කෙතරම් බැලුවත් එපා නොවන අලි බැලීම හා ගජගා වන්නම . . !

May 17, 2010



අලි බැලීමත් බලි බැලීමත් කොයි තරම් බැලුවත් එපා වෙන්නේ නෑ කියලා අහලා තියෙනවාද . . ?

බලි බලලා තියෙන බවට මතකයක් නැති නමුත් අලි බලපු හැටි නම් බොහොම හොඳින් මගේ මතකයේ තියෙනවා.

ඉස්සර අපේ ගමේ පන්සලේ වාර්ෂික පෙරහැර වෙනුවෙන් (කෝට්ටේ රාජමහා විහාරයේ)රැගෙන එන අලි පන්සල් වත්තේ විශාල ගස් වල බැඳලා ඉන්න දිහා අපි ස්කෝලේ ඇරිලා එන ගමන් ගෙවල් වලට නොගිහින් බඩ ගින්නේ වේලී වේලී බලන් හිටපු හැටි මේ දැන් වගේ මතකයේ තියෙනවා.

බඩ පනුවන්ගේ බොක්සින් තරඟාවලියේ උපරිමයට ආවහම ගෙදර ගියත් පහුවදාටත් ඇවිත් බලං ඉන්නවා අලියෙක් මේ දැන් දැක්කා වගේ.

ඒක නිසා අලි බැලීම නම් කොයි තරම් වෙලා බැලුවත් එපා නොවන බැලීමක් කියලා කට පුරා කීවහැකි.

ගජගා වන්නම නිර්මාණය වෙලා තියෙන්නේ රජුගේ මංගල හස්තිරාජයාගේ ගමන් ලතාව අනුව කියල තමයි අපි ඉගෙන ගත්තේ.

අලි බැලීමට ඇති කැමැත්ත නිසාම වෙන්න ඇති මගේ නම් කැමතිම වන්නම ගජගා වන්නම.

කාලෙක ඉඳන් ගජගා වන්නම ගැන ලියන්න ඕන කියලා හිත හිතා හිටියත් ඔන්න ද තමයි නිවාඩුවක් ලැබුනේ ඒකට.

මේ මුලින්ම තියෙන වීඩියෝවේ ගජගා වන්නම අපූරුවට ගායනා කරනවා. නමුත් ලස්සන පින්තූර ටිකක් හැර නැටුම එහි අඩංගු වෙලා නොමැති කමින් තවත් වීඩියෝ දෙකක් (මට සෑහීමකට පත්විය හැකි තත්වයේ) මෙහි එකතු කලා ඔබ සැමට රසවිඳින්න ඉඩ සලසා දෙනු වස්.

මුලින් තිබෙන වීඩියෝවේ ගජගා වන්නම ඇහෙනවිට මම ඇස් දෙක පියා ගත්තාම මම වැඩිපුරම බලලා තියෙන කෝට්ටේ රජමහා විහාරයේ පෙරහැරයි බෙල්ලන්විල රජමහා විහාරයේ පෙරහැරයි දෙකේම මේ දැන් මෙතන ඉඳන් බැලුවා වගේ මනසින් පෙරහැරපොලට ගිහින් උක් ගහක් හප හප පෙරහැර බැලුවා.

මීට වඩා හොඳ වීඩියෝ ගැන දනන්වානම් දැනුම් දුන්නොත් බොහෝම අගෙයි.

ඉතිං ගජගා වන්නමේ අපූරුව ඔබ සැමත් රසවිඳ බලන්න . . බලා සටහනක් දමා යන්න අමතක නොකර . . .

ගජගා වන්නම

දෙසුලු මහතුන් තිත

තානම:
තා නා තාම් දාන තා . . ම්
දන තාම් දන තන . . .
තා නා තම් දාන තා . .. ම්
දන තා . . නා . . ..

කවිය:
දෙව් පුර ඇතෙකී, කුඹු දහසයකී, දිග දළ අටකී, සත්ගැබ කී . ..
වැව් පොකුනු දකී, සත්සිය ගැනකී, එක පොකුනකකී, සිව්මලෙ කී . .

සිව් මල පෙතකී, ගැනතිස් දෙකකී, පෙත්තක නැටුකී, සිව්සැටෙ කී . .
කවි කරවැනි කී, ලෙව් ඉසි බසෙකී, ගජගා නමකී, වන්නම කී . . .

ගමන් යනෙන සොඳ රූබර තාලෙට ඇත් රජ ගමනට යන්නේ
පවන් සලන ලෙස කන්පොතු සලමින් දෑලේ මිනි නද දෙන්නේ
කියන්න පුදුමයි ගමනට මිනි නද එකින් එකට වැඩි වන්නේ
අහන්න මැතිඳුනි ගජගා වන්නම මේ ලෙසටයි පවතින්නේ . .

කස්තිරම:
බෙරමාත්‍ර: දොම්කිත - තකදොම් - දොදොම් - දොමිත දොම්
රොන්, තක ජිං තක - තරිකිට කුං දං - තාගජිත්තක තරිකිට කුං දං
රොංතක ජින්තක තරිකිය කුං දං තා -

සීරු මාරුව:
තකුඳ තක ජිජි කුඳ - ගජිත, දොදොංගත කඩතක කුකුඳං
කුජිං - ක්ජිං - තා

අඩව්ව:
තාජ් - ජිත්තක, කුංතක ජිංගත - හජ්ජිත්, කුංතක, තරිකිට කුං දං
රොංතකජිත්, තජිතකුජිත්, රුඳන් ගජිත් තා
කඩතක දැහිං තක ජිජි ගත - ගජ් ජිත්, තාත්, කඩතක, ගජි ගත කුඳ කුඳ තා













ලිව්වේ: සුභාෂ්

පත පොත ඇසුර : ජේ. ඊ. සේදරමන් - උඩරට නැටුම් කලාව

හෙළ ගැමියාගේ සරතැස සිඳවූ තේරවිලි කවි

Apr 11, 2010

cow


අතීත පැරණි සිංහල ගැමියාගේ දිවිපෙවෙත ඉතාම සංසුන් ව ගලා ගිය එකක්. ග්‍රාමීය විරුවන් ගැන කතන්දර, බණකතා, කවි ඒ ජීවිතයේ තනිකම විඩාව නිවන්න ට යොදාගත් උපකරණ විය. ඒ අතර කවිය යන සංකල්පයට ඉහළ තැනක් හිමිවිය.පැල් කවි, ගොයම් කවි, නෙළුම් කවි, කරත්ත කවි, පාරු කවි, පතල් කවි ඉන් සමහරෙකි. මීට අමතරව ඉතා අපූරු ආශ්වාදයක් ගෙන දුන් කාව්‍යාංගයක් ලෙස තේරවිලි කවි ගැමි සාහිත්‍යයේ ප්‍රකට ව ඇත.
දවසේ කටයුතු අහවර කර සැන්දැ යාමයේ අම්බලමක එක් රැස් වී හෝ රාත්‍රී අහර කිස අඹු දරුවන් හා අසල් වැසියන් සමඟ සැහැල්ලුවෙන් ගත කරන මොහොතේ ගැමියන් විනෝදාස්වාදය ලැබුවේ මේ අන්දමේ තේරවිලි කවි කියා ඒවා විසඳීමෙනි. එහි ඇති වදන් වල අර්ථ සෙවීමට යාමෙන් ගැමියන් හට විනෝදය පමණක් නොව බුද්ධිය ද ලැබිණ.
තමා ජීවත් වන අවට පරිසරයේ දී පිරික්සා ලබන බොහෝ අත්දැකීම් මේ සාහිත්‍යාංගයට එකතු කරගෙන ඇත. සතා සීපාවා හා ජීවනය කරන ගැමියා උනගේ ක්‍රියාවලීන් ද කවියට නැගුවේ අපූරු රසයක් ඒතුල සඟවා ය.


ටිං ටිං ගාන්නා තෝරා එවාපන්
ටං ටං ගාන්නා තෝරා එවාපන්
මඟ වැලි පිසින්නා තෝරා එවාපන්
දෙගම්බඩ රජා තෝරා එවාපන්


ඉහත කවියට දෙන පිළිතුර මෙසේයි..


ටිං ටිං ගාන්නා ලේනා නොවේදෝ
ටංටං ගාන්නා ගෝනා නොවේදෝ
මඟවැලි පිසින්නා කුකුලා නොවේදෝ
දෙගම්බඩ රජා කිඹුලා නොවේදෝ


එදිනෙදා නෙත ගැටෙන දේවක් ගැන ගොතන ලද තේරවිලි කවි ද වේ. අන්නාසි ගෙඩිය ගන වූ තේරවිල්ලක් මෙසේ ය.


කටුවා නෙත් කෙටුවා වැනි කොලේ සැටී
රතු නූලෙන් ගෙතුවා වැනි මලේ සැටී
තුන්මස පිරෙන්විට කුකුලෙක් විතර ඇති
මෙතුන් පදේ තේරූ අය නුවණ ඇතී


රා මදින ගැමියෙකු කිතුල් මලකට බේත් තබා වෙලා මල කැපීය. එයින් වැස්සුන තෙලිදිය එකතු කරනු දුටු ගැමියෙකු විසින් මේ සිද්ධිය මුල් කර ගෙතූ තේරවිල්ල මෙසේය.


ලෙඩක් නැතුව බේතක් කවනවා දුටින්
වරදක් නැතුව අල්ලා බඳිනවා දුටින්
දුකක් නැතුව නිතරම අඬනවා දුටින්
කලයක් අරන් ජලයක් මනිනවා දුටින්


පැරණි සිංහලයන්ගේ ප්‍රධාන ජීවනෝපාය වූයේ ගොවිතැනයි. එහිදී අස්වැන්න නෙලන්නට යොදාගන්නා දැකැත්තට ගොතා ඇති තේරවිලි කවියක් මෙසේය.


වක්ක ගසාගෙන එක බඩලාගෙන තුඩෙන් ගොදුරමයි විමසෙන්නේ
බඩ මැද කට ඇත දත් ගණනක් නැත කැවට ඒ බඩ නොපිරෙන්නේ
ඇසුරට විලි නැත වදන කෙනෙක් නැත කුස මිට සැඟවීලයි ඉන්නේ
සන්තේ ඇද නැත කීමට බොරු නැත තෝරනවයි මේ පදයන්නේ


මේ පහත සඳහන් කවිය ගොයම් ගස මුල් කර පබැඳ ඇත.


ගසට නමකි ගස මැරුනම වෙන නමකි
ගෙඩියට නමකි ගෙඩියේ සුඹුලට නමකී
මදට නමකි මද කනකොට වෙන නමකී
මෙතුන් පදේ තෝරාලා එවන් සකී


ඉහත තේරවිල්ලට පිළිතුරු කවිය මෙසේ ය.


ගසට ගොයම් ගස මැරුණම පිදුරු ගස
පලට වී පලය සුඹුලට කියන නම
සාලැට වසා සිටි කුඩු දහයියා රැස
මදට හාල් නමි බුදිනා බත්ය රස


මී කැඩීම හා මී වද ගැන සැම ගැමියෙකුම දැන සිටියද මී බැඳීම හා ඒය කැඩීම ගැන කියැවෙන මෙවැනි කවි විසඳීමට ඔවුන් ද අපොහොසත් වූවාට කිසිතු සැකය නැත. ඒවා එතරම් සංකීර්ණ ය.


කැලේ සිටන් මහ සෙනඟක් ඇවිදින්
ගලෙන් කොටුව බැඳගෙන සිටිතී
බලේ සමත්කම් ඇති අය ඇවිදින්
මරාදමා බඩු අරන් යතී
කලේ අනඬුවයි බඩු මොකවත් නැත
කැමට නිසිදේ අරන් යතී
මලේ මේක තෝරා බැලුවෝතින්
මිහිරිදේකි කවුරුත් කැමතී


පැරණි හෙළැ නිවෙස් වල වේලාව බැලීමට අද මෙන් හෝරා යන්ත්‍ර තිබුනේ නැති. ඒවෙනුවට තිබුනේ පැ තැටිය නම් උපකරණයකි. වතුර කොරහක ඉඳිකටුවකින් විදින ලද සිදුරකින් පැ තැටිය පිරෙන්නට යාමට ගතවන කාලය පැයක් මෙස ගණන් බැලීය. පැ තැටිය ගැන පබැඳූ කවක් මෙසේ ය.


ගෙයක් තනාලා පැ මැටි ගාලා - පැය පිට ගේකයි සනසෙන්නේ
එලියට එන්නට ඒදඬු සදලා - මයියමකට බැමි බැඳ ගන්නේ
ජලය සදාලා ජල පුරවාලා - ජලයෙන් ළමයෙකු බිහිවෙන්නේ
සබේ සිටින ලොකු කුඩා මහත් අය - තෝරනවයි මේ පද සන්නේ


සමහර කවි ගායනාවටද අපූරුය. ඇත්තේද අමූතුම රසයකි. අතීත ගැමියන් හා ගැමිකම සමඟම නිතොර කියැවෙන දෙයකි බුලත් විට.., පහත ඇත්තේ දිගවිරිතෙන් යුතුව ගැයෙන කවියෙකි.


ගහෙන් වැටිලා හතරට පැලිලා ඔහේ එක මිනිහෙක් දොයි
නාග ලොවින් ආ කලු වැදි සාමී බොටුව කඩාගෙන කයි
ගින්නක් දාලා වැස්සට තෙමිලා තව එක මිනිහෙක් ගෙයි
මෙකී මෙතුන් දෙස සමගි කරන්නට මැරිච්ච මිනිහෙක් ගෙයි


එයට අදාල පිළිතුර කවියට වඩා රසවත් බව මගේ හැඟීමයි.


රබ්බඩ පුවකේ නැට්ට කඩාලා හතරට ඉරු කරතෙයි
තෙතෙයි තෙයි හතරට ඉරු කරතෙයි
වෙත්තිල බුලතේ නැට්ට කඩාලා සුනම්බු ගාතෙයි
තෙතෙයි තෙයි සුනම්බු ගාතෙයි
දී කොට නැන්දට මස්සක් දීලා දුම්කොල ඉල්ලා තෙයි
තෙතෙයි තෙයි දුම්කොට ඉල්ලා තෙයි
පිත්තල පෙත්තක් දත මුල ගහගෙන පහතට දත නියතෙයි
තෙතෙයි තෙයි පහතට දත නියතෙයි


අදහස් පෙරලා මෙන්ම අකුරු මාරු කරමින්ද අතීත ගැමියන් කවි තැනූහ. පහත ඇත්තේ එවැන්නකි.


මොණර නරක් කැලි වකුලක් කලක් වෙතේ
හා මිරකෙක් වට කොලිගෙන ඉඩ මිසිතේ
ගොටලු බනෙක් මා රතයෙන් දුන පැවතේ
වුකි නතත් ගොල තයියා නොණ නැකතේ


ඉහත කව නිවැරදිව පද පෙරළා ගත් විට මේ අයුරු ය.


රණ මොණරෙක් වලි කුකුලෙක් වෙලක කතේ
මී හරකෙක් කොට වලිගෙන් මඩ ඉසිතේ
බැටලු හොනෙක් රා මතයෙන් පැනදුවතේ
නාකි වුනත් තලගොයියා තණ නොකතේ


අග මුල පෙරැලි ලෙසින් තවත් කවි විශේෂයක් වෙයි. ඒහිදී මුල එක පදයකුත් අග එක පදයකුත් පද පෙරලා කීම මෙහි ඇති විශේෂත්වය වේ.


පහත ඇත්තේ මුල් පදය පෙරලා ඇති කවියකි.


රාළහාමී ගේ බාලට ගමිය කියා
බලහාමිගේ රාළක් ඔන්න ගියා


පාරුවේ පුවක් පටවා ගෙන යන කලට
පූරුවේ පවක් පලදුනු පෙරලී ගඟට


මේ ඇත්තේ අග පදය පෙරැලී ඇති කවෙකි.


ඇහුව කලට කොහිද වත්තල පිංගෙඩිය
යුහුව කෙනෙක් දුනි පිත්තල වංගෙඩිය


මිලී ඇසුව කල අම්මා මන්ද නිදී
ලිලී පැවසුවා උන්දැට නින්ද මදී


ඒ සාමාන්‍ය ජන ජීවිතයයි. අතීත ප්‍රභූන් පවා අන්‍යනට නොතේරෙන අයුරින් සිය අවැසිතා මේ අයුරේ කවි වලින් ඉටු කරගත් බවට සාධක ඉතිහාසය සතුව ඇත. ආහාර පාන නොමැතිව අසරණ ව සිටි වීදාගම හිමියන් තම හිතවන්ත තොටගමුවේ හිමියන්ට තම අඟහිඟ කම් ලියා යැව්වේ පහත සඳහන් තේරවිලි කවියෙනි.


යනු නැතිවෙලා බොහෝකල් අප ට
යනු නැතිවේවී අල් අකුරු දොලහ ට
මි යනු සිද්ද වෙයි සිහි නොකලොත් අප ට
යනු ළඟ අකුරු ඉස්පිලි එවන් ම ට


මේ හසුන ලද සැනින් තොටගමුවේ හිමි වී එවීමට ගොන් බැඳි කරත්තයක් එවන මෙන් ලියා එව්වේ මේ ලෙසය.


පතල කර මිතුර මං කී මැසිවිල්ල
අතර මං උනේ අවුරුදු මංගල්ල
නිතර මස් දෙන්න විදිනා වැදි ගොල්ල
හතර කුර එවපන් මම දෙමි ඉස්පිල්ල


අතීතය එතරම්ම ම රසවත් ය. ඒ මෙවැනි ජනකලා අංගෝපාංග නිසා ය. මේ ලියමනේ මූලික අරමුණ මෙවැනි සාහිත්‍යාංග සයිබරය තුල සුරැකීම නිසා.., මේ ලියමන කියවන ඔබ ළඟත් විවිධ තේරවිලි කවි ඇති නම්.., කරණාකර අදහසක් ලෙස ගලපා දමා යාමට අමතක නොකරන්න. ඉන් ඔබේ සිත පමණක් නොව අනාගතයට මේ කවි ඉතිරි වීම ට මනා පිටුවහලක් වන නිසා වෙනි.


ලිව්වේ: LishWish.


විශේෂ ස්තුතිය : කොළබේරුවේ සෝමරත්න මහතාට.


අතිරේක මූලයන් : මුතුහර වන් ජනකවි
හෙල කවි රූ සිරි

හෙළ ජන කවිය හා බැඳි අපූරු කතා

Mar 30, 2010

Kandyan_Chiefs1859


අතීත සිංහලයා කලාවට පෙම් කෙරුවෙකි. සිය ඇසට හසුවෙන සියලුම දේ කවියට හරවා ගයන්නට සමත් කම් දැක්වුවෙකි. පහත දැක්වෙන්නේ අතීත හෙළ කවියා සිය දර්ශන පථයට හසු වූ සිදුවීම්, ප්‍රවාද, කතා කවියට හරවා පළ කල අවස්ථාවන් කිහිපයකි.


දස්කොන් මගේ නමට ජීවිතේ දෙනවාද..?

ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාට ඉතාම හිතවත් ව කටයුතු කරන ලද දස්කොන් අදිකාරම් රජතුමාගේ ළඟම මිතුරෙමු මෙන් ම ඔහු විදේශිකයෙකුද විය. කොතරම් මිතු දම තර වුවත් එහි කොස්සක් තිබේ යැයි කියන්නා සේ මහ රජ ගේ බිසව වූ ප්‍රමිලා අතර රහසින් වූ පෙමක් පැවතිනි. මේ බව කන වැකූනු රාජසිංහ රජතුමා සිය රාජ බලය භාවිත කොට දස්කොන් ට මරණ දඬුවම නියම කරන ලදී. ප්‍රමිලා බිසව දංගෙඩියට හිඩ ගසන්නට ගෙනයන සිය රහස් පෙම්වතා වූ දස්කොන් ව දකින් විට සිය සිත තුල වූ පෙම වසාගත නොහී එය කවියෙන් මෙසේ වහරන්නට විය.

සක්මන් කරන මලුවේ දී බැඳි හාද
සිත්සම් තොසින් දුන් මුව මී බී වාද
ඉක්මන් ගමන් හිමි ඔබ අද යන වාද
දස්කොන් මගේ නමට ජීවිතේ දෙනවාද


සිය පණවන් සුපෙම්වතියගේ එ වදන් ඇසීමෙන්.........

විසැස් කමලාව රස පහස නොවී පමා
දැසෙස් දුනි පොරණ ඇස දුටු පමණ ටමා
වෙසෙස් ඔබගේ අමයුරු පහස ලත් මෙමා
මිනිස් හිසක් දුන්නම ඔබේ නමට කිමා

යනුවෙන පිළිවදන් දී ඈ හිත අස්වැසීමට දස්කොන් උත්සාහා දැරුවේලු.


රාජසිංහ දෙවිනාමෙත් මැකුණාය

පළමුවන රාජසිංහ රජතුමා යුද්ද කිරීමෙන් අනතුරුව ජයගෙන පැමිණෙන අතර තුර අඟුරුවැල්ල ආසන්නයේ වූ පෙතංගොඩ උයනේ දී යටි පතුලේ උණ කරුවක් ඇනීමෙන් මරණය් ට පත් වූ ආකාරය ජන කවියා වහරන්නේ මේ ආකාරයෙන් ය.

සොඳුරු පෙතංගොඩ උයනට වැඩියාය
නපුරු උණ කරුව පතුලේ ඇනුණාය
එකව සිටි සැවොම වටකොට මතුලාය
රාජසිංහ දෙවිනාමෙත් මැකුණාය


ගලින් කොටුව බැන්දයි තිරිකුණාමලේ

ත්‍රිකුණාමලේ බලකොටුව දෙවන රාජසිංහ සමයේදී පෘතුගීසි ජාතික කොන්ස්තන්තීමු විසින් සාදන්න ට යෙදුනේ යැයි කියන නමුත් එය දෙවන රාජසිංහ රජු විසින් සාදවන ලද බව කවියා මෙසෙව පවසයි.

මලේ මලේ තැඹිලිය වැන්න පොල් මලේ
රැලේ රැලේ මූදින් දමන දිය රැලේ
බලේ බලේ රාසිං දෙයියන්නේ බලේ
ගලින් කොටුව බැන්දයි තිරිකුණාමලේ



සිංහලේට ආවට තොපි කැති ගැවා

ඒ 1802 වසරයි. බ්‍රිතාන්‍ය හේවයින් විසින් උඩරට අල්ලාගැනීමට ජා හේවයි පිටත් කර හැරි සමයයි. සටනින් සිංහලයන් පැරදුන අතර ජා හේවායින් සිංහලයන් ගේ දෙපල විනාස කර දමා ඔවුන්ගේ ගවයන් ද මරා කන්නට විය. බොදු පරිසරයක සිය ජීවිතය දැහැමිව ගෙවන සිංහලයාට මෙය ඉවසුම් නොදෙන්නක් විය. කෙසේ හෝ ශ්‍රී වික්‍රම රාජසිංහ සේනාව රැස්කර උඩරට බලය යලින්ත් සියතට ගත්තේ ය. සිංහලයන් පැරදී පලායන ජා හේවායින් පසුපස ලුහු බැඳ මරා දැම්මේ සිය දෙපා විනාස කර පණ වන් ගවයින් මැරූ පලිය ගන්නට ය.
ජන කවියෙන් මේ බව දැක්වෙන්නේ මෙසේය.

දන්තුරේට සසුකර මෙරටට ආවා
ගොන්තුරේට ගෙන දියවර බොන ජාවා
සංකරේට නොවටින ගෙරි මස් කැවා
සිංහලේට ආවට තොපි කැති ගැවා



නිදහස දුන්නොත් - කැටිව එමි රජුගේ දුව

රාජාධිරාජසිංහ රජුගේ දණ්ගනයට හසු වූ විදේශිකයෙකු ඩඬුවම් ලැබ සිරගෙට නියම විය. එවිට විදේශිකසිරකරු තමා නිදහස් කලොත් සිය රටට ගොස් එහි රජතුමාගේ දියණිය ගෙනැවිත් දෙන බවට පොරොන්දු වූවේලු. මේ බව ජන කවිය රස කලේ මෙලෙසිනි.

උතුම් රිවි කුලෙන් පැවතෙන මනනු ලෙද
පසම් තෙද විකුම් රජසිහ නිරිඳු සඳ
නිතින් දෙවඟණක දිසි අප රදුව ළඳ
තොසින් ගෙන ඇවිත් දෙම්මා මිදුව තෙද



පුරන් අප්පු රජ වූ හැටි

ඒ 1848 වසරයි. එවකට වූ ඉංග්‍රීසි පාලනයට විරුද්ධව මාතලේ කැරැල්ල සිදුවිය. ක්‍රි.ව. 1848 ජූලි මස 28 වනදින දඹුලු විහාරයේදී උඩරට රජු ලෙස පුරන් අප්පු ඔටුණු පැළඳී ය. පසුව කැරැල්ල මැඬ පැවැත්වූ ඉංග්‍රීසින් පුරන් අප්පු රාජ ද්‍රෝහියෙකු ලෙස සලකා වෙඩි තබා මරා දැමීමට තීන්දු විය. ජන කවියා කවි කර ගෙන එන්නේ ඒ ඔටුනු පැළඳවීමය.

පුරන් අප්පු සේනාපති තෝරාලා
ආරක්සා බටයින් තව රැස් කරලා
යුද සේනාව සවි සක්තිය යොදවාලා
පුරන් අප්පු රජවිය සතුටින් එකලා



ගලපිට මා වී වැඩුනු හැටි

සිරි සඟ බෝ රජතුමා අත්තන්ගලු වනයේ සිල් රකිමින් සිටිද්දී මඟියෙකු පැමිණ සිය බත් පතින් කොටසක් රජුට පිළිගැන්වී ය. මඟියාගේ පෙරැත්තට එය පිළිගත් අතර සිය බත් පතින් පෙර බත් මිටක් පොකුණ වෙත විසි කොට මා බුදු වෙතොත් මේ බත් පැල වේවායි පැතුවේලු. අදටත් නියම වාරෙට එහි පොකුණේ මා වී දකින්නට ලැබේ. මේ විස්තරය ජන කවියෙන් ප්‍රකාශවෙන්නේ මෙලෙස ය.

අයියණ්ඩියේ නුඹ කොතැනින් ගෙනා වියේ
සකබඹ තල වක මුදුනෙන් ගෙනා වියේ
මසින් මසට ගොප් ඇඳ ඇඳ පහ වියේ
අත්තන ගල්ල ගලපිට පඳුර මා වියේ



ළදරු බණ්ඩාර මැරුවයි එ තැනේදී

මද්දුම බණ්ඩාර ඇතුලු ඇහැලේපොළ දරුවන් මැරවීම පිළිබඳ ශ්‍රී වික්‍රම රජු ගත් තීරණය පිළිබඳ ශෝක වූ කවියා ඒ බව ගයා ඇත්තේ මෙලෙසිනි.

බෝගහ වීදියේ තුන් මං සලේදී
නා ගහ වීදියේ තුන් මං සලේදී
සතර වරම් දෙවි නඩු නැති දිනේදී
ළදරු බණ්ඩාර මැරුවයි එතැනේදී




ලිව්වේ:
LishWish
මූලය : සිංහලේ අන්තිම රජ
මැකෙන ජන කවි කතා
හෙළ කවි සරණිය

මනරම් සොකරි නාටකය . . !

Mar 28, 2010

P1010987


තුන්පත් රටා බ්ලොග් අඩවිය ආරම්භයේ පටන් පාඨකයන්ගේ ඉල්ලීමක් තිබුනා "සොකරි" ගැන ලියන්න කියා. නමුත් ප්‍රමානවත් පත පොත නොමැති කමින් ටික කලෙකට ප්‍රමාද කරන්න සිදු වුවත් පසුගිය නිවාඩුවෙන් පසු පැමිනීමේදී තුන්පත් රටා බ්ලොග් එක වෙනුවෙන්ම තරමක් පොත පොත සොයාගෙන අවායින් සොකරි ගැන යමක් ලිවේමේ අඩිතාලමක් වැටුනු බව පවසන්නේ සතුටින්.

ඒ අතරේම ලිෂාන්, හෂිත, සචී පසුගියදා නැරඹූ හා නරඹන ආතර රූගත කල නැටුම් සංදර්ශයන්යේදී රූගත කල දෑ එකතු කිරීමට පාදම සපයනු වස් පමා නොකොට සොකරි ගැන ලිවීම යෙහෙකැයි මා සිතුවා. ඒ අතරම "ඔන්න මම පොත් හොයලා දුන්නා . . දැං ඉක්මනට ලියන්න" යි නදීෂා නිතර කරන ඉල්ලෙමත් කොහොමත් අහක දාන්න බැරි වුනා.

කෙසේ වෙතත් මේ සොකරි විස්තරය වටා ගෙතුනු කතා කීපයක් හා විස්තර කල යුතු අංග කීපයක් ඇති නිසා පාඨකයාට එපා නොවෙනු වස් කොටස් කීපෙකින් රැගෙන ඒමටයි මගේ බලාපොරොත්ටුව.

ගැමි නාටක . .. .
ශ්‍රී ලංකාවේ උඩරට හා පහත රට නර්තන සම්ප්‍රදායන් හා බැඳුනු ගැමි නාටක ගැන සොයා බැලීමේදී ප්‍රධාන ගැමි නාටක දෙකක් ඇති බව කියවේ. එනම් "සොකරි නාටකය" හා "කෝලම් නාටකය" යි. මීට අමතරව "නාඩගම්" සහ "රූකඩ" ද ගැමි නාටක ලෙස හඳුන්වනු ලැබේ.

සොකරි
සොකරි නාටකය එහි ප්‍රධාන චරිතයේ නමින්ම හඳුන්වනු ලබයි. බොහෝවිට සොකරි නාටකය දක්නට ලැබෙනුයේ උඩරට ප්‍රදේශ වලදී ය. වන්නි ප්‍රදේශයේ, සතර කෝරලයේ ඇතැම් ප්‍රදේශ වලද දක්නට නැතුවා නොවේ. වර්තමාන සොකරි නාටකය හඟුරන්කෙත, හේවාහැට, මාතලේ, දඹුල්ල, කළුංදෑව, කොනකගල යන ප්‍රදේශ වල දක්නට ඇත. නාගරිකරණය වීමේ ප්‍රතිඵලයක් ලෙස සොකරි නාටකය ක්‍රමයෙන් අභාවයට යමින් පවතී.

රංගභූමිය හා සැරසිලි
මෙහිදී රංගභූමිය ලෙස බොහෝ විට යොදා ගන්නේ කමතයි. මෙය කවාකාර රඟ මඬලකි. ප්‍රේක්ෂකයාට නිදහසේ බිම වාඩිවී නාටකය නැරඹිය හැකි ලෙස රඟ මඬල සකස් කෙරේ. රංගභූමිය පිටුපසින් කෙසෙල් පතුරු වලින් සාදා ගොක් කොල කැටයමින් අලංකාර කල මල් යහනක් ඉදිකෙරේ.

P1010893

නාටකයේ අරමුණ
ප්‍රාධාන අරමුණ ලෙස විනෝදාස්වාදය ලබා ගැනීම සඳහන් කල හැකි අතර සොකරි නාටකයේ පූජා ක්‍රමයක්ද ඇති බව පෙනෙන හෙයින් දෙවි දේවතාවුන් සතුටු කර ඔවුන් පිනවා සරුසාර අස්වැන්නක් ලබා ගැනීම ද්වීතියික අරමුණ ලෙස ගත හැක.

වාද්‍ය භාණ්ඩ
ගැටබෙරය හෙවත් මගුල් බෙරය ප්‍රධාන වාද්‍ය භාණ්ඩය වේ. එනමුත් ඇතැම් පලාත්වල (බදුල්ල ) දවුල ද වන්නි ප්‍රදේශයේදී උඩැක්කියද යොදා ගැනේ.

පූජා ලබන මූලික දෙවිවරු
පූජා ලබන මූලික දෙවිවරු ලෙස පත්තිනි දේවිය හා කතරගම දෙවියන් දැක්විය හැක.

සොකරි පුරා වෘත්තය
කසී රටෙන් පැමිනි ගුරුහාමි නමැති ආඬි ගුරාගේ බිරිඳ වූ සොකරි ඉතා රූමත් කාන්තාවකි. ඔවුන්ග සේවකයා පරයා නමි. ගුරුහාමි, සොකරි හා පරයා නැව් නැඟ ලංකාවට පැමිණ, තඹරාවිට නම් ගමේ පැලක් සාදා ගනී. සිංහල බස නොදැනීම නිසා පැලක් අටවා ගැනීම ඉතා අපහසු කාරියක් වු නමුත් සේවකයා වූ පරයාගේ කපටිකම, දක්ෂකම හා මුඛරිකම නිසාවෙන් ඒ කාරිය අපහසුවකින් තොරව ඉටු කෙරේ.

P1010996


ගුරුහාමි ගමේ ඇවිද සහල් ගෙනැවිත් බිරිඳ සොකරිට දෙයි. පසුව එය පිසීම සඳහා ජලය සොයා ගැනීමේ කාරිය ද ගුරුහාමිට පැවරෙයි. ජලය සොයා යන ගමනේදී බල්ලෙකු විසින් ගුරුහාමිව සපා කමු ලබයි. මින් බලවත් ලෙස රෝගාතුර වන ගුරුහමි මියා ගියායැයි සිතන පරයා සොකරි තමා වෙත නම්මවා ගැනීමට උත්සාහ දරනු ලබයි.

කෝපයට පත්වන සොකරි වෙදරාළ කැඳවාගෙන එන්නට පරය පිටත් කර හරී. පරයා වෙදරාළට කොපමන ඇවටිලි කලත් සොකරි විසින්ම ආරාධනා කරන තූරු වෙදරාළ නොපැමිනෙයි.

කීපදිනක් ගුරුහාමිට වෙදකම් කරමින් සිටින වෙදරාළ සොකරි සමඟ හාද වී එක් රාත්‍රියක ඈ සමඟ පැන රහසේ පැන යයි. ශෝකයට පත් ගුරුහාමි කතරගම දෙවියන්ට සොකරි ආපසු ලබාදෙන ලෙස ඉල්ලා භාරයක් වෙයි.

කතරගම දෙවියන්ගේ බලයෙන් පිහිටෙන් සොකරි ඉන්නා තැන දැනගන්නා ගුරුහාමි සොකරි කැඳවා ගෙන විත් ඈ කල නොමනා ක්‍රියාවට ඇයට දඬුවම් දෙනු ලබයි.

තමා වෙදරාළ සමඟ ගියේ ස්වකැමැත්තෙන් නොව වෙදරාළ විසින් දුන් ඉනා බෙහෙතක් නිසාවෙන් යැයි සොකරි තම නිදහසට කරුනු ගෙන හැර දක්වයි. සෙට තැලීමෙන් තම කෝපය නිවා ගන්නා ගුරුහාමි පසුව ඇයට සමාව දෙනු ලබයි.
කලකට පසු සොකරි දරුවෙකු වදන අතර ඉන් පසු සියල්ලෝ සතුටින් ජීවත් වන බව අඟවමින් නාටකය නිමාවට පත්වේ . ..

සොකරි නාටකයේ චරිත
සොකරි
ගුරුහාමි
තඹරාවිට වෙදරාළ
පරයා
හෙට්ටියා
කාලි අම්මා
සොත්තානා
වඩුරාළ
කපුරාළ

පිරිමින් විසින්ම පමනක් මේ නාටකයේ සියළුම චරිත රඟ දැක්වීම මෙහි ඇති විශේෂිතම ලක්ෂනයයි . .

P1010994

P1010989

P1020019

P1020053

. . .. . . . .. . .. . .


සොකරි නාටකය පිලිබඳ මූලික හැඳින්වීම මේ කොටසින් නිමා කරමි.

සෙස්ස පස්සට

මූලාශ්‍ර / උපුටා ගැනීම : නදීෂාගේ ඤාති සොයුරෙකුගේ උසස්පෙළ නැටුම් කලාව අභ්‍යාස පොතෙනි.

බමර ගී

Mar 23, 2010

SRI-VED-SE-18_medium



විජයාවතරණයටත් පෙර පටන් සිරිලක බිම නිජබිම කොට ගත් අපේ ආදිතමයා වශයෙන් හැඳින්වෙන්නේ වැද්දා ය. දඹාන, බිංතැන්න, නිල්ගල වැනි වන ගහන වල ජීවත් වූ වැද්දා ට ම ආවේනික සංස්කෘතික ලක්ෂණ තිබේ. යකුන්, ගස්, ගල්, හිරු, සඳු ඇදහීය. ඒ වෙනුවෙන් පුද පූජා පැවැත්වීය. ඔවුහු නැටූහ. ගී ගැයූහ. වැදි පෙරහර ඒ සියල්ලෙන් ම සම්පූර්ණ විය. නිදසුනක් ලෙස කිරිකොරහ ශාන්තිකර්මයකි. කන්දේ යකා හා බිළිඳු යකා ඉන් පුද ලබති.


බමර කැපීමද වැදි ජීවන රටාවේ තවත් විශේෂ වූ අංගයකි. දසමස් කල් තබා ගැනීමට පැණි අවශ්‍ය විය. ඒ සඳහා මී වද බමර සොයමින්, ගල් රුප්පා, රූස්ස ගස් සරා මහා වනය පීරති. "නොදියුණු" නූගත් යන වදන විශේෂණය කොටගත්තත් වැද්දෝ අපට වඩා නුවනැත්තෝ ය. ඔවුන් නිවහල් ය, නිදහස් ය. සතුටින් සාමයෙන් කාලය ගෙවන්නෝය. ඒවන් ජනසමාජය ක නැටුම්, ගැයුම් වැනි කලා රසාංග මතුවන්නේ නිතැතිනි.


"මලී ගී" නමින් ද හැඳින් වෙන බමර ගී පිළිඹඳ කතාව අවස්ථා කිහිපය කි. කඳු, හෙල්, පල්ලම් තරණය කර රූස්ස ගස් නගින හැටි, ගල් නලලත ට පැමිණෙන අයුර, බමර දකින විට ඇතිවෙන සතුට, ඉන් උද්දාමයට පත් වෙන හැටි, ඒසේ වී දෙවියන් වෙනුවෙන් ඒවා ගායන කරන හැටි යන අවස්ථා වර්ණවත් කලේ කවියෙන්, කිසිවකින් ඔවුහු අනුකරණ නොකරන ලද්දා හ. ගැයුවේ අවංක සිතිනි. අව්‍යාජ අදහසිනි. ජීවනයේ දුක්, කම් කටොලු ගන විස්තර එහි ඇතුලත් වී ඇත්තේ ය.


පදවැල් ඉතා සරළ ය. ඔවුන්ට ම අවේනික වූ බැද්ද, හුරා, රිස්ස වැනි පද යහමින් යෙදී ඇත. ස්වර පරාසය පටු ය. එහෙත් වෙන කිසිම ජන ගී රටාවක ට සමකල නොහැක.


ගල් ඇඳි වල බැඳ ඇති බමර කැපීමේදී, රසවත් කතා ඇසිය හැකිය. ගල නලලත පහලට බැසීමට, ශක්තිමත් වැලක් යොදාගනී, එහි මුල ඇල්ලීමට ඉඩදෙන්නේ තම මස්සිනාට පමණි. ඒ වෙනත් කෙනෙකු ගැන විශ්වාසය තැබිය නොහැකි නිසා ය. ලොකු ගස් වල ට නගින්නේ වෙනත් කුඩා ගසක ඇති වැලක ආධාරයෙනි. ඔන්චිල්ලාවක සේ පැද්දී පැද්දී යමින් දුම් අල්ලා මැස්සන් පලවා හරින්නේ සිය ජීවිතය ද පරදුවට තබා ය.


බමර කැපීමද ඉතා විචිත්‍ර ය. බමර ය කපන්නට යාමද අඟවන්නේ කවියකිනි.


මැණික් රජා හට ගොස් පවසන්නේ
බමර කපන්නට යමං කියන්නේ
දකුණට රං කඩුවක් අරගන්නේ
වමතට ගිනි පන්දමක් දරන්නේ


බමරය අසලට යන වැද්දා කැපීමට පෙර දෙවියන් යදී. ඒ සිය ජීවතය හා අතවැසියාගේ ජීවිතය වෙනුවෙනි.


සිද්ද පරකාස දෙවි හාමුදුරුවනේ
තිත්ත රන් දුන්න ගන තේව කරමිනේ
සිද්ද වෙවන් පිනිදිය උඹට කැප උනේ
වැන්ද මෙන්න බුදුවෙන හාමුදුරුවනේ


බමරුන ගසින් හෝ ගලෙන් ඉවත් ව ගිය පසු එහි මුදුනට වී සිටින වැද්දාට අවට සිරියාව යහමින් දකින්නට වරම් අවකාශ තිබේ. ඒ සතුර බමර කඩන්නා පෙන්වන්නේද කවියකිනි.


බැද්ද අවට සුදු මොර මල් පිපීලා
සද්ද කර බමරු ඒවග අඬාලා
ඉටිත් පැණිත් ලොව හමතැන බෙදාලා
යන්නම් බමරු දුක් මැසිවිලි කියාලා


වේලි හෙලට මේ මහ හෙල උස වැඩියා
ඒ දුනුවැල ඇදලා මගේ රිස්ස ගියා
ලොවේ සේනාව හෙලයට වැටී ගියා
ඉටි පැණි නැතිව උන් හෙලයට වැටී ගියා


බමරය කපන්නට ගසට නගින වැද්දා මෙසේ කියන විට පහල සිටින අතවැසියාද ඒ හඬ ගසා කියති.., එසේ ගෝෂා සහිතව ගයන්නේ වලසුන්ගේ උපද්‍රව ද මඟ හැරී යාමට ය. බමර පැණි ආපසු ගමට ගෙන යාමෙදී ද දෙවියන් ගෙන් අවසර ගැනීමට ද අමතක නොකරති.


වේලි හෙලේ හෙල වටකර මුලුල්ලා
ගල් නලලත බැන්දා වැනි තොටිල්ලා
පාදන් පොලට එන කොටකර කැවිල්ලා
හෙලේ බසින්නට අවසර අර ගල්ලා


මේ අති සරළ ජීවන කරමය අතීත ජනයා ගෙව්වේ කලාවත් එක්කොට ගෙනය. ඔවුන් ස්වභාව ධර්මයට සැලකුවේද ස්නේහයෙනි, ස්වභාව ධර්මයද ඔවුන් ව අමතක නොකලේ ද එනිසා විය හැකිය. අද අපට අහිමි වී ඇත්තේ ද එයම ය.



ලිව්වේ : LishWish.
අතහිත : ප්‍රේමරත්න සොයිසා ගුරුපියාණන්.

පැරකුම් රජුගේ කෝපයෙන් උපන් රොඩී කුලය සහ ඒ හා බැඳුනු කුලු නැටුම් !

Mar 8, 2010


පැරකුම් රජුගේ දියණිය රජ මාලිගය අතු-පතු ගා කුනු-රොඩු එකතු කර විසිකරන සේවකයා හා පෙමින් බැඳුනි. මේ බැව් දැන ගත් රජු ඒ සබඳකම නතර කිරීමට කල හැකි දේ සලකා බලන්න ඇති. කුමරිය පිය රජුට පවසන්න ඇති "මා සිත් ගත් පෙම්බරයාගේ දිවියට හානි කලොත් ඔබට ඔබේ දියණියගේ දිවියත් නැතිවනු නිසැකයි" කියා.

නැති නම් කුමරිය රහසේම රොඩු එකතු කල කඩවසම් තරුණයා හා මාලිගයෙන් පලා යන්න ඇති.

රජුට ඇතිවූ අපහාසයට, කනගාටුවට කුමරියගෙනුත් රොඩු එකතු කරන්නාගෙනුත් පලිගනු වස් රොඩී යැයි කුලයක් සාදා, තම දූ කුමරියත්, රොඩු එකතු කල තරුණයාත් ඔහුගේ සනුහරේ ඈයෝත් ඒ කුලයට පන්නා දමන්න ඇති. එය පහත් කුලයක් ලෙස හංවඩු ගසන්න ඇති. තවදුරටත් රොඩී කුලයේ මිනිසුන් මිනීමස් අනුභව කරන බවක් සමාජයේ පතුරුවා හැර ඒ කුලයට ඇති සමාජ පිලිගැනීම නැත්තටම නැති කර දමන්නැති.

කපාගත් ගොයමේ වී හුලං කිරීමට හෙවත් රොඩු ඉවත්කිරීමට අවැසි කුලු නිපැදවීම මේ රොඩී කුලයේ අයට පැවරුනු රාජකාරියක් වෙන්න ඇති.


කුලු නැටුම් වල ඇති කවි වල සඳහන් වන පැරකුම් රජුගේ දියණිය අප සිත් තුල ඇති කලේ විශාල කුහුලක්. ඇය කීවෙනි පැරකුම් රජුගේ දියණියද?? කුලු නැටුම් වලත් ඇගේත් ඇති සම්බන්ධතාවය කුමක්ද?? වරෙක නදීශා පීටර් සූරසේන නැටුම් ගුරු මහතාගෙන් විමසීමක් කලත් නිසි පිලිතුරක් නොලැබුනි. නමුත් සචී, හෂිත, මා, ලිෂන් හා අක්කන්ඩි ස්කයිප් කතාබහක යෙදී සිටින විටෙක මගේ ඒ කුහුල රසවින්දනයේ විශ්වකෝෂයක් බඳු හෂිත විසින් විසඳන ලදි.

ඉහත සඳහන් පරකුම් රජුගේ දියණිය ගැන මගේ අනුමාන කතාව ඒ ඔහු විසින් පැවසූ ජනප්‍රවාදය ඇසුරින් නිමැවූවක්. මේ සම්බන්ධව මීට වෙනස් හෝ වැඩි යමක් දන්නා අයෙක් වේ නම් ඒ අදහස් කමෙන්ටුවක් ලෙස සඳහන් කිරීම අනාගත පරපුර වෙනුවෙන් කරන යුතු කම් ඉටුකිරීමක් ලෙස සලකනු ඇති.

මේ පහත දැක්වෙන්නේ ජන ගී වල ජනප්‍රිය නැටුමක් වූ කුලු නැටුම් වල කවි කීපයක්. කුලු නැටුමක වීඩියෝ පටියක් සොයා ගැනුමට වෙහෙසුනායින් මේ ලිපිය මෙතරම් පමා වුවත් පසු කාලයක එකතු කිරීමේ බලාපොරොත්තුවෙන් දැනට කවි කිහිපය පල කිරීම වඩා සුදුසු යැයි උපකල්පනය කොට ලියා පල කලෙමු.

ඈත සිටන් එන්නේ සෙල්ලි සෙල්ලියේ
මෑත සිටන් එන්නේ සෙල්ලි සෙල්ලියේ
කරේ බන්ද පවලම් වැල නොසෙල්ලියේ
පැරකුම් රජුගෙ දුව නවරත්න වල්ලියේ

වටත් සදිසි බට කොළ වියපු වල්ලියේ
මටත් බලන්නට සවුදම් ගැසුල්ලියේ
මෙරට ලඳුන් කුළු හරඹට අවුල්ලියේ
පැරකුම් රජුගෙ දුව නවරත්න වල්ලියේ

බන්ද වාන කුළු යතුරු සදාලා
අන්දවාන දෙදෙනෙකුට කියාලා
කැන්දවාන අළු යන්තරෙ ඇදලා
කන්දෙ බැදෙන බැත පැහැපත් කරලා

රන් ගිරි මුදුනේ හිරු බැබලෙන්නේ
වල්ලි ළදුන් තනි තනිවම එන්නේ
අවුව ද වැස්ස ද කියා බලන්නේ
කුල්ල අරන් අප නටුමට එන්නේ


මෙහි ඇත්තේ ජන ගීමාලා නම් නොනවතින ගී කලසේ එන මෙම කුලු නැටුමට අයත් ගී ඛණ්ඩයකි.



. . . . . . .. . . .. . ..

ලිව්වේ සුභාෂ් සහ නදීෂා

සද්ධර්මාලංකාරයෙන් නිරූපිත ශ්‍රී ලාංකික ජන ජීවිතය

Feb 25, 2010

සිංහල සම්භාව්‍ය ග්‍රන්ථවලින් ඒ ඒ කාල වකවානුවල ලාංකේය ජන ජීවිතය පිළිබඳ හෙළිවන තොරතුරු බොහෝ ය. අනුරාධපුර යුගයේ පටන් මෙරට පාලකයන් ව සිටි කාවන්තිස්‌ස, දුටුගැමුණු, සද්ධාතිස්‌ස ආදී රජවරුන්ගේ සමයට අයත් කථා ප්‍රවෘත්ති රාශියක්‌ සද්ධර්මාලංකාරයේ දක්‌නට ලැබේ. බුදු සමයේ චිරස්‌ථිතිය සඳහා මොවුන්ගෙන් සිදු වූ කාර්යභාරයත් දකුණු ඉන්දීය ආක්‍රමණිකයන් සමඟ කරන ලද විවිධ යුද්ධ කටයුතුත් මොවුන් හා සම්බන්ධ වෙනත් තොරතුරුත් මෙහිලා වඩාත් කැපී පෙනේ. මේ සඳහා සද්ධර්මාලංකාර කතු හිමියන්ට සිහළවFථූපකරණය, සහස්‌සවFථුපකරණය යනාදී ග්‍රන්ථ පමණක්‌ නොව දැනට නැති තවත් ග්‍රන්ථ ද මූලාශ්‍රය වන්නට ඇතැයි ඇතැම්හු පෙන්වා දෙති. (සන්නස්‌ගල, 1967, 33 පිට) ධර්මකීර්ති හිමියන් ප්‍රධාන වශයෙන් රසවාහිනිය ගුරු කොට ගෙන සද්ධර්මලංකාරය සම්පාදය කොට ඇති අතර එහි ලංකාදීපුප්පත්ති කථා නමින් ඉදිරිපත් කර තිබෙන ද්වීතීය භාගයෙහි කථා වස්‌තු රාශියක්‌ කියවන විට අපට දැනෙන්නේ අපේ ම ගම්බද හා නගරබද නොයෙක්‌ තරාතිරම්වල ස්‌ත්‍රී පුරුෂයන් හැසිරුණු, කථා බහ කළ ආකාරයයි. එසේම දාසදාසීන්, ගව පාලකයන්, ගොවියන්, කම්කරුවන්, වෙළෙඳුන්, නිලධාරීන් රාජ්‍ය පාලකයන් ආදී නොයෙක්‌ වර්ගයේ ජනයා අප රටෙහි විසූ ආකාරය පිළිබඳ අනාවරණයයි.

ලාංකේය ජන ජීවිතය පිළිබඳව හෙළි වන තොරතුරු අංශ කීපයක්‌ යටතේ දැක්‌විය හැකිය.

ආර්ථික තොරතුරු

ලංකා කථාවස්‌තු ඇරඹෙන්නේ කුණ්‌ඩලී වස්‌තුවෙන් ය. (සද්ධාතිස්‌ස හිමි, (සංස්‌) සද්ධර්මාලංකාරය 1934, 337 - 382 පිටු) ඊට පසුබිම් වූ රුහුණු මාගම තිස්‌ස නම් විහාරයකි. එහි විසූ සාමණේර භික්‍ෂුවක පානව නම් ගමට සිඟා වැඩි අවස්‌ථාවේ කුඹුවන් නම් කඳුරුලිය අසලදී තමා ලත් අහරින් ක්‍ෂුධාවෙන් සිටි බැල්ලකට සංග්‍රහ කළ අයුරු දැක්‌වෙන කථාවකි.

මේ හා සමාන තවත් කථාවක්‌ වන්නේ චූලනාග ථෙර වස්‌තුවයි. (එම 573 - 578 පිටු) එහිදී දරුවන් වදා සයින් පීඩිත බැල්ලකට අනුකම්පාවෙන් අහර පිණිස දෙන්නට කිසිවක්‌ නැති නිසා ඇඟිල්ලක්‌ මුඛයෙහි බහා වමනේ කොට බඩ පිරෙන පමණ අහර දුන් බව කියෑවෙයි. මේ කථා දෙකෙන්ම හැඟෙන්නේ එකල පැවැති ආර්ථික අපහසුතා ය. සමාජයේ මිනිසුන් උපයා සපයා ගන්නා දෙය ඔවුන්ට යෑපීමට තරම් ප්‍රමාණවත් නොවූ බවත් සතෙකුට ආහාර දීමක්‌වත් සිදු කිරිමට නොහැකි තරමට ම ආර්ථිකය දුෂ්කර තත්ත්වයක පැවතුණු බවත් ය.

සමස්‌ත රටේ ආර්ථිකය දුර්වල වන විට එහි වෙසෙන පොදු ජනතාව ද විශාල පීඩනයකට පත්වනු ඇත. පසුගිය කාල වකවානුව තුළ ලෝක ආර්ථිකයට එල්ල වූ පහර නිසා සමස්‌ත රටවල් සසල වූ බව නො රහසකි. වළගම්බා රජු දවස පැවතුණ බවට විශ්වාස කෙරෙන බැමිණිටියා සාය නිසා බොහෝ කලක්‌ මිනිසුන් අපමාණ ආර්ථික හිඟයකට මුහුණ දී තිබේ. කර කොළ කෑම, සහල් ස්‌වල්පයක්‌, පොට්‌ටනියක්‌ බැඳ එය තම්බා වතුර බොමින් ජීවත් වීම යන තොරතුරු වත්ථුල පබ්බත කථාව, ජයම්පතිකා වස්‌තුව, අම්බ අමාත්‍ය වස්‌තුව, රුක්‌ඛ දේවතා වස්‌තුව යනාදී කතාවලින් ආහාර සොයා ගැනීමේ අපහසුතාව කොතෙක්‌ ද යන්න අනාවරණය කෙරේ.

ගැමි ජන ජීවිතයේ ආර්ථික හානිය පෙන්නුම් කරන කතාවක්‌ වන්නේ උත්තරෝලිය වස්‌තුවයි.

"මෙම ලංකා ද්වීපයෙහි රජ රට උතුරාලු නම් ගමෙක්‌ විය. ඒ ගමට නුදුරු තෙන දරුවෙක්‌ රජසින් ගැවසුනා වූ සිරුරු ඇති ව කිලුටු කඩ රෙද්දක්‌ ඇඳ ගෙන උදැසනින් ම කැඳිත්තක්‌ බී පාදමක්‌ හා කැවිටි ලීයක්‌ අතින් ගෙන ගවයන් රක්‌නා පිණිස වලට යයි. එකල ඔහුගේ මව් මැහැලි තොමෝ පුතණ්‌ඩ තොප ළඟට දහවල් යන්නෝ නැත. දෙවෙලා මැද තෙලේ කාලා පැන් බී පියවයි කියා සවස උයා තුබූ පිළිණ කටු අලයක්‌ දුන" (එම 435 පිට)

මේ පුවතින් අපට ගොපල්ලන් වැන්නන්ගේ ජීවිත කෙතරම් දුෂ්කර වී ද යන්න හැඟේ. මෙහි එන ළමයා ඇඳ සිටියේ ඉරුණු කඩමාල්ලකි. ශරීරය ද කුණු තැවරී තිබුණි. ඔහුගේ උදේ කෑම කැඳ ය. දවාලට ලැබුණේ කටු අලයක්‌ පමණි. දුප්පත් ළමුන් බොහෝ විට ගවයන් රැක බලා ගනිමින් කටයුතු කළ බව ද පෙනේ. සත්ත්ව පාලනය භාරතයේ පටන් එන ප්‍රධාන රැකියාවකි. ආර්ථික පීඩාවන්ගෙන් බැට කෑම පමණක්‌ නොව හදිසි ආපදාවන්ට ගොදුරු වීමට පවා ඔවුන්ට සිදුවිය.

"ඔහු දෙදෙන එක්‌තරා ඉසුරුමත් කෙනෙකුන් ළඟට ගොස්‌ තමන්ගේ පුතණු කෙනෙකුන් කාය කරවා කහවණු අටක්‌ අගනා දෙනක්‌ ඇර ගත්හ. ඒ දෙන එදවස්‌ ම වස්‌සකු වැදුව. දෙ වන දවස්‌ ඒ දෙන් ගිතෙල් ම දුන." (එම 571 පිට)

දරුවන් විකිණිම, ගව වෙළෙ¹ම, ගිතෙල් සෑදීම වැනි තොරතුරුවලින් පෙනෙන්නේ ඉන්දියාවේ පැවැති ඇතැම් ක්‍රියාකලාප පවා පැවතුණ බවයි. දරුවන් විකිණීම එකල ද පැවතුණ බව පැවසීමෙන් සංකර සමාජයක්‌ තිබූ බවට ද සාධක සැපයේ.

ලක්‌දිව පිහිටි මහතලා විහාරයක වාසය කළ අභය නම් භික්‍ෂුවක ග්‍රාමාන්ත සේනාසනය හැර වනවාසී ව සිටි අයුරු අරCඳ්Cඳක අභය ස්‌ථවිර වස්‌තුවෙන් කියෑවේ. එතුමන්ගේ ප්‍රයෝජනය සඳහා එක්‌තරා උපාසකයකු දුන් වස්‌ත්‍ර නිතර ම සොරකු විසින් සොරා ගැනිණි. මේ ගැන සැක සිතූ උපාසක තෙමෙ සොරකමෙහි යෙදුණු තැනැත්තා අල්ලා ගත් ආකාරයත්, ඉක්‌බිතිව ඔහුට දඬුවම් කළ ආකාරයත් කථා පුවතින් විස්‌තර වේ. වස්‌ත්‍රවල තරම දුටු සොරාට ඒවායින් තමන්ට කිසියම් ප්‍රයෝජනයක්‌ ලබා ගත හැකි බව පෙනුණි. එහෙයින් වරින් වර ඔහු ඒ සොරකමෙහි යෙදුණි. මේ සිද්ධියෙන් එකල පැවැත් සමාජයේ ආර්ථික අපහසුතා ගැනත්, රෙදිපිළි හිඟයක්‌ තිබූ අතර ඒ නිසා ඇතැමුන් භික්‍ෂුන් සතු වස්‌ත්‍ර පවා සොරකම් කිරීමට පෙළඹී ඇති බවත් ප්‍රකට වේ.

ඇතැමුන්ට ජීවත් වීමට ආදායම් මාර්ගයක්‌ නොමැතිව වහලුන්, දාසයන් ලෙස කටයුතු කළ අතර, ඔවුන්ගේ ශ්‍රමය පොහොසතුන් සූරා කෑ බවත් පෙනේ. (එම, 219 පිට) "කුලිය පිණිස සහල් දෙන ලද බව" (සිද්ධාර්ථ හිමි, (සංස්‌) පූජාවලිය, 1951, 642 පිට) පූජාවලියේ සඳහන් වේ. එසේම ගනුදෙනු කරන අවස්‌ථාවල ඒවා ලියා සටහන් කිරීම, පොලියට මුදල් දීම, ණයට මුදල් දීම, ඒ සඳහා පොහොසතුන් විවිධ උපක්‍රමවලින් පොලිය ලබා ගැනීම යනාදී තොරතුරු රැසක්‌ ද අනාවරණය වේ. මුදල් රැස්‌ කිරීම, මුදල මත විවිධ කාර්යභාරයන් පදනම් වීම, මුදලට භාණ්‌ඩ තක්‌සේරු කිරීම වර්තමානයේ මෙන් නොවූවත් එකල ද සිදු වූ බව මෙබඳු ප්‍රවෘත්තිවලින් හෙළි වේ.

තිස්‌සා වස්‌තුව, උත්තරෝලිය වස්‌තුව, කාණ සිඟාල වස්‌තුව, චූලගල්ල වස්‌තුව ආදී කථාන්තරවලින් ද මෙහෙකාරකම තවත් ප්‍රධාන ජීවන මාර්ගයක්‌ වූ බව දැක්‌වේ. රුහුණු රට තඹ තොට යයි යන ගම මුඩිඩගුත්ත නම් දුප්පත් වූ මිනිසෙක්‌ වෙසෙයි. ඔහුගේ භාර්යාවෝ ද තිස්‌ස නම් වූහ. ඕ ද එසේම දුප්පත් තැනැත්ති ය. ඔහු දෙදෙන ඉතා කෘපණව දුකසේ ජීවත් වන්නා හු අනුන්ගෙන් කහවණු සැටක්‌ ණයට හැරගෙන ඒ පමණක්‌ දීගත නොහී ණය දුන්නාවුන්ගේ ගෙහිම මෙහෙවර කෙරෙමින් දවස්‌ යවති." (සද්ධාතිස්‌ස හිsමි, 1934,570 පිට)

එකල ජීවනෝපායන මාර්ගයක්‌ හැටියට පොහොසත් ගෙවල බැළ මෙහෙවර කරමින් ඇතැමුන් ජීවත් වූ බව කියවේ. රසවාහිනී කතුවරයා ද "තස්‌මාහං පර ගෙහෙසු හතිං කත්වාන කිච්ඡන්තො පිවිස්‌සාමි" (ගුණරත්න, රසවාහිනිය, 1983, 43 පිට) මම අනුන්ගේ ගෙවල්වල අපහසුවෙන් මෙහෙකාර කම කරමින් ජීවත් වෙමි" යනුවෙන් එබඳු තොරතුරු අනාවරණය කරයි.

ලාංකිකයන්ගේ ජීවත තොරතුරු දක්‌වන අවස්‌ථාවල විවිධ රැකියා මාර්ග තිබූ බවට සාධක සැපයේ. රටේ වත්කමත් නිෂ්පාදනයත් යන දෙක ම ප්‍රධාන වශයෙන් මිනිසුන්ගේ රක්‍ෂා කෙරෙහි බලපෑවේය. මෙකල සමාජයේ විශාල ආදායම් මාර්ග හෝ කර්මාන්ත හෝ තිබුණු බවක්‌ පෙනෙන්නට නැතත් ප්‍රධානතම රැකියා මාර්ගය වූයේ කෘෂි කර්මාන්තය යි. මේ නිසා රජයේ ද මූලික ප්‍රාග්ධනය වූයේ කෙත්වතුවලින් ලැබූ ආදායම යි. රජවරුන් පවා කෘෂි කර්මාන්තයෙහි නියෑළුණු බවත් මාගම ප්‍රදේශයේ සී සෑම හසුරවමින් තවත් ප්‍රදේශයක ඒ කටයුතු පාලනය සඳහා දුටුගැමුණු රජතුමා තම මළණුවන් යෑවූ බවත් දුට්‌ඨගාමිණී වස්‌තුව (සද්ධාතිස්‌ස හිමි, 1934, 464 පිට) කියවන විට දැන ගත හැකිය. බතින් රට ස්‌වයංපෝෂණය කිරිම එකල රජවරුන්ගේ අභිමතාර්ථය යි. ඒ නිසා ම කෘෂි කර්මාන්තය පදනම් කර ගත් උත්සව පවා පැවැත්වූ බව දුබ්බට්‌ඨ මහා තිස්‌ස වස්‌තුවෙන් හෙළි වේ. ඒ උත්සව අතර වප් මගුල ප්‍රධාන එකකි. "උන්ගේ මහත් වප් මගුලක්‌ විය. නොයෙක්‌ සිය ගණන් මනුෂ්‍යයෝ කර්මාන්තයෙහි නියුක්‌ත වූවාහු. සර්වාංගයෙන් ධවල වූ ගොනුන් කසා නාවා කර බොලු ආභරණ පළඳවා අංවල රං රිදී කුඹු බහා පය රන් රසු බැඳ සර්වාලංකාරයෙන් සරහා නඟුල් වියදඬු ආදියෙන් යොදා සියලු මනුෂ්‍යයෝ තම තමන්ගේ විභවානුරූප පරිද්දෙන් නොයෙක්‌ කන බොන දෑ සපයා කමින් බොමින් ..." (එම 961 - 692 පිටු) රජවරුන් ද රාජ්‍ය භාර වූ මැති ඇමැතිවරුන් ද කුඹුරු ගොවිතැන්වලට පූර්ණ සහයෝගය ලබා දී තිබිණි. රාජ්‍ය උත්සව අතර වප් මඟුල් උත්සවය ගොවිතැනට ලැබුණු තත්ත්වය කුමක්‌ ද යන්න පසක්‌ වේ.

හේන් ගොවිතැන ද දක්‌නට ලැබිණි. මෑ කෙතක්‌ වැපිරීම සඳහා ගෝඨයිම්බර සොහොයුරන් සයදෙනා කැලෑ කපා එළි කොට හේනක්‌ සකස්‌ කළ බව රසවාහිනියේ සඳහන් වන අතර සද්ධර්මාලංකාර කතුවරයා එය "ඔහුගේ වැඩිමහලු සැබෑයෝ මාසට කුඹුරු තනන්නාහු මහත් ඉඹුරු වනයක්‌ කපා බිම් එළි කොට" (එම 504 පිට) කුඹුරු ගොවිතැන් කිරිමට මාස්‌ කන්නයට ප්‍රමාණවත් ව වර්ෂාව ලැබුණ ද ලංකාවේ ඇතැම් ප්‍රදේශවලට යල් කන්නයට එසේ නොවේ. ඒ නිසා ගොවීහු යලට ගොඩ ගොවිතැන් කිරීමට පෙළඹුණහ.

මහානේල වස්‌තුව ආදී කථාවලින් වෙළෙ¹ම මෙ කල තවත් ප්‍රධාන ජීවන මාර්ගයක්‌ හැටියට පැවතුණු බව අනාවරණය වේ. එකල්හි එක්‌ දනව් වැසි පුරුෂයෙක්‌ වෙළෙ¹ම් කොට ජීවත් ව වසනුයේ." (එම 439 පිට) "අප හැම වෙළෙ¹ම්, නවාමි ගොවිතැන් බත් කෙරෙහින් දුක්‌ ගෙන වසම් හ" (එම 498 පිට) දේශීය වෙළෙ¹ම පමණක්‌ නොව විදේශීය වෙළෙ¹ම ද එකල පැවතිණි. "එසේ කළ සගය සෑගිරි සමීපයෙහි ද්වාර මණ්‌ඩල නම් ගම මගේ යහළු වූ කුණ්‌ඩල නම් බමුණු වෙසෙයි. දේශාන්තරයෙන් ගෙනා සඳුන් සුවඳ කස්‌තුරි කපුරු තුවරලා පිළි ආදී වූ." (එම 498 පිට) එකලත් ලංකාවට රෙදි සුවඳ විලවුන් වර්ග ආනයනය කළ බවට සද්ධර්මලංකාරය සාක්‍ෂි දරයි.

නන්දිවාණිජ වස්‌තුවේ එන නාන්දිය නම් වෙළෙන්දා වෙළෙඳ කුලයකින් ම කාන්තාවක සරණ පාවා ගැනීමෙන් වෙළෙ¹ම්වලට දැක්‌වූ උනන්දුවත්, සමාජ රටාව තුළ වෙළෙඳ කුලය පැවැති බවත් කියෑවේ. වෑත්තෑවේ හිමියන්ට ගුත්තිල කාව්‍යය රචනා කරන්නට ආරාධනා කළ ජයපාල මැතිඳු "වෙළෙඳ කුළඹර පුන්සඳත් බඳු" යන්නේ දැක්‌වීමෙන් ජයපාල මැතිඳු ද වෙළෙඳ කුලයෙහි අයෙකි."

රාජ්‍ය සේවය තවත් ජීවනෝපායක්‌ ලෙස දුට්‌ඨගාමිණී කථා වස්‌තුව, සුරනිමල වස්‌තුව, ගෝඨයිම්බර වස්‌තුව ආදියෙන් අනාවරණය වේ. "දුටුගැමුණු රඡ්ජුරුවන් හා එක්‌ ව ඒ ඒ තැන්හි යුධ කෙරෙම් හ" (එම 506 පිට) විදේශීය ආක්‍රමණ, අභ්‍යන්තර ආරවුල් නිතරම සිදු වූ නිසා රජවරුන් බියෙන් කල්ගත කළ බවත් බලසම්පන්න යුද හමුදාවක්‌ තබා ගැනීමට ඔවුන්ට අවශ්‍ය වූ බවත් ඒ නිසා රාජ්‍ය සේවයේ ප්‍රධාන කාර්යයක්‌ ලෙස හමුදා සේවය පැවති බවත් මධ්‍යකාලීන ලංකා සමාජය කෘතියෙන් ද හෙළි වේ (145 පිට)

චූළගල්ල වර්ගයට අයත් අCඳ්Cඳතර කුමාරිකා වස්‌තුව ප්‍රධාන මංමාවත්, ගංගා හරහා වැටී තිබුණු අයුරුත්, ඒ ගංගාවලින් එතෙර වීමට ඔරු පාරු ප්‍රයෝජනයට ගත් ආකාරයත් කියෑවෙන කථා පුවතකි.

"කසරාළ ගං මුව දොරින් එතෙර ව කෙළානරු තොටට පැමිණිය හ. එකල්හි ඒ තොට ඔරු අඟුලු නැත. ඒ තොට වනාහි ඉතා පළලය. ගැඹුරුය. එසේ වූ තොට ඒ කුමාරිකාවන්ට ළං දෙයක්‌ මෙන් ද නොගැඹුරු දියක්‌ සේ ද පෙනුණේ ය." (එම 726 පිට) වැව් ගංගා අසල ජීවත් වූ සමහරුන් ඔරු පාරු පදිමින් ජීවන සටන ගෙන ගිය බව මෙයින් හෙළි වේ.

ලක්‌දිව වළගම්බා රජු දවස බැමිණිටියාසාය දොළොස්‌ අවුරුද්දක්‌ පැවතුණු බවට එකල සාහිත්‍ය පොත්පත් සාක්‍ෂි දරයි. (වීරසේකර 1960, 328 පිට) එසේ ම සද්ධර්මාලංකාරයේ එන රුක්‌ඛ දේවතා වස්‌තුව, ජයම්පතිකා වස්‌තුව, අම්බ අමාත්‍ය වස්‌තුව හා වත්ථුල පබ්බත වස්‌තුව යන කථාවලින් බැමිණිටියාසාය සමයෙහි මිනිසුන් විඳි දුක්‌ ගැහැට කොතෙක්‌ ද යන්න දැන ගන්නට ලැබේ.

"ගොයම් නැති වීමෙන් සියලු ජනපදය දුර්භික්‍ෂ විය. මනුෂ්‍යයෝ සිඟා ඇවිදත් ඉඳුරා ආහාරයක්‌ ලැබ ගත නොහෙති." (එම 649 පිට) "හාල් නැළියක්‌ සේ ම කොට තබාගෙන කඩ පොට්‌ටනියක බැඳ සැළෙක පැනෙයි කකාරා සාලේ පහළ පැන් පමණක්‌ බී නැවතත් එම සාල් අයුළා වියලා භාජනයෙක ලා සොරුන් කෙරෙහි භයින් බිම සඟවා තබා දවසින් දවස මෙසේ ජීවත් වෙති." (එම 685 පිට)

ගමේ තමන් සතු ව පවතින බිම් කොටස්‌වලින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමේ අදිටනින් ගෙවතු වගා සිදු කළ බව කාකවණ්‌ණතිස්‌ස රජ වස්‌තුවෙන් අනාවරණය වේ. "තමන් වසන ගෙය වටා අල, කෙසෙල්, පොල්, පුවක්‌, අඹ, කොස්‌ ආදි ඵල වෘක්‍ෂයන් රෝපණය කළාහ." (එම 444 පිට)

එකල ලංකාවේ රාජ්‍ය සේවයෙහි නියුක්‌ත ඇමැතිවරුන් ගත කළ සුව පහසු ජීවිත ප්‍රවෘත්ති ගැන නන්දිවාණිජ වර්ගයට අයත් පණ්‌ඩරංඟ වස්‌තුව සාක්‍ෂි දරයි. මෙහි එන තිස්‌ස නම් ඇමැති ආයුධ ශිල්පයෙහි දක්‍ෂයෙකු බැවින් තම පියා විසින් රාජ්‍ය සේවයට බැඳ ගනු ලැබූ බවත් රජුට අප්‍රමාද ව සේවාකම් කරමින් සිටි බවත් බොහෝ වස්‌තු ලද බවත් කියෑවේ. ඔහු විසූ නිවස පිළිබඳ විස්‌තරයෙන් වැඩ වසන රාජ්‍ය තන්ත්‍රය තුළ රාජ්‍ය සේවයෙහි නියුක්‌ත වූ ඇතැමුන් විඳි සුව පහසු ජීවිත ප්‍රවෘත්ති අනාවරණය වේ. "ඉක්‌බිති එක්‌ දවසක්‌ ඒ අමාත්‍යයා තමා වසන ගෙය සුවඳ පිරි බඩ ගෙන උඩ සුදු වියන් බඳවා වටතිර ජවනිකා අද්දා මලොලඹු එල්ලා අලංකාර කොට අසෝ." (එම 699 පිට)

ආර්ථික විෂමතා ව පදනම් වූ ජන සමාජයක්‌ මෙකල පැවතුණු බව සද්ධර්මාලංකාරයේ එන මෙබඳු කථාවලින් හැඟෙයි. අම්භ අමාත්‍ය වස්‌තුව, "ඔහුගේ පුත් වූ අම්භ අමාත්‍ය දැසි දස්‌ ගව මහීෂාදීන් හා මුතු මැණික්‌ ආදී වූ සියලු උපභෝග පරිභෝග සම්පත්තින් යුක්‌තව එක කඳවුරෙහි වාසය කෙරෙයි." "එම 69 පිට) නේසාද වස්‌තුව යටතේ දැක්‌වෙන පරිදි "ඔහු වැඩිවිය පැමිණි කල්හි ඒ අමාත්‍ය පුත්‍රයාට තිස්‌ස අමාත්‍ය යෑයි නම් විය. ඒ තෙමේ ක්‍රමයෙන් වැඩී රන් රුවන් මුතු මැණික්‌ දැසි දස්‌ ගව මහීෂාදී ව සියලු සම්පත්තීන් සමෘද්ධව." (එම 639 පිට) මේ ආදී වශයෙන් සුඛෝපභෝගී ජීවිත ගැන කියෑවෙන අවස්‌ථා ඉදිරිපත් කිරීමේ දී කතුවරයා සිතින් මවා ගත් අදහස්‌ ද ඉදිරිපත් කරන්නට ඇතැයි සිතිය හැකිය.

දේශපාලන තොරතුරු

තුදුස්‌ වන කාකවණ්‌ණ වර්ගය, පසළොස්‌ වන ගෝඨයිම්බර වර්ගය, සොළොස්‌ වන ඵුස්‌සදේව වර්ගය යන තෙවර්ගයට අයත් කථා වස්‌තු පහළොව ම දේශපාලන තොරතුරු රැසක්‌ අනාවරණය කරයි. එයින් කාකවණ්‌ණ තිස්‌ස වස්‌තුවෙන් පාලකයන් පන්සල් ආශ්‍රයෙන් ශිල්ප හැදැරූ බව විවිධ දඬුවම් ක්‍රම, සතුරන් මර්දනය කිරීමට උපායශීලී වූ අයුරු යනාදී වශයෙන් කරුණු රැසක්‌ හෙළි වේ. "කැලණි විහාරයෙහි වසන තෙරුන් වහන්සේ කෙරෙහි අකුරු කොට ශිල්ප උගත්තේය." (එම 451 පිට)

දඹදෙණි කුරුණෑගල අවධිවල අධ්‍යාපන මධ්‍යස්‌ථාන පිහිටා තිබුණේ විහාරස්‌ථානවලය. ගම්පොළ අවධිය වන විට ද රාජ්‍ය පාලකයන් අධ්‍යාපනය ලබා ගෙන ඇත්තේ බෙහෙවින් ම භික්‍ෂුන් වහන්සේලාගෙනි. එසේ නම් පරිපාලනයේ දී බෞද්ධ සංකල්පවලට මූලිකත්වය දී ඇති බව පැහැදිලිය.

පාලකයන්ගේ විවිධ ක්‍රියා කලාප අතර යුද සංවිධාන, සටන් ක්‍රම, ද්වන්ද සටන්වල දී සේනාංක දැක්‌වූ දක්‍ෂතා ආදී වශයෙන් සමකාලීන ලංකා සමාජය පිළිබඳ අවබෝධයක්‌ මේ කතාවලින් ලැබේ.

යුද සේනාංක භාරව සිටි යෝධයෝ සතුරන් සමඟ ද්වන්දව සටන්වල යෙදී ඔවුන් ව විනාශ කළ බැව් ද කියෑවේ.

ප්‍රධාන සෙබළුන්ගේ යුද ශක්‌තිය ඉස්‌මතු කොට තිබෙන්නේ අද්භූත රසය වහනය වන පරිද්දෙනි. එසේම විවිධ සටන් ක්‍රම පැවතුණ බව ද පෙනේ.

"දීඝ ජන්තු නම් යෝධයා කඩුපළඟ ගෙන බිමින් අටළොස්‌ රියන් අහසට පැන නැගී දෙවනුව බිම නොහී අහසින් ම කරනම් පැන පැන ඇවිත්." (එම 482 පිට)

සතුරන්ට මුහුණ දීමට හැකි අයුරින් නිතරම සේනාංක රැස්‌ කළ බව "නන්දිමිත්‍රය, සුරනිමලය, මහසොණය, ගෝඨඉම්බරය, ථෙරපුත්තාභය, භරණ ය, වේළුසුමන ය, ඛCඳ්ජදේවය, ඵුස්‌සදේව ය, ලභියවසභ ය, යන මොහු දස දෙනාය. ඔහු දස දෙනාම වෙන වෙන ම දස දෙනා බැගින් සියක්‌ යෝධයන් සිටවූහ. ඒ සියක්‌ දෙනා තම තමන්ට දස දෙනා බැගින් දහසක්‌ යෝධයන් සිටවූහ." (එම 446 පිට) යනුවෙන් සඳහන් වීමෙන් පෙනී යන්නේ සංවිධානාත්මක සේනා සංවිධානයක්‌ කිරීමේ ශක්‌තිය එකල ද පැවතුණු බව යි. එයින් යුධෝපක්‍රම පිළිබඳ අවබෝධයකින් යුතුව රාජ්‍ය බලය මෙහෙය වූ බවයි.

රටේ අභ්‍යන්තරික කැළඹීම් නිතර සිදුවිය. විදේශීය සතුරු බලවේග ද ක්‍රියාත්මක වීමට ඉඩ ඇති නිසා විශාල හමුදාවක්‌ සහිත ව රජු රාජ්‍ය තන්ත්‍රය ගෙන ගිය ආකාරය දැක්‌වේ. එසේ ම රටේ ආරක්‍ෂාව පිණිස දුටුගැමුණු රජු දවස චතුරංගනී සේනාංකයන්ගෙන් සමන්විත යුද සේනාවන් ගැන ද කියෑවේ.

"ඇත්, අස්‌, රථ පදාතී වූ චතුරංගනී සේනාව හා කඩුපලිස පලඟ පත්තිරම් අසි සත්ති තෝමර හෙණ්‌ඩිවැල චJද්‍රවක්‍රාදී වූ ආයුධ ආදිය ද ජරදු කුප්පායම් සියත් ආදී වූ සන්නාහ ද යන සියල්ල ම සමුදු කරවා" (එම 473 පිට)

ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනය පාරම්පරිකව පැවතුණු බවට සද්ධර්මාලංකාරය ද සාක්‍ෂි දරයි. "පුතණුවෝ තමන් පියාණන් සන්තක රාජ්‍යය ගනිති" (ඉන්ද්‍රජෝති හිමි, සද්ධර්මාලංකාරය, 1914, 172 පිට) "වැඩිමාලු පුතණුවන්ට රාජ්‍යය දී තමා." (එම 314 පිට) යන්නෙන් සඳහන් වේ.

එහෙත් මහා වංශය හෙළිකරන තොරතුරු අනුව දුටුගැමුණු කුමරුගෙන් පසු ව රජකම ඔහුගේ සොහොයුරු සද්ධාතිස්‌ස කුමරුට හිමිව තිබිණ.

"දුට්‌ඨගාමිණී ඵාතාතො සද්ධාතිස්‌සෙ තදවචයෙ රඡ්ජං කරෝසි අභිසිතො අට්‌ඨාරස සමාසමො." (අභයරත්න, (සංස්‌) මහාවංශය 1922, 33 පිට)

අසෝකමාලා කෙරෙහි තදින් ම බැඳුණු සිත් ඇති දුටුගැමුණුගේ පුත් වන සාලිය කුමරු රජකම ගණනකටවත් නො ගත්තෙකි. ඒ බව මහාවංශය ද සාක්‍ෂි දරයි (එම 33 පිට)

එසේ වුවත් දුටුගැමුණු තමන්ගේ පාලන සමයේදී ම තම පුත් ශාලිරාජ කුමාරයන්ට යුව රජ තනතුරු පැවරූ බව "දුටුගැමුණු රඡ්ජුරුවෝ ශාලිරාජ කුමාරයන්ට යුව රජ තනතුර දී අනුරාධපුර දකුණු වීථියෙහි මහත් වූ ප්‍රාසාදයක්‌ කරවා" (එම 533 පිට) යනුවෙන් සඳහන් කරයි. එමෙන්ම "රාජ්‍යය රැකලන්නට ඔබගේ නිසි පුත් රුවනෙක්‌ නැත" (එම 588 පිට) යන තොරතුරු ගත් විට පරම්පරාගතව පාලන තන්ත්‍රය ගෙන යමින් රට පාලනය කර ගෙන ගිය බව කියෑවේ.

රාජ්‍ය පාලනයේදී රජදරුවන් පිළිපැදිය යුතු කරුණු ද සද්ධර්මාලංකාරයේ දැකිය හැකි වේ.

"රජදරුවන් විසින් යම් සේ කටයුත්තක්‌ පරීක්‍ෂාකාරීව කටයුතු ය. අපරික්‍ෂාකාරී නොවිය යුත්තේය. තම තමන් විසින් කළ මනා කටයුතු නුවණින් සලකා කරන්නා වූ රජදරුවන්ගේ යශෝ කීර්ති දෙක පුරපෑළවිය පටන් දවසින් දවස වඩනා සඳ මඬල මෙන් නිරන්තරයෙන් දශ දිග පැතිර වඩනේ ය." රාජ්‍ය පාලකයාගේ කාර්යභාරය සුළු කොට සැලකිය හැකි දෙයක්‌ නොවේ. ඉතා බැරෑරුම් හා වගකිව යුතු කාර්යයකි. සියලු කාර්යයන් කළ යුත්තේ හොඳින් පරීක්‍ෂා කොට බලා ය. එසේ නොවුවහොත් සමස්‌ත රටේ පරිහානියට එය හේතුවක්‌ වේ.

(එම 452 පිට)

"යම් කිසි රජෙක්‌ ගිනි කඳක්‌ සේ ද, සර්ප රාජයෙකු සේ ද රාක්‍ෂකයකු සේ ද මහජනයා භය ගන්වා අකුළුවා ද එබඳු රජුගේ යශෝ තේජස්‌ දෙක දිය පිට තේ බිඳු මෙන් විසිර නස්‌නේ ය. එසේ හෙයින් රාජ ධර්මය නම් සියලු සතුන් රැකීම ය. ඥානාවෘද්ධ, වයෝවෘද්ධයන් භජනය කිරීම ය. (එම 453 පිට)

රාජ්‍ය පාලනයේදී ජනතාව බිය ගැන්වීම හෝ ත්‍රස්‌ත ක්‍රියා මාර්ගයෙන් රට පාලනය කිරීම හෝ හෙළා දැක තිබේ. එසේ පාලනය කරන්නන්ගේ පාලන තන්ත්‍රය තාවකාලික බව මේ පුවතින් පැහැදිලි ය.

එකල පාලක පක්‍ෂය පිළිබඳව තොරතුරු රාශියක්‌ පූජාවලිය ද සඳහන් කරයි. රාජ්‍ය පාලනයට අවශ්‍ය කරන උපදෙස්‌ පමණක්‌ නොව දසරාජ ධර්මයෙන් රට පාලනය කරන ආකාරයත්, නිවැරැදි ආගමික පාලකයනුත් යහපත් සුදුසු පාලකයන් කවුරුන්ද යන්නත් පැහැදිලි කොට දී තිබේ (සිද්ධාර්ථ හිමි, පූජාවලිය, 1951, 33 - 34 පිටු)

දේශපාලන තොරතුරු අතර සටන්වලදී රජු සිටින නගරයට ගොස්‌ ඒ නගරය වටලා සතුරු රජුට යටත් වන ලෙස දැන්වීම එක්‌ උපක්‍රමයකි. "අලුත් නුවර සමීපයෙහි කඳවුරු බැඳගෙන හිඳ රඡ්ජුරුවන්ට කියා එවන්නාහු රාජ්‍ය හෝ දෙව නොහොත් අප හා සමඟ සටන් හෝ කරව" (එම 99 පිට)

කුඩා රාජ්‍ය තමන්ට නතු කර ගැනීමේ මෙවැනි උපක්‍රම කේවට්‌ටයාගේ උපදෙසින් චූළනී බ්‍රහ්මදත්ත රජු ද ක්‍රියාත්මක කළ බව උමන්දාවේ සඳහන් වේ. (කුමාරතුංග උම්මග්ග ජාතකය, 979, 140 පිට.)

මේ ලාංකේය රජවරු එවැනි යුධෝපක්‍රම අනුගමනය කළේ සතුරන් මැඬලීමට ය. තම රාජ්‍යය ඔවුන්ගෙන් ආරක්‍ෂා කිරීම පිණිස ය. රජු කෙතරම් උපායශීලී ද කිවහොත් එක්‌ අවස්‌ථාවක වේළුසුමන යෝධයා එළාර රජු වෙතට ගියේ වෙස්‌වළා ගෙන ය. (එම 495 පිට)

නන්දිවාණිජ වස්‌තුවේ දැක්‌වෙන තොරතුරු අනුව පරදාරයේ සහ අනාචාරයේ හැසුරුණවුන් මහත් නින්දාවට භාජන කරමින් දඩ ගෙවීම් ආදී දඬුවම් ලැබූ බවත් දැක්‌වේ. රජුගේ නිලධාරීන් මොවුන් අල්ලාගෙන වදහිංසා කළ බව "මතුපරදාරයෙහි සන්තෝෂයට රිසියෙන පරිද්දෙන් අතින් පයින් තලා දුර්වල කොට පිටිතල හයා බැඳ" (එම 633 - 640 පිටු) යන්නෙන් පැහැදිලි වේ.

දුටුගැමුණු රජුගේ පාලන සමයේදී මුළු ලංකාවම එක්‌ කොඩියක්‌ යටතේ රට පාලනය කළ බව ථෙරපුත්තාභය, වේළුසුමන වස්‌තුවලින් හෙළි වේ. ගිරා සංදේශයේ අම්බලමේ කථාව යටතේ සැවැනි පැරකුම් රජ සමය ද සමස්‌ත ලක්‌ තලයම එකම කොඩියක්‌ යටතට ගෙන ගියේ,

ජය ගෙන මුළු දෙරණ

පෙන්වා තම තෙද අණ

ලක එක හිර වරණ

කළේ අප හිමි විකුම් අපමණ (ගිරව)

රජ මැති ඇමති සහ යුද සේනාංක භාරව ක්‍රියා කළ අය අතර මතභේද ඇති කිරිමට ද ඇතැම් රාජ්‍ය සේවකයෝ උත්සාහ ගත්හ. එවැනි සිද්ධියක්‌ අනාවරණය කරන පුවතක්‌ වන්නේ දාඨාසේන වස්‌තුවයි.

"එයින් මෑත භාගයෙහි ඕ හට වෛරී වූ සේවකයෙක්‌ රඡ්ජුරුවන් සමීපයට ගොස්‌ වැඳ එකත්පස්‌ව සිට, දේවයන් වහන්ස, දාඨාසේනයෝ රාජ්‍යය නිසා නුඹ වහන්සේට නොබෝ දවසකින් වරදිති යි රජකමට වේද උත්සාහ කරන්නෝ යි කියා රඡ්ජුරුවන් බිඳවාපී ය." (එම 533 පිට) දාඨාසේන යෝධයා සහ දුටුගැමුණු බිඳවීමට රාජ්‍ය සේවයෙහි ම නියුක්‌ත අයෙකු උපායශීලී වීමෙන් රජු තමන් කෙරෙහි අවනත කොට ගෙන එයින් රජු කෙරෙන් විශේෂ වරප්‍රසාද ලබා ගැනීමට ක්‍රියා කොට තිබේ.

සාමාජයීය තොරතුරු

සද්ධර්මාලංකාර කථා තුළින් ලාංකේය ජන සමාජය හා ඔවුන්ගේ ජන ජීවිතය ගැන තොරතුරු දක්‌වන අවස්‌ථාවල ගෘහස්‌ථ ජීවිතය, රැකී රක්‍ෂා, අධ්‍යාපනය, වෛද්‍යකර්ම, ගමනාගමනය, ක්‍රීඩා හා විනෝදාංශ, ඇදහිලි හා විශ්වාස, සිරිත් විරිත් ආදී වශයෙන් කරුණු රැසක්‌ ඔස්‌සේ තොරතුරු අනාවරණය වේ. සතුන් දඩයමින් ජීවත් වන්නන් වැද්දන් ලෙස සැලකුණු බව පෙනේ. වැදි සමාජය ලක්‌දිව ප්‍රචලිත ව පැවැති බව නේසාද වස්‌තුව, සාලි රාජ වස්‌තුව තුළින් අනාවරණය කරයි.

"ලක්‌දිව රුහුණු ජනපදයෙහි මාගම වියදී නම් වැද්දෙක්‌ වෙසෙයි. මුවන්, ඌරන්, මොනරුන්, ගිරවුන් වටුවන් ආදී වූ සේව සතුන් හා දීන බල්ලෝ ද කරක්‌ කෙමෙන් බිලි ආදිය ද දුනු මල දැල් ආදී වූ සියලු ම වැදි උපකරණ ද යන සියල්ල ම ඔහුගේ ගෙයි සපයා තිබෙයි. දවස්‌ පතා පන්සියයක්‌ මල පටවනු ලැබෙයි. පන්සියයක්‌ උගලු ලයි. උගුල් සිටුවීම, බොරු වල සෑදීම්, මසුන්ට විෂ ලීම් ආදී නොයෙක්‌ ප්‍රාණ වධ ප්‍රයෝග කෙරෙයි." (එම 633 පිට)

සිරිනාග කථාවෙන් එකල ධනය උපයා සපයා ගැනීමට නිධන් හෑරීම, වෙහෙර විහාර බිඳ ඒවායෙහි ඇති වස්‌තු සොරා ගැනීම, පිරිස්‌ වශයෙන් සොරකමෙහි නියුක්‌ත වීම ද කළ බව පෙනේ. විහාර ආරාම මංකොල්ල කනු ලැබුවේ ජීවත් වීමට අපහසු නිසා නොව සැපවත් ජීවිත ගත කිරීමටයි. ධනය, බලය, කෙරෙහි ගිජු බලලෝභීන් මනුෂ්‍ය සමාජයේ ජීවත් වූ බවත්, ඔවුන්ගෙන් සමාජයට සිදු වූයේ බරපතල අපරාධයක්‌ බවත් සද්ධර්මාලංකාර කතුවරයා මෙබඳු කථාවලින් එළි දැක්‌වීමට උත්සාහ ගෙන තිබේ. (එම 646 - 649 පිටු)

මිනිසුන් තමන්ගේ අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා පයින් ම ගමන් කළ බව පැහැදිලිය. රුහුණු රට සිට අනුරාධපුරයට කිසි කටයුත්තක්‌ සඳහා එක්‌තරා ගැහැනියක පයින්ම ගමන් කළ අතර, තමන් ගෙන ගිය බත් මුල සංඝයාට පූජා කළ බව පටුහත්තදායිකා වස්‌තුවේ සඳහන් වේ.

එකල සමාජයේ සතුන් දඩයම් කරමින් මස්‌ මාංස අනුභව කළ බව නන්දිමිත්‍ර වස්‌තුවේ ද සඳහන් වේ. "කහවණු තිසක්‌ දී මුව මස්‌ ගෙන අඟුරු මස පෙණමස දුරු මිරිස්‌ ආදී වූ කටුක භාණ්‌ඩයන් බහා පිසින ලද සම්භාර සංයුක්‌ත මාංස යයි. මෙසේ නොයෙක්‌ ආකාරයෙන් මාංස පිස සුවඳ ඇල් සාල් සපයා ගෙන පත් පිසවා මාංස රස හා නොයෙක්‌," (එම 491 පිට) පූර්ව පබ්බත වාසි තිස්‌ස ථෙර වස්‌තුවෙන් ද ඒ බව හෙළි වේ. "එකල වෙළඳ පුත්‍රයා ශුනකයාගේ දුක්‌ත භාවය දැක කරුණාවෙන් කම්පිත වූ සිත් ඇතිව මොනර මස්‌ හා ගිතෙල් අනා මහත් බත් පිඬක්‌ වටා ඔහු පෙරට තිබීය." (එම 489 පිට) ආදී කථාන්තර කියවන විට එළුවන්, ඌරන්, හරකුන් මරා මස්‌ අනුභවයෙහි යෙදුණු අයුරු සඳහන් වේ.

ආහාර වර්ග අතර කිරිබත් ආහාරයට ගැනීම වැදගත් අවස්‌ථාවල සිදු වූ බව සමණගාම වස්‌තුව හෙළි කරන අතර ප්‍රධාන ආහාරය බත් බව සංඝදත්ත වස්‌තුව, පූර්ව පබ්බත වාසි තිස්‌ස ථෙර වස්‌තුව සාක්‍ෂි දරයි. "මුහු කළ කිරි හා සමඟ ලහ බත්." (එම 426 පිට)

"සමණගාම වස්‌තුවේ" එන තොරතුරු අතර එකල බා¹ලතා වැනි කොළ වර්ග, කැඳ වර්ග, උදු මුං තල අතිරස අග්ගලා වෙනත් කැවිලි වර්ග ආහාරය සඳහා ප්‍රයෝජනයට ගත් බව කියවේ. "එසේ හෙයින් ඒ දිව්‍ය පුත්‍රයා බාඳලතා කොළ පමණක්‌ අනුභව කොට" (එම 421 පිට)

"ගිතෙල්, මී, වෙඬරු, උක්‌ සකුරු, පැණි සැළවල්......" (එම 458 පිට) භික්‍ෂුන් වහන්සේලාට පිරිනමන හීල් දානය සඳහා පළමුව කැඳ වැළඳීම, අනතුරුව හුරු මස්‌ සමඟ මී සකුරු වැළඳීම, ඉන් පසුව මස්‌ මාළු සහිත ඇල් හාලේ බත් වැළඳීම ගැන ශාලිරාජ වස්‌තුවෙන් දැක්‌වේ.

අවුල හා සමඟ උපකරණ සහිත වූ කැඳ වළඳවා නැවත වළඳන අතුරෙහි පිළියෙළ කරන ලද ඌරු මාංසය මී සකුරු සමඟ යොදා වළඳවා වේලා ආසන්න වූ කල්හි මත්ස්‍ය මාංස සහිත වූ සුවඳ හාල් සාලේ බත වැළඳ වූහ" (එම 502 පිට) මේ තොරතුරුවලින් හැඟෙන්නේ මස්‌ මාංස අනුභව කිරීම සාමාන්‍ය දෙයක්‌ වූ බවයි. ඒ නිසාම දානාමානාදියට ද මස්‌ මාංස යොදා ගැනීම පුරුද්දක්‌ වශයෙන් පැවැති බව ද පෙනේ.

ගෝඨඉම්බර වස්‌තුවේ එන පරිදි දුටුගැමුණු රඡ්ජුරුවන් විජිතපුර සමීපයෙහි කඳවුරු බැඳගත් අවස්‌ථාවේ යෝධයන්ගේ ශක්‌තිය පරීක්‍ෂා කිරීමට ඔවුන්ට සුරාවෙන් සංග්‍රහ කොට තිබෙන බව දැක්‌වේ. "මගධ නැළියෙන් සොළොස්‌ නැළියක්‌ පමණ රා ගන්නා ලෙස තිස්‌දහසකින් රා ඔඩමක්‌ කරවා කහවණු රැස මත්තෙහි සුරා පිරූ රා ඔඩම තබා එකොලොස්‌ මහා යෝධයන් කැඳවා, සපන් කෙනෙක්‌ තෙල රා බිම් නිමවා තිස්‌දහසෙකින් කළ රා ඔඩම හා සමඟ තෙල කහවණු තුනමුණ ගනුව" යි කීහ (එම 476 පිට)

දුටුගැමුණු රජුගේ කඩොලැතාට ද සුරාව පෙවූ බව ගෝඨඉම්බර වස්‌තුවෙන් දැක්‌වේ.

අනාචාරයේ යෙදුණු අය මෙ කල ද ලාංකේය සමාජයේ සිටියහ. සැමියා නැව් නැගී වෙනත් රටකට ගිය අවස්‌ථාවේදී බිරිඳ පොළඹවා ගැනීමට රාජ්‍ය නිලධාරියකු තැත් කළ සැටි කියෑවෙන කථාවක්‌ වන්නේ නන්දිරාජ වස්‌තුවයි.

"එපවත් අසා අමාත්‍ය තමා නිල කොට සැලැස්‌වූ ගෙට ගොසින් එක්‌ කෙල්ලක කැඳවා කිසි කෙනෙකුන් නො දන්නා ලෙස රහසින් රන් දහසක්‌ දී ඒ දාසිය වෙළෙඳාණන්ගේ භාර්යාවන් සමීපයට නික්‌ම විය. එකල ඒ කෙලී ගොසින් වෙළෙඳ භාර්යාවන්ට කියන්නී එම්බා මෑණියනි, යම්කිසි කෙනෙකුන්ගේ මුහුණ එක්‌ ඇසකින් හොබින්නේ නොවෙයි. ඒ පරිද්දෙන්ම පුරුෂයන් නැතිව තනිව ඉන්නා කල ස්‌ත්‍රීන්ට නො හොබනේය. ඉඳින් යම්කිසි ඇතෙක්‌ සියලු අවයව සම්පත්ති යුක්‌ත වී නමුත් එසේ වූ ඇතාගේ මුහුණ එක දළයකින් හොබනේ නොවෙයි. එපරිද්දෙන් ම කවර තරම් රූප සම්පත්තියක්‌ ඇතත් පුරුෂයන් නැතිව තනිව ඉන්නා කල ස්‌ත්‍රීන්ට හොබනේ නොවෙයි" (එම 677 පිට)

බමුණු සමාජය විසින් කාන්තාව අවතක්‌සේරුවට ලක්‌ කළ ද මනා හැසිරීම, පතිභක්‌තිය, යහපත් පැවැත්ම යනාදී ගුණාංගවලින් සාමාන්‍ය කාන්තාව පිරිපුන් බව මේ කතාවෙන් හෙළි වේ. දන්දීම, බණ ඇසීම පමණක්‌ නොව සාරධර්ම ආරක්‍ෂා කිරීමට අනුබල දෙන්නක්‌ හැටියට සද්ධර්මාලංකාරය අගය කළ හැකි බවයි (එම 671 පිට)

විනෝදවීම් අතර මිත්‍රයන් හා සමඟ කමින් බොමින් ප්‍රිති වූ ආකාරය එකල ද දක්‌නට ලැබේ. සුරනිමල වස්‌තුව, ගෝඨඉම්බර වස්‌තුව මගින් තොරතුරු සැපයෙන අතර පොහොසත්, දුප්පත් භේදයකින් තොරව ඔවුනොවුන් විනෝද වූ බව කාකවණ්‌ණ වස්‌තුව. සාලිරාජ වස්‌තුව, නේසාද වස්‌තුවෙන් පෙනී යයි. රුහුණු ජනපදයෙහි මාගම නම් ගමෙහි වාසය කළ දඩයක්‌කාරයෙකු මුහුදෙහි නාමින් සිටි පිරිසකට එක්‌ වී දිය කෙළියෙහි නියෑලුණු බව නේසාද වස්‌තුවෙන් හෙළි වේ.

"එක්‌ දවසක එම වැද්දා මුහුද දිය කෙළනා මහජනයා හා සමඟ ගොළු මුහුදට ගොස්‌ දිය කෙළිනේ ය" (එම 534 පිට)

සද්ධර්මාලංකාරයේ සඳහන් ක්‍රීඩා අතර ළමයින් වළක්‌ කපා ඒ මත දිගට හරහට කෝටු කෑලි තබා උඩින් කොළ තබා වැලිවලින් ඒ කොළ ආදිය නො පෙනෙන පරිද්දෙන් වසා ඒ ගැන නො දත් තමන්ගේ මිතුරෙකුට ඒ උඩින් යන්ට සැලැස්‌වූ බව කියෑවේ. යහළුවකු වැටුණු විට පසුව සියලු දෙනා ම සිනා සී ප්‍රීති වෙති (එම 617 පිට)

රාජ කුමාරවරුන්ට පැවැත්වූ මංගල අතර බත් කැවීම, කන් විදීම, යුවරජු තනතුරු පිරිනැමීම ගැන ද සඳහන් වේ.

ඒ කුමාරයන්ට තුන්මසින් සත්මසින්, නව මසින් කළමනා ඒ ඒ මඟුල් දිනයෙහි දී බත් කැවීම, කන් විදීම, යුවරජ තැන් ලැබීම ආදී වූ ඒ ඒ මඟුල් දිනයෙහි ද" (එම 552 - 553 පිටු)

සද්ධර්මාලංකාර කතුවරයා සපයන තොරතුරු අතර රාජකීය පුද්ගලයන් පැළඳි ආභරණ, මඟුල් කඩුව, හෙළ කුඩය, නළල් පට, වල් විදුනාව, රන්මිරිවැඩි සඟල ආදිය වේ. මීට අමතරව ලාංකේය රජවරු ඔටුනු පැළඳි බව

"මනහර වොටුන්නක්‌ පැළඳ රන්පට රුවන් සෝලු ආදී වූ සුසෑටාභරණයෙන් සැරසුණු රජ තෙම" (එම 90 පිට)

රජු සිවුසැටක්‌ ආභරණවලින් සැරසුණු බවත්, රජතුමාගේ විශේෂ ආභරණයක්‌ හැටියට ඔටුන්න පැළිඳි බවත් සද්ධර්මාලංකාරය සාක්‍ෂි දරයි.

"රන්සළු හැඳ රන් පට..... වොටුණු පැළඳ යන මේ ආදී වූ සූසැට ආභරණයෙන් සැරසී" (එම 98 පිට)

රජවරුන් වටිනා ආභරණ පැළඳි බව හෙළි කරන තවත් අවස්‌ථාවක්‌ අහිනීහාර වර්ගයේ තුන් වන විවරණය යටතේ දැක්‌වේ.

"ලක්‍ෂයක්‌ වටිනා රන් සළුවක්‌ හැඳි......" (එම 81 පිට)

එකල ලංකාවේ ගනුදෙනු කිරීමේදී කහවණු මසුරන් හා රන් භාවිතයට ගත් බව සද්ධර්මරත්නාවලිය, පූජාවලිය මෙන්ම සද්ධර්මාලංකාරය ද පෙන්නුම් කරයි.

"සියක්‌ වටිනා ගසට දෙසියක්‌ ද" (සිද්ධාර්ථ හිමි සද්ධර්මරත්නාවලිය, 1951, 426 පිට)

"ලක්‍ෂ ලක්‍ෂ වටිනා පලස්‌ දෙකක්‌" (ඥනවිමල හිමි පූජාවලිය, 1971, 553 පිට)

"ඔහු පිට දහසක්‌ බැඳ පියල්ලක්‌ තබා" (සද්ධාතිස්‌ස හිමි, සද්ධර්මාලංකාරය, 1934, 168 පිට)

කාන්තාවන් විවිධ ආභරණ වර්ගවලින් සැරසී සිටි අයුරු.

"තමන්ගේ භාර්යාවන් ද කණක, කටටක, රසනුපුර, තාඩංග ඵලය නිසරපම කොඬමල් ආදී වූ නොයෙක්‌ ආභරණයෙන් දෙවඟනක්‌ මෙන් සරසා" "(එම 506 පිට)

ආර්ථික තත්ත්වය, දේශපාලන බලය මත සමාජය භේදභින්නව පැවතුණු බවත් සමාජයේ කැපී පෙනීමට වටිනා ආභරණ ආදියෙන් සැරසුණු බවත් ය.

ශ්‍රද්ධාතිස්‌ස අමාත්‍ය වස්‌තුව යටතේ බත් මුළක්‌ කහවණු අටකට විකිණීමේ පුවතක්‌ දැක්‌වේ. එයින් බත් මුල් බැඳීම, ගමන් බිමන් යන විට බත් මුළක්‌ බැඳගෙන යැම. ඒවා මිලට විකිණීම එකල ද පැවතිණි.

"කහවණු අටක්‌ ඇරගෙන බත් මුළ දී පියව" යි ඉල්වීය. එකල පුරුෂයා යහපතැ යි රන් ඇරගෙන බත් මුළ දුන්නේය." (සද්ධාතිස්‌ස හිමි, 1934, 567 පිට)

ඒ ඒ යෝධයන්ට ගම් බිම් පිරිනැමීමේ සිරිතක්‌ පැවතුණි. රජු විසින් ඔවුන්ගේ දෙමාපියන් රැක බලා ගැනීම, සත්කාර සම්මාන පිරිනැමීම, කෑම් බීම් ආදියෙන් සංග්‍රහ කිරීම ආදී තොරතුරු ගැන සඳහන් කරන කථාවකි. නන්දිමිත්‍ර වස්‌තුව.

"දෙමාපියන් බොහෝ සත්කාර සම්මාන කොට කුබුබත් නම් ගම බත්ගම් කොට ද" (සද්ධාතිස්‌ස හිමි, 1934 494 පිට)

භික්‍ෂුන් වහන්සේලා උපැවිදි වීම එකල ද සිදු කෙරිණි. මෙසේ සලකන කල සද්ධර්මාලංකාරය සමකාලීන සමාජ තොරතුරු රැසක්‌ ම අනාවරණය කරන ගද්‍ය කාව්‍යයකි.

ආගමික තොරතුරු

බුදුන්, දෙවියන් හා යක්‍ෂයන් වැනි අධිමානුෂ්‍ය බලවේග කෙරෙහි විශ්වාසයක්‌ සහ ඇදහිල්ලක්‌ තිබූ බව සාහිත්‍ය පොත්වල එන තොරතුරුවලින් අනාවරණය වෙයි.

පණ්‌ඩරංග වස්‌තුව යටතේ ඊශ්වර දේව විශ්වාසයක්‌ පිළිබඳව කියෑවේ. සාමාන්‍ය ජනතාව දන් දීමට සුදුසු කෙනෙකු සොයා යන්නේ භික්‍ෂුන් වහන්සේලාට ද දන් පිළිගැනීමට සුදුසු වේලාවක්‌ නො වන බැවින් කවුරුන්ට දන් දෙන්නේ දැයි විමසූ අවස්‌ථාවේ සුසාන භූමියක වාසය කරන පණ්‌ඩරංග පරිබ්‍රාජිකයා ඊශ්වර භක්‌තියෙන් යුක්‌ත බවත් ඔහුට දන් දීම සුදුසු බවත් පවසමින් එම පරිබ්‍රාජිකයාගේ ගුණ කිසිවකු විසින් කරන ලද බව මෙසේ සඳහන් කර තිබේ.

"ස්‌වාමීනි මේ මුළු ලොව සියල්ල ම ඊශ්වර නිර්මිතය.මනුෂ්‍යයන්ට වන්නා වූ යම්කිසි දුකෙක්‌ සැපෙක්‌ ඇත්නම් ඒ සියල්ලම ඊශ්වරයන් විsසින්ම වන්නේය. ඒ ඊශ්වරයන්ගේ භක්‌ති ඇත්තා වූ තාපස කෙනෙක්‌ සුසානයෙහි වෙසෙති. ඒ තාපසයෝ සියලඟ අලු තවරා ගෙන ඉඳිති. උඩු රැවුලෙන් කට වසා තිබෙයි. යටි නිකටේ දැළිවල්ලෙන් ළය වසා තිබෙයි. දෙකිසිල්ලත් එසේමය. ඉස රජස්‌ ගැවසී තිබේ. ඌ තුමූ ජටා ධරයෝ ය. වසුන්පයි මල්ලක්‌ බඳු කිලුටු කන්ථකඩක්‌ පොරොවත්, පැණි පත්‍රයෙන් සිඟිති. ගුණයෙන් ඔහු සමාන කෙනෙක්‌ මේ තුන් ලොව ම නැත. කුසල් කැමැත්තවුන් විසින් ඒ රස භෝජනය ඒ තාපයන්ටම දියයුත්තේ යයි කීය. එකල මනුෂ්‍යයෝ බත් ගෙන සුසානයට ගියහ" (සද්ධාතිස්‌ස හිමි 1934, 698 පිට)

පූජාවලිය සඳහන් කරන ආකාරයට ශිව දෙවියන් පිදීමේ සංකල්ප ද පැවතුණි. (සිද්ධාර්ථ හිමි 1951, 71 පිට)

දඹදෙණිය, කුරුණෑගල, ගම්පෙල, අවධිවල රචිත සද්ධර්මරත්නාවලිය, පූජාවලිය, ථූපවංසය, ජාතක පොත, සද්ධර්මාලංකාරය යන කෘතිවල ඇතුළත් කරුණුවලින් ඊශ්වර, ශිව, සමන්, කතරගම ආදී දෙවිවරුන් පිළිබඳව බෞද්ධයන් තුළ පැවැති ඇදහිලි හා විශ්වාස ප්‍රකට වේ.

සන්දේශ කාව්‍ය ජාතක කථා, කාව්‍ය ආදියෙන් පමණක්‌ නොව ජන කවි තුළින් ද එමෙන්ම ජන නාට්‍ය සාහිත්‍ය මගින් ද දේව විශ්වාස ඇදහිලි පිළිබඳව නොයෙකුත් තොරතුරු අනාවරණය වේ.

විශ්වාස අතර විශ්ව රාජ්‍ය පදවිය නැතහොත් සක්‌විති රජ පදවිය පිළිබඳව විශ්වාසයක්‌ එකල මනුෂ්‍යයන් අතර පැවතුණි. මෛත්‍රී බෝධිසත්වයන් ලොව පහළ වන කල්හි ලෝකය පාලනය කරතැයි විශ්වාස කරනු ලබන චක්‍රවර්ති රජකු ගැන සද්ධර්මාලංකාරයේ දැක්‌වේ.

"එහි අනූකෙළ ලක්‍ෂයක්‌ අභිෂේක පළන් රජ දරුවෝ නිරන්තරයෙන් සංඛ නම් චක්‍රවර්ති රඡ්ජුරුවන් පිරිවරා සිටින්නාහ. එකල සංඛ නම් චක්‍රවර්ති ස්‌වර්ණාභරණයෙන් සැරහුණා වූ දිව්‍යාප්සරාවන් හා සමාන රූප ශෝභාවෙන් නැටීම්, ගී කීම්, බෙර ගැසීම්, වස්‌ නළල් පිබීම් ආදී වූ චතුරංග සංගීතයෙහි දක්‍ෂ වූ භාවභාවලීලා කටාක්‍ෂ මන්දස්‌මිතයෙන් යුක්‌ත වූ සූවාසූ දහසක්‌ නාටක ස්‌ත්‍රීන් පිරිවරා දිව්‍ය සම්පත්ති ඉක්‌ම පවත්නාක්‌ වැනි මහත් වූ ශ්‍රී විභූතීන් යුක්‌ත වූ සත්රුවන් මහාපායෙහි වෙසෙමින් සියලු පෘථිවි මණ්‌ඩලයට අනුසාසනා කරන්නාහුය.

(සද්ධාතිස්‌ස හිමි, 1934, 750 පිට)

යක්‍ෂ ඇදහිල් පදනම් කොට ගෙන යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වලින් හා බලිබිලි පූජාවලින් මිනිසුනට නොයෙකුත් තාඩන පීඩන ගෙන දුන් අයුරු නන්දිවාණිජ වස්‌තුවේ දැක්‌වේ.

"මධ්‍යම රාත්‍රියෙහි ඊට සුදුසු බලිබිලි ගෙන්වා ගෙන අමාත්‍යා හා සමඟ ප්‍රේත පිසාච යක්‍ෂ රාක්‌සසයන් විසින් ගහණ වූ ගිණි ඇවිළෙන සිය ගණන් දර සෑ ඇති ඒ ඒ තැන දවා ගත නොහි දමන ලද සිය ගණන් මළමිනී ඇති මහ වටුවේ සොහොන් පොළට ගොස්‌ කැණහිල් බලු, කවුඩු, කබරගොයි ආදීන් විසින් කා කඩ නොකරන ලද ශරීර බන්දන ඇති මළ මිනියක්‌ දැක එතැන්හි බලිබිලි පුදා අමාත්‍යයා තමා පිටිපස්‌සේ ඉන්ට සලස්‌වා මන්ත්‍රයක්‌ ජප කොට අතින් පැන් පතක්‌ ගෙන මළ මිනියට ගැසීය. එකෙනෙහි ඒ මහා මෘත ශරීරයෙහි අමනුෂ්‍යයෙක්‌ ආවේශ විය. එකල ඒ මිනිය නැගී සිට "තොපට කුමක්‌ කෙරේදැයි" කියා ඉදිරියේ සිට ගත ඒ යකදුරා "එම්බල, මේ කඩුව ඇරගෙන ගොස්‌ නන්දිය නම් වෙළෙ¹ණන් මරා වහා පලා එවයි කීය." (සද්ධාතිස්‌ස හිමි, 1934, 676 පිට)

බණ ඇසීම, සිල් සමාදන් වීම, වන්දනා මානාදිය ගැන ජන ජීවිතය හාd බැඳුණු තවත් තොරතුරු රැසක්‌ සාලි රජ වස්‌තුව. ථුල්ලතිස්‌ස වස්‌තුව, බෝධිරාජ වස්‌තුව, ධම්මසවනෝපාසිකා වස්‌තුව, කුඩ්ඩරාජ වස්‌තුව ආදියෙන් හෙළි වේ. හේමා වස්‌තුවෙන් ස්‌ත්‍රීන් පවා බණ කෙරෙහි දැක්‌වූ රුචිය කොතෙක්‌ ද යන්න කියවේ. සැමියා සොයා මුහුදේ පීනා යන යුවතියක්‌ නාගදීප වැසියකුට දම්සක්‌ පැවතුම් සූත්‍රයෙන් බණ කියූ පුවතකි. මේ නයින් සලකන කල ලාංකේය ජන ජීවිතයේ සෑම ප්‍රදේශයක්‌ ම ආවරණය වන පරිදි ඔවන්ගේ ජීවිතය හා බැඳුණු ප්‍රවෘත්ති රැසක්‌ සද්ධර්මාලංකාරයෙන් අනාවරණය වන නිසා 14 වන ශත වර්ෂයේ ලාංකේය සමාජය පිළිබඳ පුළුල් අවබෝධයක්‌ එයින් ලබා ගත හැකි ය.

උපුටා ගැනීම:
දිවයින පුවත්පත 2009/12/09