, සෙලු අඹු යනු විවාහක කාන්තාවන් බවත් අන් කාන්තාවන් අවිවාහක විය හැකි බවටද උපකල්නයකට එලඹිය හැක. වැදගත් වන්නේ මෙයය එනම් එකල කාන්තාවෝද කැටපත් පවුරේ කවිලියා ඇති බවය.

ලියා එව්වේ – ආගන්තුකයා | Stranger විසින්.

මේවර කෙළිය ආශ්‍රිත සමාජීය මතිමතාන්තර

Oct 27, 2010

main_dance copy


සාර සදිසි පෙති පේර නෙලන කල වල ගිය දෝ මගේ මේවරයා
නෑනෝ උඹ පල් නුඹේ දරුවන් පල් අප දුටුවේ නැත මේවරයා


තාලයට ගැයෙනාවිට සිතෙන්නේ කුමක්ද? නිසැකවම අලංකාර සහිත ජනගීයක් ඔබට මැවෙනු ඇති. එහෙත් ජන ගීයක යටගියාව නො එසේනම් අපේ මීඩියා කඩවල සිංහල හින්දු අලුත් අවුරුද්දට පමණක් ජාමේ බේරාගන්නට පමණක් ගායනා කරන බවට පසුගිය කාලයේදී මේ කවි පත් වූවා ඔබට මතක ඇති..! ජන ගායනා වල කර්තෘ අඥාත වීමේ පාපය කරණකොටගෙන මෙලෙස හිතූ හිතූ ලෙස බොල්, හරසුන්, ගී වලට එක් වීමට තරම් මේ කවි වර්තමානයේදී අවාසනාවන්ත වී ඇත.

ජනකවි වල පවතින තාලයන් අතර ඉතා
ඉහල ස්ථානයක වැජඹෙන මේවර කවි නොහොත් මේවර කෙළියේදී ගායනා කරන්නට යෙදෙන කවි වලට විශේෂ ස්ථානයක් හිමිව තිබේ..!

මේවර කෙළිය ආශ්‍රිතව ගමන් ගන්නා විවිධාප්‍රකාර මතිමතාන්තර ක්‍රීඩාවේ නම "මේවර" වූ පමණින්ම බැඳී තිබේ..! එක් තැනෙක අතුරුදන් වූ මෙහෙකරුවෙකු සොයනාකාරයක් ගන්නා ක්‍රීඩාවක් බවත් "මෙහෙවර=මේවර" වූ බව කියැවේ.

"වලගියදෝ මගේ මේවරයා" ලෙස කියැවෙන්නේ මෙහෙකරුවා කැලයට ගියාදෝ යන්නකැයි ඉන් අරුත්
ගන්වෙන බව පැවසේ. එහෙත් පුරාණ පොත් පත් වල සඳහන් වන්නේ "මේවරය" යනු කර්ණාභරණයක් බවයි. කෙනෙකුගේ නැතිවූ කන් ආභරණයක් ගැන තවත් අයෙකුගෙන් එය නැතිවූ තැනැත්තා/තැනැත්තිය විමසයි. ඔවුන් පවසන්නේ එය නොදුටුව බවයි.”

සරත් විජේවර්ධන මහතා විසින් රචිත ගැමි ගීය පොතේ මේවර කෙළිය ගැන මෙසේ දැක්වේ.

"මේවරයා යනු සේවකයා ය. මෙහෙවර යන පදය උච්ඡාරණයේ පහසුව තකා මේවර යන ලෙසට සකසාගෙන තිබේ. තම නිවසේසේවකයෙකු නැතිවීමෙන් අසල්වැසි යෙහෙළියන් අමතා ඔහු/ඇය ගැන

අමතන ලෙස මේ ගී සැකසී ඇත. ගීත ගායනයේදී ස්වාමි දුවගේ කොටස එක් අයෙකු විසින්ද පිළිතුර සමූහයක් විසින්ද ගයනු  ලැබේ. ඒ  සම්ප්‍රදායයි.

සාමාන්‍යයෙන් දෛනික කටයුතු සඳහා යන එන කොතැනකදී හෝ තම සේවකයා කැලෑ වැදී ඇතැයි සැක කරන ස්වාමි දුව ඔහුඇය දුටුවේදැයි යෙහෙළියන්ගෙන අසයි. එය විමසන හැම වරෙකම යෙහෙළියන් දෙන්නේ එකම පිළිතුරකි.”

ඒ   "නෑනෝ උඹ පල් නුඹේ දරුවන් පල් අප දුටුවේ නැත  මේවරයා"


1957 දී රචනා කරන්නට යෙදුන ඩබ්. ආර්. සෝමරත්න මහතාගේ සිංහල ජාතික ක්‍රීඩා නැමැති පොතේ සඳහන් වන අන්දමට "වර" යනු වට නොහොත් වටකුරු නැමති අදහසක් දෙන ලෙස කියැවෙන නිසාත්, මේ ක්‍රීඩාව වළල්ලක් පාදක කරගෙන ක්‍රීඩා කරන්නට යෙදෙන බවය. ඒ මහතාගේ මතය අනුව එක

ස්ත්‍රියකගේ වලල්ලක් නැතිවිය. එය කවර තැනකදී නැතිවී දැයි ඕ නොදනී. ඕ එය සෙවීමට උත්සහ දරයි.

තම මිතුරියන් ගෙන ඒ පිළිබඳව විමසයි. එහෙත් එවැන්නක් නොදුටු බව මිතුරියෝ පුන පුනා පවසයි. එයට අනුව ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක් එක තැනකට වී වළල්ල පස් යට සඟවති එතැන දකුනු කකුල් වලින් පාගාගෙන එකම පොදියක් ලෙස සැදෙත්. එක් අයෙක් හො දෙදෙනෙක් එම පොදිය වටා

කැරකැවෙමින් ගී විශේෂයක් වළල්ල ගැන ප්‍රශ්ණ කරයි.


සාර සදිසි පෙති පේර නෙලන කල වල ගිය දෝ මගේ      මේවරයා
නෑනෝ උඹ පල් නුඹේ දරුවන් පල් අප දුටුවේ නැත        මේවරයා
කොස් වතු කන්දේ කොස් නෙලනා දා වල ගියදෝ  මගේ මේවරයා
නෑනෝ උඹ පල් නුඹේ දරුවන් පල් අප දුටුවේ නැත        මේවරයා

මුංවතු කන්දේ මුං කඩනා දා වල ගියදෝ මගේ       මේවරයා
නෑනෝ උඹ පල් නුඹේ දරුවන් පල් අප දුටුවේ නැත මේවරයා
කහවතු කන්දේ කහ කොටනා දා වල ගියදෝ මගේ මේවරයා
නෑනෝ උඹ පල් නුඹේ දරුවන් පල් අප දුටුවේ නැත මේවරයා

කොටන පොලන කොට පොල් අඹරණ කොට වල ගියදෝ මගේ මේවරයා
නෑනෝ උඹ පල් නුඹේ දරුවන් පල් අප දුටුවේ නැත                මේවරයා
කලේ ගොසිල්ලා දර කඩනා කල වල ගියදෝ මගේ                මේවරයා
නෑනෝ උඹ පල් නුඹේ දරුවන් පල් අප දුටුවේ නැත                මේවරයා

නෑමට ගොස් එම නාන තැනේදී වල ගියදෝ මගේ    මේවරයා
නෑනෝ උඹ පල් නුඹේ දරුවන් පල් අප දුටුවේ නැත  මේවරයා
අලවතු කන්දේ අල කොටනා දා වල ගියදෝ මගේ   මේවරයා
නෑනෝ උඹ පල් නුඹේ දරුවන් පල් අප දුටුවේ නැත  මේවරයා

ලිඳට ගොසිල්ලා දිය අදිනා කල වල ගියදෝ මගේ     මේවරයා
නෑනෝ උඹ පල් නුඹේ දරුවන් පල් අප දුටුවේ නැත   මේවරයා
ගෙදර වටේ අතු ගාගෙන යන කල වල ගියදෝ මගේ  මේවරයා
නෑනෝ උඹ පල් නුඹේ දරුවන් පල් අප දුටුවේ නැත   මේවරයා

 

මේ ගී ගැයුම අවසාන වෙත්ම කැරකැවෙමින් සිටින කෙනා ඔට්ටුයි කියමින් වළල්ල ගැනීමට නැමෙයි. ඒ සමඟම වලල්ල පාගා ගෙන සිටින අයද නැමේ .දෙපසම පොර බදිති. ජය ලැබෙන්නේ වලල්ල අත්පත් කරගත් පක්ෂයට ය.

මේවර කෙළිය පිළිබඳ විප්ලවීය අදහසක් ඉදිරිපත් කරන මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා සිය "ජනශ්‍රැති විද්‍යාව" ග්‍රන්ථය හරහා මේවරය යනු මනිමේඛලාදාමය දැයි ඉඟියක් මතුකර ඇත. කතුන්ගේ ලිංගික ප්‍රදේශය වසා පළඳිනු ලබන යාතුකර්ම පළඳනාවක් වන මෙය ඇගේ ස්ත්‍රීකඩය හා සම්බන්ධවන එකක ලෙස එහි හුවා දක්වා ඇත. මෙය නැතිවී ඇත්තේ තනිවම , කැලෑවේ, වතුර ඇති තැනක, හේනක, ගොසින් සිටින විට ය. මින් ඇඟවෙන්නේ එම ස්ත්‍රීන් සමාජ අසම්මත අන්දමට හැසිරීම නිසා ඇතිවූ ඇබැද්දියක් දැයි මහාචාර්ය තුමා අලුත් මතයක් පලකර තිබේ. එතුමාගේ මතයට අනුව ඒ ඇබැද්දියෙන් මතුවූ සමාජ හානිය මඟ හරවා ඇය අස්වසා සමාජයටම ආපසු ස්ථාපිත කිරීමෙන් (re-institution) සටහන් කිරීමේ යාතුකර්මයක් ලෙස මේවර කෙළිය ඇතිවී තිබෙන බවයි.

මූලයන්:
ලංකාවේ ජනක්‍රීඩා - පී. ඇම්. සේනාරත්න මහතා
සිංහල ජාතික ක්‍රීඩා - ඩබ්. ආර්. සෝමරත්න මහතා
ජනශ්‍රැති විද්‍යාව - මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා
ගැමි ගීය - සරත් විජේවර්ධන

 

ලිව්වේ: LishWish

දුප්පත් කම නිසයි මම පැල් . . . . . .. .. රකින්නේ!

Aug 12, 2010



මේ බ්ලොග් එක අප්ඩේට් කරන්න කියලා ගෙනාපු පොත් රැසක් අපි ලඟ තිබෙනවා.

නමුත් නිතර අප්ඩේට් නොවන එකම පරහා වේලාව සොයා ගන්න තියෙන අපහසුවයි . . .

දැන් වේලාව පාන්දර 3යි 20යි . . .

හවස වැඩ නිමාවෙලා ගෙදර ආපු ගමන් පොඩි නින්දක් දාපු නිසා ඔන්න අද මහ රෑ ඇහැරිලා ඉඳගෙන ලංකාවෙන් ගෙනාපු
රුක්මනී අරන්ගල්ල මහත්මිය රචනා කරපු "ජන කවි" කියන ප්‍රමානයෙන් කුඩා නමුත් විශාල වටිනාකමකින් යුතු පොත් පින්චෙන් උපුටා ගත්තු ලිපියක් හා ඒ ලිපිය හා බැඳි කවි කීපයක් සටහන් කරන්න අදහස් කලා.

. . . . . . . . . . . . . . .

පැල්කවි

ගොවියෝ ජනවාරි මාසයේ කැලෑ කපා දමා ඒවා වියලී ගිය විට මාර්තු මාසයේදී කැලෑ ගිනි තබා පුර පාලොස්වක් පොහොයට පසුව එලැඹෙන මාසේ පෝයත් අතර කාලය තුල එසේ පුළුස්සා ගත් හේන්වල කුරක්කන් වැනි ධාන්‍ය වපුරති.වෙනත් බෝග වර්ග සිටුවති.

ඒවා පැළවී කිරිවැදී එන කාලය වන විට සතුන්ගෙන් වන හානි අවම කර ගැනීම සඳහා හේනේ මැද රූස්ස ගසක තනන ලඳ පැලේ වෙසෙමින් හේන රැක බලා ගැනීමෙහි නිරත වෙති. පැල තනා ගත් ගස යට ගැසූ ගිනි මලයේ එලියෙන් හේනට ඇදී එන සතුන් දකින ඔවුහු නොයෙක් ශබ්ද ඝෝෂා පවත්වා උන් පන්නා දමති.

රාත්‍රිය එළඹී කලය ගතවන විට පාළුව කාන්සිය නිදිමත ගතිය දැනෙන්න පටන් ගනී. එවිට ඔහු මුළු පරිසරයේම පාලු ගතිය පළවා හරිමින් කවියක් කියයි. ඒ කවිය ඇසෙත්ම අල්ලපු හේනෙහි පැලෙහි සිටින තැනැත්තාද එයට පිලිතුරු වශයෙන් කවියක් කියයි.

මේ ආකාරයට හේන් යාය පුරා දිගින් දිගටම කවි කියැවෙන විට පාළුව කාන්සිය මඟහැරී සිතට සහනයක් හා සවියක් දැනෙයි.සතුන්ගේ පැමිනීමද වැළකෙයි. මේ අකාරයට හේනේ හෝ කුඹුරේ රැකවරණය තකා පැලේ වෙසෙමින් කියන ලද මේ කවි "පැල් කවි" නමින් හැඳින්වේ.

ලස්සන හිමවතේ මා වී . . . . . . . . . පැසෙන්නේ
දුක්දෙන අලි ඇතුන් පන්නා . . . . . . . හරින්නේ
රැක්මෙන දෙවියනේ වෙලෙ බත් . . . බුදින්නේ
දුප්පත් කම නිසයි මම පැල් . . . . . . .රකින්නේ

මේ කවියෙන් ජන කවියා තමාගේ තරතිරම වටපිටාව ඉතා පැහැදිලි ලෙස අව්‍යාජ ලෙස කියා පෑමට හැකිවී ඇති නිහතමානී සවභාවය අපට වැටහෙයි. තමාගේ දරිද්‍රතාවය නිසා තමා පැල් රකින බවත් එසේ පැල් නොරැක කුඹුරෙන් අපේක්ෂිත ආදාලම නොලැබිය හැකි බවත් ඔහු හොඳින් දනී. පැසී එන කුඹුරේ සුන්දරත්වයෙන් ඔද වැඩී ගිය ගොවියා තුල කිසියම් ආකාරයක ප්‍රාර්ථනා ඉටුවීමක් පිලිබඳවද යම් අදහසක් ප්‍රකාශ කරන අයුරුද පෙනේ.

මේ අකාරයට පැල් රැකීම විනෝද ක්‍රියාවක් නොවීය. වගාකරන ලද හේනේ සරුසාර පලදාවක් ලැබෙන වග පෙනෙන විට ගොවියාගේ සිත සතුටින් පිරීයන බව ඔහුගේ ප්‍රකාශන වලින් අපට පැහැදිලි වෙයි.

හේන් ගොවිතැන පමනක් නොව කුඹුරු ගොවිතැන සම්බන්ධයෙන්ද සමහර විට පැල් රැකීම අවශ්‍ය වන අවස්ථා උදා වෙයි. ඝන වනාන්තර යාබදව කෙරෙන වී වගාවට හානිකර සතුන්ගෙන් කුඹුරු ආරක්ෂා කර ගැනීමට ගොවියාට පැල් රැකීම කල යුතු වෙයි. පොදුවේ හේන් වගාව, වී වගාව දෙකටම අවශ්‍ය සාධකයක් ලෙස පැල් රැකීම හැඳින්විය හැක.

සමහර විට හේනේ හෝ කුඹුරු අස්වැන්න නෙලන කාලය ලංවෙත්ම ගොවියාට පමනක් නොව පෞලේ සෙසු සාමාජිකයන්ටත් හෙනේ පලේ කාලය ගත කරන්නට සිදුවෙන අවස්ථා දැකගත හැකිය. කෙසේ වෙතත් හේනේ පැල ගොවියාගේ අභිමතාර්ථ සාධනයට ඉවහල් වන එකම සාධකය වෙයි. එමඟින් ඔහුගේ සියළු අභිලාෂයන් ඉටු කර ගැනීමේ පුලුවන්කම දැකිය හැකිය.

ගොවියාගේ ජීවිතය ආරක්ෂා වන්නේ හෙනේ වගා කරන ලද කුඹුරේ පූදින නැතහොත් කිරි වැදෙන ගොයමට / වගාවට ලැබෙන ආරක්ෂාව තුලිනි.

එසේ වගාවට ආරක්ෂාව ලබා දෙන ගොවියා වැස්සෙන් පින්නෙන් ආරක්ෂා කරන ස්ථානය ගස උඩ සැදි පැලයි. ඔහුත් වගාවත් රැකදෙන එකම කේන්ද්‍රස්ථානය එසේ බලන කල එම පැලයි.

ඒ පැලේ සිට ගොවියා තමාගේ සිය ජීවිතය හා සම්බන්ධ දුක් සුසුම් ගුවනේ පාකර හැරීමෙන් සතුටක් සැහැල්ලුවක් ලබා ගන්නා අතරම ආරාක්ෂිත හේනෙන් සරුසාර අස්වැන්නක් පිලිබඳ පැතුම් මුදුන් පත්වීමෙන් ගොවියාගේ ජීවිතයට නව ජීවනයක් ලබයි.

පැල් කවි වලින් විහිදී ඇත්තේ දුක් විඳින ජනතාවගේ සෝ සුසුම් හා ජීව වේදනාවන් බව කිව යුතුය. ඒවා අව්‍යාජ ලෙස හා යථාර්ථවාදී ලෙස ඉදිරිපත් කිරීම හේතුකොට ගෙන එම කාව්‍ය නිර්මාණවල සැබා ජීවන සුවඳක් හමා යන බව කිව යුතුය. ඒ නිසා ජනකවි අතුරෙන් පැල්කවි වලට හිමිවන්නේ ඉතා වැදගත් තැනක් බව ද කිව යුතුය.

නිතරම ජනකවි කියැවී ඇත්තේ කිසියම් කර්මාන්ථයක / රැකියාවක යෙදුනු අයවලුන් විසින් බවද අප අමතක නොකල යුතුයි.

. . . . .. . .. . .. . ..

පහත සඳහන් පැල්කවි කියවා ඒවායේ රස විඳගැනීමට උත්සුක වන්න.

ලස්සන හිමවතේ මා වී . . . . . . . . . . පැසෙන්නේ
දුක්දෙන අලි ඇතුන් පන්නා . . . . . . . . හරින්නේ
රැක්මෙන දෙවියනේ වෙලෙ බත් . . . . .බුදින්නේ
දුප්පත් කම නිසයි මම පැල් . . . . . . . . .රකින්නේ

හිරු දෙවියන් ගිරි මුදුනින් වඩින . . . . . . . . තුරා
සඳ දෙවියන් තරු අතරින් වඩින . . . . . . . . තුරා
සැම දෙවියන් සිව් හෙළයෙන් වඩින . . . . . තුරා
සිව්පද කියමු රට ඉසුරෙන් පිරෙන . . . . . . . තුරා

දුම්බර කෙතේ වැට බැඳලා රැකුම් . . . . . . . . .බැලුම්
මහවැලි ගඟේ දිය බඳලා කෙතට . . . . . . . . . ගිලුම්
බොලඳ ලියන් කර ඔසවා බලන . . . . . . . . . බැලුම්
තුන්පත් රටාවයි දුම්බර කෙතේ . . . . . . . .නෙලුම්

කල්බලා නොවෙද ගොවිතැන් . . . . . . . . කරන්නේ
මල්වරා නොවේද කිරිවැද . . . . . . . . . . පැසෙන්නේ
සෙනසුර නොවෙද වැහිපල . . . . . . . . . . .නුදුන්නේ
ලොව්තුරා බුදුන් කවදද . . . . . . . . . . . . . දකින්නේ

කැලේ කපා වැට බැන්දා කැත්ත . . . . . . . . දනී
කුඹුර පුරා දිය බැන්දා කුඹුර . . . . . . . . . . . .දනී
සීත කකා පැල් ලැග්ගා පැදුර . . . . . . . . . . . දනී
මෙදා පැලේ වී අඩුවා අටුව . . . . . . . . . . . . .දනී

රෑනෙන් රෑන උඩ ඉගිලෙන . . . . . . . . . . . කුරුල්ලනේ
බානෙන් බාන ගල් ගැසුවත් . . . . . . . . . . නොයන්නේ
පුංචි කටින් කුරු වී ඇට . . . . . . . . . . . . . . . .තලන්නේ
මෙදා යලේ ණය නොකරන් . . . . . . . . . . කුරුල්ලනේ

ඉරු දෙවියන් ඉර මුදුනින් වඩින . . . . . . . . . . . . . තුරා
සඳ දෙවියන් සඳ ගිරගින් වඩින . . . . . . . . . . . . . . තුරා
ගණ දෙවියන් ගණ අඳුරින් වඩින . . . . . . . . . . . . .තුරා
සිව්පද කියමු අපි ඉරුගල තිබෙන . . . . . . . . . . . . .තුරා

පනාමුරේ ඇත් රංචුව ලං . . . . . . . . . . . . .වෙනවා
විහ මිතුරේ වී අමුණම . . . . .. . . . . . . . වනසනවා
කිරි අප්පුට බිත්තර වී ණය . . . . . . . . . . .වෙනවා
මෙදා පොටෙත් අලියා මට බැට . . . . . . . දෙනවා

වෙලක මහිම බල මා වී . . . . . . . . . . . .පැසීලා
පැලක මහිම බල බට කොල . . . . . .සොයාලා
මලක මහිම බල අතු අග . . . . . . . . . . .පිපීලා
ලියක මහිම බල ගෝමර . . . . . . . . . . ඉසීලා

වෙල හොඳ මොකද යල මහ පාළු වේ . . . . . . . . . නම්
පැල හොඳ මොකද පොද වැස්සට තෙමේ . . . . . . .නම්
මල හොඳ මොකද අතු අග පරව යේ . . . . . . .. . . .නම්
ලිය හොඳ මොකද ඉසි ගෝමර මැකේ . . . . . . .. . නම්

පැල් පොත්තක් යට ඉඳ රොටියක් . . . . . . .. . . . . .උයාලා
පොල් නැති රටේ පුළුටක් සමඟින් . . . . . . . . . . . . . කාලා
කල් ගිය රෙදි වැරලි ඉණවට . . . . . . . . . . . . . . . .දවටාලා
පැල් කවි කියමි මම මේ පැලට . . . . . . . . .. . . . . . . වෙලා

පෙර කාලේ කරපු අකුසල් වල . . . . . . . . .. . . . .අපලා
මම කාලේ විඳිමු දුක් පැල් වලට . . . . . . . . . .. . . .වෙලා
රජ කාලේ සිටන් පුරුදුයි පැල් . . . . . . . . . . . . . . ලැගලා
ලොකු රාළේ කියන් පැල් කවි . . . . . . . . . . . . තෝරාලා

නුග පත් නුග අරළු නුග බෝ . . . . . . . . . . . . .රජුන්ටයි
එම පත් දෙවි වසන සක් දෙවි . . . . . . . . . . . . රජුන්ටයි
මිහිකත් අනග යුදයෙන් කඩු . . . . . . . . . . . . දිනන්ටයි
වැඳ ගත්තෙමි සරණ පැල් කවි . . . . . . . . . . .කියන්ටයි

ඉර වර වර ඉර වර වර . . . . . . . . . . . .. . වළල්ලා
සඳ අර වර ඉර වර වර . . . . . . . . . . . . . වළල්ලා
පෑදී දියට බොර දියරක් . . . . . . . . . .. . .වළල්ලා
පැල් කවි කියන අය කවුරුත් . . . . . . . වරෙල්ලා

කිරල හිඹුටු වැල් කුඹුරේ . . . . . . . . . . . පැලේයා
කිරල ගඳට එයි ඌරෝ . . . . . . . . . . . . .රැලේයා
කතා නොකර නැගපන් ගොයි . . . . . . .පැලේයා
කතා කලොත් ඇදගෙන යයි . . . . . . . .කැලේයා

උපුටා ගැනීම : රුක්මනී අරන්ගල්ල මහත්මිය විසින් රචිත "ජන කවි" නම් පොතෙන්

ලිව්වේ සුභාෂ්

දුක්ගන්නාරාළලා කියන්නේ කාටද..?

124
අතීත සිංහලය හෙවත් කන්ද උඩරට රාජධානියේ රජතුමාගේ පුද්ගලික වැඩකටයුතු කරන සේවකයෝ නැතිනම් රාජ පුරුෂයෝ හැඳින්නුවේ දුක්ගන්නාරාළලා නමින්. ඔවුන් හඳුන් වන්නට යොදාගත් විශේෂිත නාමය නම් "අප්පුහාමි" යන නමයි. උසස් යැයි සම්මත පවුල් පසුබිම් වලින් පමණක් තෝරාගන්නට යෙදුනු මේ නිලධාරීන් විටෙක "මහත්තයා, නිලමේ" යන නම් වලින් සිවිල් සමාජයේ ආමන්ත්‍රණය කරන්නට වුනා. රජතුමා ඔවුන්ගෙන් බලාපොරොත්තුවූ ප්‍රධානම දේ රාජපාක්ෂික භාවයයි. මේ හේතුව නිසාම රජ මාලිගය ට සම්බන්ධ ප්‍රධානතම අංශ තුනක් වූ සැතපෙන ගේ, රන් ආවුද මණ්ඩපේ සහ අතපත්තු මුරපොල යන කොටස් තුන ඔවුන්ගේ සේවයට නියම වූ ඒවා වූවා.
සැතපෙන ගේ යනු රජතුමාගේ නිදන කුටිය සහිත ගොඩනැගිල්ලයි. රජවරු හා සිටි දුක්ගන්නාරාළලා නිශ්චිතවම මේ යැයි කියන්නට තරම් හැමදෙනාට ම එක ප්‍රාමාණික සංඛ්‍යාවක් සිටියේ නැහැ. එනම් අප්පුහාමිලා ගණන නියමිත නැහැ.රාජාධිරාජසිංහ රජුදවස සිටි සැතපෙන ගේ අප්පුහාමිලා ගණන 42ක්, කීර්ති ශ්‍රී රාජසිංහ රජුදවස ඒ ගණන 160ක් වූවා. ශ්‍රී විජයරාජසිංහ රජතුමා යටතේ සිටි ගණන 170ක්. පළමුවැනි රාජසිංහ යටතේ 81ක්, ශ්‍රී වික්‍රම රාජසිංහ රජු දවස 48ක් ලෙස වෙනස වන්නට වුණා. ඔවුන් සේවයේ යෙදුනේ රජු සැතපෙන ගෙයි බරඳය වටා වූ මුර ක්‍රමයකට යටත්වයි.
මේ සේවා ක්‍රමය කාණ්ඩ වශයෙන් පැවරී තිබුනේ වගකීමක් ඇතිවයි. බොහෝවිට සැතපෙන ගෙයි ඉදිරිපිට "ඉලුක්කොලේ" නම් ආයුධ අතදැරූ කණ්ඩායමක් වූවා. ඔවුන්ගේ කාර්ය ය වූයේ රජතුමාගේ නින්දට බාධා නොවන ලෙස අවට ඇතිවා ශබ්ද නතර කිරීමට වගබලා ගැනීමයි. තවත් කණ්ඩායමක් රජු හදිසියේ අඬගැසූ විට රජුට ඇවැසිදේ සපයන්නට සූදානම් කර තිබුණේලු. මේ විදියට සේවයේ නිරත වෙන අප්පුහාමිලාගේ විශේෂත්වයක් වූයේ ඔවුන් සියල්ලම රක්ත පැහැති මුකවාඩමින් සැරසී සිටීමයි. ඉන් සමහර විට අප්පුහාමිලාගේ නිශ්ෂබ්ධතාවය පවත්වා ගැනීම බලා පොරොත්තු වූවා යැයි සිතිය හැකියි.
හැමවිටම සැතපෙන ගෙයි සේවයේ නියුතු දුක්ගන්නාරාලලා සැරසුනේ නියමිත නිල ඇඳුමින්. ඒය රතු මුඛවාඩමෙනුත් ධවල වර්ණිත වේට්ටියකින් සමන්විත වී තිබුණා. නායකයා ලෙස ඔවුන් අතර මුහන්දිරම් කෙනෙකු සේවයේ යෙදී ඇති අතර වැඩකටයුතු පැවරීමට හා දෛනික වාර්තා තැබීමට ලේකම් වරයෙකු ද විය., ඔවුන්ගේ අධීක්ෂණය කලේ කංකානම් වරුයි.

රජතුමාට සිය ජීවිතය කැපකල දුග්ගන්නාරාළලා

රජතුමාට විරුද්ධව සමහර වකවානු වලදී දුග්ගන්නාරාළලා නිසා රජවරුන්ගේ ජීවිත පවා ආරක්ෂා වූ අවස්ථා ගැන ඉතිහාසයේ කියැවෙනවා. එවිට ඔවුන්‍රජු වෙනුවෙන් තම දෙවන රාජසිංහ රජතුමා නිල්ලඹේ නුවර සිටියදී එතුමාට කුමත්‍රණයක් අඹන්වෙල රාළ යටතේ ඇති වුනා.එහිදී හොර රහසේම රජ මාළිගාවට ඇතුළු වූ කුමන්ත්‍රණ කරුවන්ගේ මූලික අරමුණ වූයේ රජතුමා සැතපෙන ගෙයිදීම මරාදැමීමට යි.ඒ අවස්ථාවේ අලුවිහාරේ වනිගසේකට මුදියන්සේ පරපුරට අයත් දුග්ගන්නාරාළ කෙනෙකු රජතුම වෙනුවට සයනයේ වැතිර හිඳ කුමන්ත්‍රණකරුවන් අතින් මැරුම් කන්නට වුණා. දෙවන රාජසිංහ රජතුමා සිය පිරිවර සමඟ හඟුරන්කෙතට පලා ගියා. එහෙත් සමහර රජවරු දුග්ගන්නාරාළවරු ලෙස වෙනත් ජාතීන් යොදාගත් අවස්ථා අපට හමුවනවා. ශ්‍රී වික්‍රමරාජසිංහ රජතුමා සිය සැතපෙන ගෙයි සේවයේ නියුක්ත කරතිබූ දුග්ගන්නාරාළවරු 48 දක්වා අඩුකලා ඒ.., සිංහල සේවකයන් පිළිබඳ ඔහු දැක් වූ තද අවිශ්වාසය නිසාවෙන්.., ඒ වෙනුවට ඔහු යොදාගත්තේ වෙනත් ජාතීන්වයි. ඒ නමුත් රජතුමාට පිළිමතලව්වේගේ මෙහෙයවීමෙන් වූ රාජ්‍ය කුමන්ත්‍රණයකට මුහුණ දෙන්න වුණා. එහිදීත් රජතුමාගේ දිවි බේරී ඇත්තේ දුග්ගන්නාරාළ කෙනෙකු සිට ඇති නිසායි. රටතුල පවතින ගැටලුකාරි තත්වය සිය හිසේ ආතතියක් බවට හරවාගේ ඉන් මිදීම සඳහා පමණ ඉක්මවා මීවිතෙන් සප්පායම් වී සිට රාජසිංහ රජතුමාව මරන්නට පැමිණි බලවනතරාළ හා ජා මුහන්දිරම්ව ද අල්ලාගනු ලැබුවේ රජතුමාගේ සැතපෙනගෙයි සිටි දුග්ගන්නාරාළ කෙනෙකු නිසයි. මේ නිසා පෙනී යන්නේ රජතුමා ආරක්ෂා කිරීමට නිතර ම දුග්ගන්නාරාළවරු ජරු වටා සිටිමින් රජුව ආරක්ෂා කිරීමට සැදී පැහැදී සිටින් බවයි..!
අතපත්තු මුරපොල හෙවත් තපත්තු මඩුව පිහිටියේ රජ ගෙදරට නුදුරුවයි. ඔවුන්ගේ කාර්යය වූයේ රජගෙදර සේවයේ නියුතු අප්පුහාමිලාගේ හා වෙනත් නිලමේ වරුන්ගේ සේවය ඇරඹීම හා එහි නිමාව පිණිස වේලාව දැක්වීමයි. එය කලේ පැතැටියකට අනුව කාලය දැක්වීම ට ගණ්ඨාව හෝ මිණි ගෙඩි හැඬවීමයි..!


ගණ්ඨාව හඬවනයුරු හා ජාම

දවසේ කාලය බෙදා දැක්වීමේදී සාමාන්‍යයෙන් දහවල ජාම 4කටද, රාත්‍රිය ජාම 4කට ද බෙදා නම අටක් වශයෙන් හැඬවේ.., එම ජාම ගණන් ගන්නේ මෙසේය.

උදේ පාන්දර සිට අටවැනි සිංහල පැය පළමුවන ජාමය.

නවවෙනි පැය සිට මධ්‍යහනය [ 5වෙනි පැයට] දෙවන ජාමය.

මද්දහනේ සිට 7වෙනි පැයට තෙවන ජාමය යි.

අටවැනි පැයේ සිට 15වෙනි පැයට සිවුවන ජාමයයි.

මේ අනුව සිංහල ක්‍රමයට පය හැටකි. මේ අනුව රාත්‍රියට ද 8-7-7-8 වශයෙන් ජාම හතරකට බෙදුනි. මේ කාල වකවානු අනුසාරයේ රාජකාරි කල දුග්ගන්නාරාළවරු පණහත් හැටත් අතර විය. ඔවුන් දිනපතා හැඟවූ ගණ්ඨා නාදය රජගෙදර සිට මයිල හතරක් පමණ ඈතට ඇසුනේය.
මේ හැඬවීම නිසා රජගෙදර සේවකයන්ට මෙන්ම නගර වාසීන්ට වෙනත් කටයුතු සඳහා සුභ මුහුරත් සඳහා වෙලාව දැනගනීමට හැකිවිය. රජටුහ්මා දිනපතා දලදා වැඳීමට පැමිණියේ 4 වෙනි ජාමයට ය. එසේම මල්වතු අස්ගිරි භික්ෂූන් දලදා තේවාවන් සඳහා වේලාව දැනගත්තේද මේ අනුවය. සාමාන්‍යයෙන් රජතුමා නගරයෙන් පිටගියේ කලාතුරකිනි. එහෙත් නිතරම රජතුමා මල්වතු අස්ගිරි හිමිවරු බැහැ දකින්නට ගියේ ය . මේ ගමන් වලට රජතුමා පිරිවරා දුග්ගන්නාරාළවරුද සහභාගි විය. රජමාලිගයේ වෙනත් කාර්යංශයන් මෙන් අතපත්තු මුරපොලත් අතපත්තු මුහන්දිරම් කෙනෙකු යටතේ පාලනය විය. ඊට අමතරව එයට ලේකම් කෙනෙකු හා කංකානම තැනක ද අයත් විය..!
රන් ආවුද මණ්ඩපය යනු රජතුමාගේ ආවුද තැම්පත් කර තිබූ අවි ගබඩාවයි. මෙයට දුග්ගන්නාරාළවරු 100 දෙනෙකු පමණ යටතේ පාළනය විය. මාලිගය අසල පිහිටා තිබී ඇති මේ ගබඩාව තුල ඇති ආයුධ පිළිබඳ ලේඛනයක් එහි ලේකම වරයා යටතේ ඇති අතර රජු ඉල්ලන විටදී ඒ ආයුධ ලබාදීම එහි සේවයේ නියුතු වූවන්ගේ වගකීම විය. විශේෂයෙන් රජුගේ අවි ආයුධ මල නොබැඳී පිරිසිදුව තබා ගෙන සිටීම වැනි වගකීම ද ඒ අතර විය.රාජ්‍යතාන්ත්‍රික කටයුතු වලදී රජුට අවැසි ආයුධ ලබාදීමත් ආයුධ පිරිවරා රජුවටා රැකසිටීමත් රන් ආවුදමඩුවේ සිටින දුහ්හන්නාරාළවරුන්ගේ කාර්යයභාර්යය වීය. රජතුමා පාවිච්චි කරන ආයුධ වෙන ආයුධ වලට වඩා පෙනුමින් ද වෙනස් විය.., මේ නිසාම මේ ආවුද භාවිතය රාජදණ්ඩන වලට යටත් විය හැකි තරම් දරුණු වරදවල් විය.

වරප්‍රසාද

දුග්ගන්නාරාලවරු කිසි විටෙක රජුර කනිටු නිලදාරියෙකුට යටත් නොවීය. හැමවිටම හේ රජුට පමණක් යටත් විය., මේ නිසාවෙන් ම ඔවුන් ව මහජනතාව නිලමේ යන නමින් හඳුන්වන්නට විය. එසේම මාලිගයේ පැවති රාජකීය උත්සව වලදී බිසෝවරුන් හා අදිකාරම වරු පසුකොට රජු පෙරරු කරගෙන ගමන් ගන්නට මේ නිලධාරීන් ට පුලුවන් විය. ඇතැම් විට තමන්ගේ ගම්බිම් සඳහා රජතුමාට බදු නොගෙවා සිටින්න්ට පුලුවන් විය. ඉඩකඩම් ලබාදී තිබිණ උඩරට සියල්ලන්ට පොදුවූ කත්හාල් රාජකාරියෙන් පවා ඔවුන් නිදහස් විය. කල වරදකර දඬුවම් පවා ලැබුවේ කලාතුරකිනි..,
මේ ආකාරයෙන් රජතුමා දුග්ගන්නාරාලවරුන්ට ලබාදුන් විවිධ වරප්‍රසාද ගැන මෙසේ සඳහන් වෙයි. දෙවන රාජසිංහ රජතුමා තමා සිත් ගත් දුග්ගන්නාරාළකෙනෙකුට ප්‍රවේණි ගම්වරයක් දුන්නේය.
කීරිති ශ්‍රී රාජසිංහ රජතුමාරාජ සේවයට පැමිණි වයෝවෘධ දුග්ගන්නරාළ කෙනෙකුට මිය යන තෙක් ම සහල් සහ අඩුම කුඩුම සපයන් ලෙස නියෝග කර තිබේ. දුග්ගන්නරාල කෙනෙක්ට අවැසි සහල් ප්‍රමාණ හැඳින්නුවේ හාල්බර නමිනි. හාල් බරක් යනු හුන්ඩු හැටකි [60]. හුන්ඩු කට සහල් මිටවල් 8කි, සමහර අවස්ථාවල දී සහල් මිටවල් 10 ද සහල් හුන්ඩුවක් ලෙස ගණන් ගන්නාලදී..!
තවද වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා රජුගෙන වසර ගෙන සිය පෞද්ගලික කටයුතු වල පවා යෙදිය හැකි ලෙස අවසර දෙන ලදී.


අප්පුහාමි නාමය

මෙසේ උඩරට රජතුමාට සේවය කල දුග්ගන්නාරාලවරුන්ට විශේෂිත වූ නාමයකි අප්පුහාමි යන නම. මේ නම අද උඩරට භාවිතා නොවුවද පහතරට සිටින ගොවිගම කුලයේ උසස් පැලැන්තියක් සඳහා යෙදී සංඥානාමයකි. ඊට හොඳම උදාහරණය පළමුවන විමලධර්මසූරිය රජතුමා ලෙස ගත හැකිය. රාජවංශිකයෙකු නොවූ ඔහු කතෝලික ආගම වැළඳ පෘතුගීසි යටතේ සිටියදී ව්‍යවහාර කල නම වූයේ දොන් ජුවන් අප්පුහාමි යන නමයි. මේ අයුරින් පහත රට ප්‍රදේශ වල ව්‍යවහාර වූ අප්පුහාමි යන්න වැදගත් අය භාවිතා කල ගෞරව නාමයකි. එය උඩරට භාවිතා වූයේ රාජපාක්ෂිකයන් සඳහා වූ ගෞරව නාමයක් වශයෙනි.

ලිව්වේ: LishWish.

මූලය:

  • තෙන්නකෝන් විමලානන්ද මහතාගේ උඩරට මහ කැරැල්ල තුන්වන කාණ්ඩය පිටු අංක 227 - 229, 325.
  • නුවරඑළියේ හේමපාල මහතාගේ ත්‍රි සිංහලයේ නායකයෝ

සංදේශ කාව්‍යයන් හි සිංහල නාට්‍ය හා නැටුම් ගැන ඇති වර්ණනා . . . !!!

Jul 2, 2010



ඉතා ඈත රාවණාකාල අතීතයේ සිට පැවත එන ලාංකේය කලාවට බෞද්ධාගමේ අභාෂය නිසාවෙන් එක්තරා මට්ටමකට සීමා මායිම් වටුනු බවට සමහර අය අතර කතිකා තිබෙනවා.

"නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූසනාඨානා වේරමණී සික්ඛා පදං සමාදියාමී" යන සිල්පදය මුල් කරගෙන මේ කතිකා ගොඩ නැගී ඇති බවක් අනුමානය කල හැකියි.

කෙසේ නමුත් ඒ මති මතාන්තර බිඳ දමන්න තරම් ප්‍රභල කාරනා ඒ කාලයේ හිටපු පඬිවරු විසින්ම ඉදිරිපත් කර තිබෙනවා.

ඒ කතිකා, මති මතාන්තර හා කරනා පසු ලිපියකින් ඉදිරිපත් කරන්න බලාපොරොත්තුවෙන්, අද ලිපියෙන් හා ඉදිරි ලිපි කීපයකින් විශේෂයෙන් මේ මාතෘකාවෙන් අතීතයේ සංදේශ කාව්‍යන් හි සිංහල නාට්‍යය ගැන සඳහන්ව ඇති ආකාරය ගැන ලිපි මාලාවක් ලියා තැබිය යුතුයි කියා සිතුනා.

ගම්පල යුගයේදී ගුරුළුගෝමීන්ගේ මුනුපුරෙකු වූ කවීෂ්වර විසින් රචනා කරන ලද "මයුර සංදේශය" කාව්‍යයේ කැළනියෙහි විභීෂණ දෙව් මැදුරෙහි හා දිවිනුවර උපුල්වන් දෙවි මදුරෙහි රඟපාන ලද නැටුම් විස්තර අඩංගුව ඇත . . .

එහි කැළණියේ නැටුම් ගැන ඇත්තේ එක් පද්‍යයක් පමනක් බැව් මා මේ ලිපි සඳහා ඇසුරු කර ගන්නා ජේ. ඊ. සේදරමන් මහතා ගේ "උඩරට නැටුම් කලාව" පොතේ "උඩරට නාට්‍ය කලාවේ ප්‍රභවය හා සංවර්ධනය" නම් කොටසේ දක්වා ඇත.

නො ල ගී ලොබින් බලමින් එපුරෙහි වෙසෙස
අ න ගී නළඟනන් සහ රජගෙට පිවිස
ක ළ ගී රැඟුම් පුද අනතුරුව එවි ගස
ය ස ගී කෙකාසන් කැරැ සබ මැදට බැස

දෙවිනුවර නැටුම් පිලිබඳව අර්ථය උද්දීප්තිමත් කරවන සිංහල විරිත් හා ශබ්දාලංකාර මැනවින් යොදා ලියවුනු චමත්කාරජනක වර්ණනා වලින් හෙබි පද්‍ය මලා කීපයක්ම ඇති බැව් ඒ පොතේ සඳහන්ව ඇත . . . !

නි ල ව කෙවිලි රන්ලිය වදලැ රැවු සමා
ලෙ ල ව කියන ලිය ලිය ගීයට කන් නමා
ලො ල ව මෙසවු රූ නොමැ දුටු විරු තමා
බ ල ව නළඹුවන් රඟ මඬලැ නෙත් යොමා

ර ත ක ම ලේ පෙති සිරි ඇති ඇඟි ලී
ලෙ ළ එ ක ලේ කල කරතලි නුදු ලී
ර ඟ ම ඬ ලේ ඉසි පුල් මල් ඇදි ලී
පැ හැ න' ව ලේ තුරු දිලි නුඹ තියෙ ලී

ස සො බා ලෙළ පද පද'නු වැ ම ත බා
නො ත බා රැවු දුන්සන් සල සල ඹා
න ර ඹා සුරඟන වන් රඟ නර ඹා
ඔ ල ඹා ලනු බැරි සිතු නොම කල ඹා

ර ළ ලා උපුලා ලෙළුම තුලායා
නෙ තු ලා බැමලා බමවා ලායා
ර ඟ ලා එකලා බැලුම සලායා
නෙ තැ ලා සිතැලා ඇද බැද ලායා

ලකළ රුවන් රන් බ න්දී
ලෙළෙන අතමැ සිතු බැ න්දී
කියුලිය ගී සුරු ස න්දී
අසන රිසියැ එම ක න්දී

යුග කො පු ලා බිතු උදු ලා
මිණි කො ඬො ලා කරැ සස ලා
එ ම න ක ලා රඟන ක ලා
ව තැ ම බ ලා රිසි තොස ලා

වයන්නන් පෙදෙයි ලා තබා ගී තම න්නේ
අඟින්නන් රඟන්නන් සුරන් යැයි සිතෙ න්නේ
මෙවන් රූ නුවන් වන් ලෙවන් කුම් කිය න්නේ
මලින් දුන්න ගත්තේ ද ගත්තේය උ න්නේ

කුහුල් වන් මියුල් දෙන් නෙතෙව් නෙත් බැලු ම්ලා
කමල් වන් වතුන් ගී මතින් රැවු නැගු ම්ලා
ළහෝ පත් නොපෑතුල් පතුල් පෑ ලෙලු ම්ලා
නිවායේ දනන් වන් නිවායේ රැඟු ම්ලා

ම ත් වැ ම න මත් සරින් ගී රස හිවා නෝ
අ ත් ත ල ට ග ත් ලෙසිනි විදුලිය සමා නෝ
ර ත් ප බ ල ප ත් අයුරු පත්ල බිමැ පා නෝ
ස ත් ස තු ටු ව ත් නොපටු සිත් වඩිති යෝ නෝ

දඟනක රඟ බසැ පැණ අත රායා
තනනා තන නම් රන් තිස රායා
විලසින් දැනුයෙන් දෙව් අස රායා
දුන් ගී මන මත් කරවන රායා

බැලුම් ඇලුම් කරණ ලො ලේ
කතක එරඟ රඟන ක ලේ
පැළඳි සවණ නිල් උපු ලේ
නෙතට පැරැදි සෙයින් සැ ලේ

පෑ තුනු පෑ තුනු සුර අඟන න්නේ
ලෝ වටනා රඟනා නළඹු න්නේ
සීලය රූ රසයින් නොතෑ ල න්නේ
වේතුට මේතුට මේ දුටුව න්නේ

සැ දු සදෙව් යස සිරි පිරි සුදු සුදු
මු දු කුළුණු සිසිලෙන් සිලි ලිඳු බඳු
මි දු ගිමන් වන්නව මේ රදු රුදු
ව දු සිරිඳු සඳ දිය සෙත යෙදූ උදු


ලිව්වේ: සුභාෂ්

පත පොත ඇසුර : ජේ. ඊ. සේදරමන් - උඩරට නැටුම් කලාව