අපි කුඩාකල අපේ මව් පියන් නිතර කියන වදනකි "දහපදුරාවී" යන්න. අනාචරයේ හැසිරෙන කාන්තාවන් ට සමහර උදවිය දහපද්දුරාවී යන්න භාවිත කළ බව පැරැන්නන් කියනවා අපි අසා තිබෙනවා... මෙහි මුල් උට්ඨානය සිදු වූයේ [රවිශෛලාශ]යක්ෂගෝත්‍රික සිරිත් විරිත් සමඟයි. ඒවාට පටහැනිව ක්‍රියාකිරීම දසපද්දුර ක්‍රියා නමින් හඳුන්වනු ලබනවා. නමුත් මේ වචනයේ අර්ථය දන්නේ අතළොස්සක් බව නම් නියතයක්.
එක්තරා අකාරයක් දස පනතක් වූ මෙයින් කියැවෙන්නේ දෛනික ජීවිතයේ නිරන්තරයෙන් සුරැකිය යුතු කාරණා 10ක් නොසලකා හැරීමෙන් තමන් සමාජයේ අපවාදයට ලක් වන බවයි.
01.කිරුත - මව්පියන්ට නොසලකා හැරීම.
02.සාගිත - චපල බව.
03.බජම - මල්වර වීමට ප්‍රථම ලිංගික සම්බන්ධතා පැවැත්වීම.
04.මාතුල - කුමර කුමරී බ්‍රහ්ම චර්යාව බිඳගැනීම.
05.කංචි - පතිවෘතාව රැකීම.
06.පුට්ටි - ගබ්සා කිරීම හෝ කරවීම.
07.සෝව - දරුවන් මැරීම හෝ මැරවීම
08.ධස්ස - සැමියා බිරිඳ මැරීම හෝ මැරවීම, බිරිඳ සැමියා මැරීම හෝ මැරවීම.
09.දැහිත - ඕපාදූපයේ යෙදීම.
10.කුරාල - ඉන්ද්‍රීය සංවරය ඇඳුම් භාවිතා නොකිරීම.
ඉහත දස ක්‍රියාවේ යෙදෙන්නා සමාජයේ පිළිගැනීමට ලක්වන්නේ නෑ.[නමුත් වර්තමානයේ අවාසනාවකට දෝ බොහෝවිට සිවිල් බලය රැඳී ඇත්තේ ඉහත ක්‍රියාවන්වල යෙදෙන්නන් අතයි] මෙයින් වැදගත් කාරණා රාශියක් ඉස්මතු වෙනවා.
ඉන්ද්‍රීය සංවරය පිණිස ආදිතස්ම යුගයේ සිට යක්ෂගෝත්‍රිකයන් ඇඳුම් ගැන සැළකිලිමත් වූ පිරිසක් බව පෙනී යනවා. එනයින් ඔවුන් කොල අතු වලින් විළි වසා නොගත් පිරිසක් බව පැහැදිළි වෙනවා. රාගික හැඟීම් කුළු ගැන්වෙන ඇඳුම් භාවිතයට එකල තහංචි පමුණවා තුබූ බව සඳහන්. එමෙන් ම ග්‍රහ චක්‍රයේ පිහිටුම අනුවත් ඔවුන් තම ඇඳුම් ආයිත්තම් වෙනස් කළ බව සඳහන්. රවිශෛලාශ [ඉරුගල්බංඩාර] යක්ෂගෝත්‍රයේ වංශවත් බව උද්දීපනය කර පෙන්වීම ට විනයානුකූලව තම අයිතමයන් සකසා ගත් බව පැහැදිළියි.
ඒ අනුව ඔවුන් සකසා ගත් ඇඳුම් ආයිත්තම් කිහිපයක් පිළිබඳ අපි විමසා බලමු.
01.ගෙඩිහැට්ටය.
මෙය මංගල උත්සවය සඳහා අඳින ඇඳුමකි.පබලු හා විවිධ මෝස්තරවලින් සකසන මේ හැට්ටය එකල කුළවත් කතුන සඳහාම වෙන්වූවක්. මෙය සොභාදහමට උචිත ආකාරයට පාට සංයෝජනය කරමින් නිපදවන්නක් වන අතර ගෝත්‍රයේ විලාසිතාවන්ට අනුකූලව නිපදවාගන්නක්.
02.නාග කන්‍යාහැට්ටය.
මෙය ගෞරවය හා පවිත්‍රත්වය නිරූපණය කරන්නා වූ ඇඳුමකි. අවිවාහක කතුන් අතර ජනප්‍රිය වස්ත්‍රයකි.තවද මෙය නා ලොව නාග කන්‍යාවියන් භාවිත කරන ඇඳුමක් බවට ද විශ්වාසයක් පවතිනවා. දිගුකර යොදාමෝස්තර වලින් නිම කරන ලද මේ ඇඳුම පැරණි කුලවත් කතුන් අතර ජනප්‍රිය ව පැවතී තිබෙනවා.
03.උත්තරා සේලය.
රාත්‍රියේ යහන් ගතවීමට පෙර අඳින ඇඳුමකි මෙය. නග්න වූ උඩුකය නිරාවරණය වන ලෙස මෙය නිර්මාණය කරල තිබෙනවා. යක්ෂගෝත්‍රය ට අනුව මෙය අනඟ යහනේ හැසිරෙන විට අඳින්නට යොදාගන්නවා. මෙය විශේෂ වස්ත්‍රයක් ලෙස කලකන අතර මෙය පැළඳීමට ප්‍රථම පයෝධර ආභරණයන් ද පළඳිනවා.
04.කුමරී ඉඟ නෙරිය.
මෙය කාන්තාව ගේ ඉඟ කොටසේ සිට පාද වල ඇඟිළි ආවරණය වන ලෙස නිර්මිතයි. එසේ ඇඳ.., රැළි 14 කින් යුක්ත වන ලෙස ඉඟ නෙරිය සකසා ගතයුතුයි. විවාහක කතුන් මෙය දැරීම.., 14 වන සියවස වන විට දඬුවම් ලැබිය හැකි වරදක් වුණා. කුමරිය ගේ විවාහ දිනයේදී..,මධුසමයේ දී මනමාලයා විසින් මේ නෙරිය කුමරිය වෙතින් ඉවත් කරනු ලබයි... මින් පිළිබිඹු වන්නේ ඇයගේ බ්‍රහ්ම චර්යාවයි.
05.පතිනි ඉඟ නෙරිය.
මධුසමය නිමවීමෙන් පසු පතිනිය විසින් අඳින්නට යෙදෙන්නේ මෙයයි. රැළි 07කින් යුතුව අඳින මෙය.., නව පතිනිය ගේ ජීවිතාන්තය දක්වාම මෙයින් සැරසිය යුතුයි. ඒ මෙයින් පතිවෘතා සංකල්පය නිරූපණය වන බැවින්.
06.දෙඋර සලුව.
"රවිශෛලාශ වංශයේ සියලු කතුන් උඩුකය ආවරණය කළ යුතුය" අතීතයේ මේ වැනි වංශ නීතියක් පැවතුනා. ඔවුන් ඒ සඳහා භාවිතා කරන්නේ දෙඋර සලුවයි. විවිධ අවසථාවල දී විවිධ පාට සලු භාවිතා කෙරේ. වංශයේ කිරි දෙන මව්වරු තම බිළිඳුන්ට කිරි දීමේදී තම පයෝධර වසා ගන්නටත් මෙය උපකාර කර ගනී.
07.දක්ෂිණ සලුව.
මෙය මංගල පෝරුව මතදී මනාලයා විසින් කුමරී ඉඟ ආවරණය වන පරිදි අන්දනු ලබයි. විශේෂත්වය වන්නේ වටිනා විචිත්‍ර වස්ත්‍ර වලින් මෙය නිම කර ගැනීමය.
08.කල්‍යාණ පිරුවටය.
සාමාන්‍ය අවස්ථාවල දී මෙය අඳිනු ලබයි. විවිධ වර්ණ හා ගලපමින් මෙය නිම කර ගැනීමට කිසිදු අවහිරයක් නැත. තරඟකාරී අයුරින් ඉඟවටා ඔතන ලෙස මේ පිරුවටය නිමවාගෙන තිබේ.
මින් සමහර ආයිත්තම කිහිපයක් වර්තමාන සමාජයේත් තවමත් දකින්නට පුලුවන්. තවද මේ සියල්ලම නිමවා ඇත්තේ කාන්තාවගේ ගෞරවය රකින්නටම මිස ඒවා බිඳින්න ට නොවෙයි. මේ අනුව අතීත හෙළ සමාජය සිය ජීවිත යම් නොපෙනෙන රීති මාලාවකට යටත් ව ගෙන ගිය බව නම් කියන්නට පුළුවන්. ඒ අනාදිමත් කාලයක සිට අපට බුදු දහම තුලින් ලැබුණ සදහම් පන්නරය නිසා විය හැකියි.
ලිව්වේ: ලිෂාන් පුවක්ඕවිට
3 ක් ප්‍රතිචාර දක්වා ඇත.:
ස්තූතියි..!
නියමයි . . . ලිෂ් . . අගේ ඇති ලියවිල්ලක් . .
අපූරුයි !!!
Post a Comment