පැරකුම් රජුගේ කෝපයෙන් උපන් රොඩී කුලය සහ ඒ හා බැඳුනු කුලු නැටුම් !

Mar 8, 2010


පැරකුම් රජුගේ දියණිය රජ මාලිගය අතු-පතු ගා කුනු-රොඩු එකතු කර විසිකරන සේවකයා හා පෙමින් බැඳුනි. මේ බැව් දැන ගත් රජු ඒ සබඳකම නතර කිරීමට කල හැකි දේ සලකා බලන්න ඇති. කුමරිය පිය රජුට පවසන්න ඇති "මා සිත් ගත් පෙම්බරයාගේ දිවියට හානි කලොත් ඔබට ඔබේ දියණියගේ දිවියත් නැතිවනු නිසැකයි" කියා.

නැති නම් කුමරිය රහසේම රොඩු එකතු කල කඩවසම් තරුණයා හා මාලිගයෙන් පලා යන්න ඇති.

රජුට ඇතිවූ අපහාසයට, කනගාටුවට කුමරියගෙනුත් රොඩු එකතු කරන්නාගෙනුත් පලිගනු වස් රොඩී යැයි කුලයක් සාදා, තම දූ කුමරියත්, රොඩු එකතු කල තරුණයාත් ඔහුගේ සනුහරේ ඈයෝත් ඒ කුලයට පන්නා දමන්න ඇති. එය පහත් කුලයක් ලෙස හංවඩු ගසන්න ඇති. තවදුරටත් රොඩී කුලයේ මිනිසුන් මිනීමස් අනුභව කරන බවක් සමාජයේ පතුරුවා හැර ඒ කුලයට ඇති සමාජ පිලිගැනීම නැත්තටම නැති කර දමන්නැති.

කපාගත් ගොයමේ වී හුලං කිරීමට හෙවත් රොඩු ඉවත්කිරීමට අවැසි කුලු නිපැදවීම මේ රොඩී කුලයේ අයට පැවරුනු රාජකාරියක් වෙන්න ඇති.


කුලු නැටුම් වල ඇති කවි වල සඳහන් වන පැරකුම් රජුගේ දියණිය අප සිත් තුල ඇති කලේ විශාල කුහුලක්. ඇය කීවෙනි පැරකුම් රජුගේ දියණියද?? කුලු නැටුම් වලත් ඇගේත් ඇති සම්බන්ධතාවය කුමක්ද?? වරෙක නදීශා පීටර් සූරසේන නැටුම් ගුරු මහතාගෙන් විමසීමක් කලත් නිසි පිලිතුරක් නොලැබුනි. නමුත් සචී, හෂිත, මා, ලිෂන් හා අක්කන්ඩි ස්කයිප් කතාබහක යෙදී සිටින විටෙක මගේ ඒ කුහුල රසවින්දනයේ විශ්වකෝෂයක් බඳු හෂිත විසින් විසඳන ලදි.

ඉහත සඳහන් පරකුම් රජුගේ දියණිය ගැන මගේ අනුමාන කතාව ඒ ඔහු විසින් පැවසූ ජනප්‍රවාදය ඇසුරින් නිමැවූවක්. මේ සම්බන්ධව මීට වෙනස් හෝ වැඩි යමක් දන්නා අයෙක් වේ නම් ඒ අදහස් කමෙන්ටුවක් ලෙස සඳහන් කිරීම අනාගත පරපුර වෙනුවෙන් කරන යුතු කම් ඉටුකිරීමක් ලෙස සලකනු ඇති.

මේ පහත දැක්වෙන්නේ ජන ගී වල ජනප්‍රිය නැටුමක් වූ කුලු නැටුම් වල කවි කීපයක්. කුලු නැටුමක වීඩියෝ පටියක් සොයා ගැනුමට වෙහෙසුනායින් මේ ලිපිය මෙතරම් පමා වුවත් පසු කාලයක එකතු කිරීමේ බලාපොරොත්තුවෙන් දැනට කවි කිහිපය පල කිරීම වඩා සුදුසු යැයි උපකල්පනය කොට ලියා පල කලෙමු.

ඈත සිටන් එන්නේ සෙල්ලි සෙල්ලියේ
මෑත සිටන් එන්නේ සෙල්ලි සෙල්ලියේ
කරේ බන්ද පවලම් වැල නොසෙල්ලියේ
පැරකුම් රජුගෙ දුව නවරත්න වල්ලියේ

වටත් සදිසි බට කොළ වියපු වල්ලියේ
මටත් බලන්නට සවුදම් ගැසුල්ලියේ
මෙරට ලඳුන් කුළු හරඹට අවුල්ලියේ
පැරකුම් රජුගෙ දුව නවරත්න වල්ලියේ

බන්ද වාන කුළු යතුරු සදාලා
අන්දවාන දෙදෙනෙකුට කියාලා
කැන්දවාන අළු යන්තරෙ ඇදලා
කන්දෙ බැදෙන බැත පැහැපත් කරලා

රන් ගිරි මුදුනේ හිරු බැබලෙන්නේ
වල්ලි ළදුන් තනි තනිවම එන්නේ
අවුව ද වැස්ස ද කියා බලන්නේ
කුල්ල අරන් අප නටුමට එන්නේ


මෙහි ඇත්තේ ජන ගීමාලා නම් නොනවතින ගී කලසේ එන මෙම කුලු නැටුමට අයත් ගී ඛණ්ඩයකි.



. . . . . . .. . . .. . ..

ලිව්වේ සුභාෂ් සහ නදීෂා

6 ක් ප්‍රතිචාර දක්වා ඇත.:

Manoj Dharmawardhane said...

ජනශ්‍රැතියේ රසමුසු තැනක් ඔබට අහුවෙලා තියෙන්නෙ. මෑත කාලීනව සංගීත ක්ෂේත්‍රයේ මෙය යොදා ගත්තා. එය කදිමට අපේ ආරට ගැලපුණා.
සුන්දරයි දිගටම ලියන්න. විවෘත මනසකින් බලන්නම්...
ජ‍යවේවා!

Lishan Puwakovitage said...

නැටුම් වලට අමතරව මේ කුලය ගුරුකම් [Dark Arts] වලට දස්කම් දක්වනවා යැයි මම අසා තිබෙනවා. අතීතයේදී ගෙරිමස් කෑම රොඩීරැහැට පන්නන්නට තරම වරද ලෙස සඳහන් කොට ඇත්තේ ගවදෙන යනු භාරත වහරේ එන විදියට මවුවත් බවේ ප්‍රතිමූර්තියක් නිසා වෙන්නට පුලුවන්. මොකද අපිට කොහොමත් ඉතිහාසයේදී ඉන්දියානු ආභාසය ලැබිලා තියෙනවා.

මීට අමතරව කුලගොත් ආදී දේවලට සම්බන්ධ කලාංග බොහෝ ඇති. මේ ඒයට ඇරඹුමක් විදියට කරලා තියෙන දේ ඉතාමත් ම වටිනවා.

ආගන්තුකයා | Stranger said...

ඇත්ත ලංකාවේ මෑත කාලීනව ජන ගී ආශ්‍රිත නිර්මාන කිරීමෙහි ලා නැඹුරුතාවයක් පවතිනවා. සිරා සටහනක්..

meegodaya said...

හොඳ පොස්ටුවක්... ගෙඩි පිටින් කවියේ තිබ්බත් අපි සුල මුල හොයන්න දැඟලුවේ නෑ නේන්නම් .. අද තමයි මේ විස්ටර දැනගත්තේ

meegodaya said...

අඩේ අක්කත් බ්ලොග් ලියනවද... අයි දන්නේ මම මේ වෙන කාගේ හරි බ්ලොග් එකක් කියල කොමෙන්ට් කලේ...

මේ සුභාෂ් අය්යා ෆේස් බුක් එකේ අටු කොස් තම්බලා..ඒ සුවන්ධට ආවේ

Unknown said...

පවලම්පට කියන්නෙ මොකක්ද

Post a Comment